හජ් සුබ පැතුම් පණිවිඩ | දිනමිණ

හජ් සුබ පැතුම් පණිවිඩ

දේවත්වය හා මනුෂ්‍යත්වය අතර ඇති දිව්‍යමය බැඳීමක්
- ජනාධිපති මෛත්‍රීපාල මහතා

දේවත්වය හා මනුෂ්‍යත්වය අතර පවත්නා දිව්‍යමය බැඳීම විචිත්‍රවත් කරනු ලබන හජ් වන්දනාව මිනිසා අතර පවත්නා අපමණක් පුද්ගල අනන්‍යතා නොතකා නන් දෙසින් පැමිණෙන සියලු බැතිමතුන් එකපෙළට එක දෙසට දෙවියන් නමදින මහා ආගමික පූජාවක් බව ජනාධිපති මෛත්‍රීපාල මහතා හජ්ජි උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.

ජනාධිපතිතුමාගේ එම සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් මෙසේද කියා සිටී.

මානව ඉතිහාසයේ ඈත යුගවල මිනිසා සාමූහිකව එක්රැස් වූයේ ආගමික වතාවත් උදෙසාය. යුග ගණන් ඇවෑමෙන් වර්තමානයේදී ද තමන් අදහන ආගම් සමඟ බැඳී පවත්නා ඔවුහු ස්වකීය ආගමට අනන්‍ය වූ වත්පිළිවෙත් රකින්නට සාමූහිකව කැපවෙති.

ලොව ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් හජ් වන්දනාවේදී එකට එක්ව එකම අරමුණකට නතුව එකම භූමියක රැස්වන්නේ මනුෂ්‍යත්වයේ සාමූහිකත්වය උත්කර්ෂවත් කරමිනි. මෙම ආගමික පිළිවෙතෙන් විශ්ව ප්‍රජාවට සන්නිවේදනය කරනුයේ සමාජයීය සහජීවනයේ මහිමයයි.

දේවත්වය හා මනුෂ්‍යත්වය අතර පවත්නා දිව්‍යමය බැඳීම විචිත්‍රවත් කරනු ලබන හජ් වන්දනාව මිනිසා අතර පවත්නා අපමණක් පුද්ගල අනන්‍යතා නොතකා නන් දෙසින් පැමිණෙන සියලු බැතිමතුන් එකපෙළට එක ලෙසට දෙවියන් නමදින මහා ආගමික පූජාවක් වේ.

බෙදීම් පමණක් දිස්වන ලොවක අන්‍යෝන්‍ය බැඳීම මෙන්ම නායකත්වයට අවනත වීමේ ශික්ෂණය සමාජගත කරනු ලබන හජ් උත්සවය ලොවට දෙනු ලබන උතුම් පණිවුඩය වන්නේ සමානාත්මතාවය තුළ ගොඩනැ‍ඟෙන උත්කෘෂ්ඨ සමාජ සාධාරණත්වයයි. එලෙස මනුස්‍යයන් අතර සමානාත්මතාවය සජීවීකරණය කරනු ලබන ශුද්ධ වූ මක්කා භූමිය කේන්ද්‍ර කරගනිමින් ලොවට ගලා යන උතුම් පණිවුඩය තුළ රැඳි අරුත ගරු කරමින් හජ් වතාවත් සිදු කරන ඉස්ලාම් බැතිමතුන්ටත් ලෝකවාසී සමස්ත මුස්ලිම් ප්‍රජාවටත් උතුම් 'ඊදුල් අල් හා' උළෙලක් වේවායි ශුභාශිංසන පිරිනමමි.


හජ් අරමුණ ලෝකවාසීන් සියලු දෙනාට ආදර්ශයක්
- අගමැති රනිල් වික්‍රමසිංහ මහතා

හජ් උත්සවයේ ප්‍රමුඛ පරමාර්ථ වන සමානාත්මතාවයෙන් යුතුව සහජීවනයෙන් දිවි ගෙවීම සියලු ලෝකවාසීන්ටම ආදර්ශයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හජ් උළෙලට ශුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එම පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

ලොව පුරා විසිරී සිටින මුස්ලිම් ජනතාව ඇති නැති, උගත් නූගත් කිසිදු භේදයකින් තොරව මක්කම පූජා නගරයට ඒකරාශීව ආගමික පිළිවෙත් ඉටු කරන හජ් උත්සවය ඉස්ලාම් ධර්මය තුළ මහත් හරසරින් සැමරෙන උත්තරීතර ආගමික පිළිවෙතකි.

ඉබ්‍රාහිම් නබි තුමා තම පුතණුවන් වූ ඉස්මායිල් නබි තුමන්ව දෙවියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම පිළිබිඹු කරන්නා වු මෙම පිළිවෙත ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් එක්වී ලෝක සාමය වෙනුවෙන් ආගමික වතාවත් ඉටුකරන ජාත්‍යන්තර සමුළුවක් වශයෙන්ද සැලකිය හැකිය.

ආත්මාර්ථකාම9ීත්වයෙන් හා ලෝභයෙන් මිදී තමන් සන්තක දෙය අන්‍යයන් හා බෙදා හදා ගැනීම සහජීවනයෙන් දිවි ගෙවීම සමාජය තුළ උස් පහත් භේද දුරලා සමානාත්මතාව ගොඩනැගීම ආදී උතුම් අරමුණු හජ් උත්සවයේ ප්‍රමුඛ අගයක් ලැබේ. එය මුස්ලිම් ජනතාවට පමණක් නොව සමස්ත ලෝකවාසීන්ට මහත් ආදර්ශයක් වන බව මගේ හැඟීමයි.

එම අධ්‍යාත්මික වටිනාකම් ලොව වෙත ගෙන ය න්නට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථන කරමින් අද දින හජ් උත්සවය සමරන්නාවූ සියලු මුස්ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් ඊදුල් අල්හා උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි.


මිත්‍රත්වයෙන් සහෝදරත්වයෙන් ජීවත්වීමට ඉටා ගනිමු
- විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා

සියලු ශ්‍රී ලංකාවාසීන් විවිධත්වය අගයමින් සෑම දෙනා සමඟ මිත්‍රත්වයෙන් සහෝදරත්වයෙන් ජීවත්වීමට මේ හජ් උත්සවයේදී අධිස්ඨාන කරගනිමු යැයි විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා සුබපැතුම් පණිවිඩයක් එවමින් කියයි. ශ්‍රී ලංකාවාසී හජ් සමරන මුස්ලිම්වරු වෙත මගේ හෘදයාංගම සුබ පැතුම් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. හජ්ජි උත්සවයෙන් සංකේතවත් වන්නේ ස්ව පරිත්‍යාගයේ වැදගත් කමයි බවද එහි සඳහන් වේ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...