ජනපති ජන්ම දිනය හෙටයි | දිනමිණ

ජනපති ජන්ම දිනය හෙටයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 66 වැනි උපන් දිනය හෙටට (03) යෙදී ඇත.

දෙවැනි ලෝක සමයේ ආරක්ෂක හමුදාවේ සේවය කළ පල්ලේවත්ත ගමරාළලාගේ ඇල්බට් සිරිසේන පියාණන්ට හා යාපා අප්පුහාමිලාගේ නන්දාවතී මෑණියන්ට දාව මෙලොව එ‍ළිය දුටු මෛත්‍රීපාල සිරිසේන මහතා පසක් කළ ප්‍රබල සමාජ දේශපාලන කරුණු දෙකක් මේ මොහොතේ සිහිපත් කළ යුතුමය.

ගම්පහ, යාගොඩ ග්‍රාමයේ ගොවි පවුලක උපන් ඔහු පසක් කළ සමාජ කරුණ නම් සැබෑ මානවවාදී මිනිසුන් ගොඩනැ‍ඟෙන්නේ බොහෝ දුෂ්කර ජීවිත මඟින් බව හා සැප ජීවිත මඟින් එවන් අය බිහි වන්නේ කලාතුරකින් බවය. දේශපාලන කරුණ නම් වර්ෂ 1951 සැප්තැම්බර් 02 වැනිදා මෙරටේ බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයා පක්ෂය බිහි වී පැය 24ක් ඉක්මයෑමට පෙර ජන්මලාභය ලැබීමය.

මේ අන්දමේ සමාජ, දේශපාලන කරුණු රාශියක් රටේ ජන සමාජයේ යහපත උදෙසාම සනිටුහන් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා කුඩා කළ පළමුව ගම්පහ පහළයාගොඩ කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ නායකත්වයෙන් ඇරඹි පොලොන්නරුව මින්නේරි ගොවිජනපද ව්‍යාපාරයේ මුල්ම ඉඩම්ලාභීන් ලෙස ඓතිහාසික පුලතිසිපුරවරයට නික්මුණු මේ ගොවි පවුලේ සාමාජිකයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පළමුව තෝපාවැව මහ විදුහලටත්, ‍ඉන් අනතුරුව පොලොන්නරුව රාජකීය විදුහලටත් ඇතුළත්ව අකුරු කළේය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේත් සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිණියගේත් දේශපාලන දර්ශනය ගුරු කොට තරුණ කාලයේදීම දේශපාලනයට පිවිසි ඒ මහතා 1981 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ මහ ලේකම් ධුරයටත් වසර 1983දී එහි සභාපති ධුරයටත් පත් විය.

වසර 1988 / 89 භීෂණ සමයේ කටුක දේශපාලන ජීවිතයක් ගත කළ ඔහු 1989 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වී මුල්වරට පාර්ලිමේන්තුවට පත් විය. අනතුරුව 1994 පොදුජන එක්සත් පෙරමුණු රජායේ මහවැලි සංවර්ධන කැබිනට් ඇමැති ධුරයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා 2014 වන විට සෞඛ්‍ය ඇමැතිවරයාව සිටියේය.

මේ රටේ තීරණාත්මක ජනාධිපතිවරයෙක් වූ 2015 ජනවාරි 08 වැනිදා පැවැති මැතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට 06 වැනි විධායක ජනාධිපතිවරයා ‍බවට පත් විය. දෙස් විදෙස් හි ගෞරවය ජනාදරය හොඳ හිත දිනාගත් ජනාධිපතිවරයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා හැඳින්විය හැකිය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...