ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ඉරණම කොදෙව්වන්ගේ ජය පරාජ මත | දිනමිණ

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ඉරණම කොදෙව්වන්ගේ ජය පරාජ මත

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමේ ශ්‍රී ලංකාවේ ඉරණම දැන් බටහිර ඉන්දීය කොදෙව් පිල අයර්ලන්තය හා එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කරන ජාත්‍යන්තර එක්දින තරගමාලාවන්හි කොදෙව් පිලේ ජයග්‍රහණ මත රැඳී තිබේ.

ඉන්දියාවට එරෙහිව මේ දිනවල පැවැත්වෙන තරග පහකින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගමාලාවේ තරග දෙකක් ජයග්‍රහණය කිරීමට අසමත් වීමත් සමග 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කෙළින්ම සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකාව වෙතින් දැන් ගිලිහී ගොස් තිබේ.

2019 මැයි 30 සිට ජූලි 15 දක්වා එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කෙළින්ම සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාවට එරෙහිව තරග දෙකක් ජය ගත යුතුව තිබිණි. ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රට වන එංගලන්තය හැරුනු විට එළැඹෙන සැප්තැම්බර් 30 වැනි දින වන විට ලොව එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින කණ්ඩායම් 7 තරගාවලියට කෙළින්ම සුදුසුකම් ලබති.

ඉන්දියාව දැන් ශ්‍රී ලංකාවට එරෙහිව 4-0ක ජයක් වාර්තා කර සිටින බැවින් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන අවසන් ස්ථානය හිමිකර ගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිල ඔවුන්ගේ මීළඟ එක්දින තරගවලින් අවම වශයෙන් එකක් හෝ පරාජය වන තුරු බලා සිටීමට ශ්‍රී ලංකාවට දැන් සිදුව තිබේ.

ඉන්දියාවට එරෙහි තරගමාලාවේ මේ ඉරිදා පැවැත්වෙන අවසාන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවහොත් ඔවුන් එක්දින ක්‍රිකට් ශ්‍රේණි ලැයිස්තුවේ ලකුණු 88කට පිවිසෙනු ඇතත් එය ලෝක කුසලාන තරගාවලියට කෙළින්ම සුදුසුකම් ලබා ගැනීමට ප්‍රමාණවත් නොවනු ඇත.

මෙවන් තත්ත්වයක් හමුවේ ශ්‍රී ලංකාව අභිබවා යාමට කොදෙව්වන්ට අවස්ථාව තිබේ. ඒ, කොදෙව් පිල ඔවුන්ගේ මීළඟ තරග 6 ජයග්‍රහණය කිරීමට සමත් වුවහොත් ඔවුන්ටද ලකුණු 88 ට පිවිස දශමවලින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියට පැමිණිය හැකි නිසාවෙනි. මේ සඳහා කොදෙව් පිල සැප්තැම්බර් 13 වැනි දින අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන එක ම එක්දින තරගය හා ඉන්පසුව සැප්තැම්බර් 19 සිට 29 දක්වා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරග 5 ම ජය ගත යුතුව තිබේ.

යම් හෙයකින් ශ්‍රී ලංකාව, ඉන්දියාවට එරෙහි තරගමාලාව 0-5කින් පරාජය වුවහොත්, බටහිර ඉන්දීය කොදෙව් පිල ඔවුන්ගේ ඉදිරි තරගවලදී අයර්ලන්තය පරාජය කර එංගලන්තයට එරෙහි තරග පහම ජයග්‍රහණය කර හෝ අවසාන තරග හතර ජය ගනිමින් 4-1ක තරගමාලා ජයක් හිමිකර ගෙන ශ්‍රී ලංකාව පසෙකට තල්ලු කර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත හැක. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කෙළින්ම සුදුසුකම් නොලබන කණ්ඩායම්වලට තරගාවලියට ඇතුළු වීම සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයකට ක්‍රීඩා කිරීමට සිදු වනු ඇත.

2018 වසරේ පැවැත්වෙන මේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ජගත් ක්‍රිකට් කවුන්සලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පහළින්ම සිටින කණ්ඩායම් 4, ජගත් ක්‍රිකට් කවුන්සල ලෝක ක්‍රිකට් ලීග් ශූරතාවලියේ ඉහළින්ම සිටින කණ්ඩායම් 4 හා ජගත් ක්‍රිකට් කවුන්සල ලෝක ක්‍රිකට් ලීගයේ ඉහළින්ම සිටින කණ්ඩායම් 2 ක්‍රීඩා කරනු ඇත. සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ඉහළින්ම අවසන් කරන කණ්ඩායම් දෙක කළින්ම සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් අට සමග එක්ව 2019 ලෝක කුසලානයේ තරග වදිනු ඇත.

නව අදහස දක්වන්න