කොළඹ ආරක්ෂක සමුළුව අභිමානවත්ව | දිනමිණ

කොළඹ ආරක්ෂක සමුළුව අභිමානවත්ව

විජයානි එදිරිසිංහ

තිස් වසරක් පුරා මෙරට පැවැති ත්‍රස්තවාදී අරගලයත් සමඟ දහස් සංඛ්‍යාත මිනිස් ජීවිත විනාශ වූ ඒ බිහිසුනු යුද්ධය නිමා කරමින් මෙරටට උත්තරීතර වූ ඒ නිදහස උරුම කර දුන් අපේ වීර හමුදා විරුවන් තම අත රැඳි ගිනි අවියට විරාමයක් දී ඉන් අනතුරුව ලෝකය පුරා ඔවුන්ගේ දක්ෂතාවන් පෙන්වා දෙන කොළඹ ආරක්ෂක සමුළුව දින දෙකක් ති‍ස්සේ අභිමානයෙන් යුතුව පැවැත්වී පෙරේදා අවසන් විය.

කොළඹ ආරක්ෂක සමුළුව ආරක්ෂක ගැටලු පිළිබඳ බුද්ධිමය සංවාදයක් ගොඩ නඟන බව මේ ආරක්ෂක සම්මන්ත්‍රණයට සහභාගි වූ ආරක්ෂක ලේකම් නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා පවසා සිටියේය.

ඒ අතර යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මේ සමුළුවට පැමිණි දෙස් විදෙස් අමුත්තන් පිළිගනිමින් කියා සිටියේ රුදුරු ත්‍රස්තවාදයෙන් මවු බිම මුදාගෙන රාජකාරි වගකීම් ඉටු කිරීම පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඇත්තේ මහත් වූ අභිමානයකි.

මේ වෘත්තීමය පරිණතභාවය තුළ දිගු කාලීන උපක්‍රමික උපයෝගීතාවක් ඇති බැවු මාගේ විශ්වාසයයි. අවිනිශ්චිතභාවය ප්‍රචණ්ඩත්වය සහ වියවුල් බව යුද්ධයේ ස්වභාවයයි. මෙවන් වූ සංදර්ශනයක් තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිප්‍රාය වන්නේ ප්‍රචණ්ඩත්වය රට තුළ නැවත ඇති නොවීමට ක්‍රියා කිරීමත් කලාපීය සහ පොදුවේ ආසියානු කලාපයේ ආරක්ෂාව සඳහා ක්‍රියා කිරීමත්ය. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ සමාජ අත්දැකීම් සම්භාරයක් ඉතා හොඳින් අත්දැකීම් ලැබූ වෘත්තීමය හමුදාවක් වන ශ්‍රී ලංකා යුද හමුදාව ඉතා නිහතමානීව හා උද්යෝගයෙන් යුක්තව තම වෘත්තීමය නිපුණත්වය සහ ශක්තිය ආසියා කලාපයේ සවිමත් ආරක්ෂක සැලැස්මක් වෙනුවෙන් දායක කරලීමටත් කලාපීය ආරක්ෂක සම්බන්ධතා තව දුරටත් ශක්තිමත් කිරීමටත් බලාපොරොත්තුවෙන් සිටියි. මේ අවස්ථාවේ දී අප සමඟ ප්‍රවීණ නම් දැරූ ජාතික සහ අන්තර් ජාතික බුද්ධිමතුන් සහ තානාපති අංශ නිලධාරීන් රැසක් විවිධ ක්ෂේත්‍ර වශයෙන් ඔවුන් සතු පුළුල් දැනුම සමඟ අවබෝධය අප සමඟ බෙදා හදා ගැනීමටත් කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017 සැසිවාරයන් හිදී එම අදහස් සංකල්ප සාකච්ඡාවට ලක් කිරීමටත් පැමිණ ඇති බවත් මහත් අභිමානයෙන් යුක්තව සඳහන් කරන බව ද මෙහි දී යුද හමුදාපතිවරයා තව දුරටත් කියා සිටියේ ද මහත් අභිමානයෙන් යුක්තවය.

එහි දී මේ සම්මන්ත්‍රණය පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු හමුදා සාමාජිකයන් ලබා දුන් සහයෝගය ද යුද හමුදාපතිවරයා මෙහි දී ගෞරවයෙන් යුක්තව සිහිපත් කළේය. තිස්වසරක් පුරා පැවැති ඇතැම්විට ගැටුම්කාරී ඉතිහාසයේ බලපෑම්වලට ද හසු වූ ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදයට එරෙහි ගැටුම් අන්තවාදී මූලධර්මවාදයට කදිම නිදසුනක් බව කැනඩාවේ බොරියාලිස් ත්‍රෙට් සහ රිස්ක් කන්සල්ටින් ලිමිටඩ් ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ෆකිල් ශුර්ස්ක්කි මහතා කොළඹ ආරක්ෂක සමුළුවේ පළවන සැසිවාරයේ දී අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිය දේශනයේ දී පැවැසීය.

තව ද පුද්ගල අන්තවාදය කිසියම් හෝ මූලධර්මවාදයක් ගැටුමක් බවට පරිවර්තනය කිරීමෙහිලා බලපෑ හැකි බවට ද අදහස් පළ කෙළේය. අන්තවාදී මූලධර්ම ප්‍රචණ්ඩත්වය හඳුනා ගැනීමට කිසියම් හෝ පිළිගත් ක්‍රමවේදයක් හෝ මිනුමක් නොමැත. පුද්ගල ක්‍රියාදාමයන් ඇaතැම් වි‍ට අන්තවාදී මූලධර්මවාදී ප්‍රචණ්ඩත්වයන් දක්වා වර්ධනයවී උග්‍ර ගැටුමකට පරිවර්තනය විය හැකි බව ද කියා සිටියේය.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමල් ජයවර්ධන මහතාගේ මූලාසනයෙන් ආරම්භ වූ සැසියේ දී කතා කළ කැනඩාවේ ෆහිල් ගුර්සික් මහතා කතා කරමින් අන්තවාදය යනු කිසියම් රටකට ‍හෝ ආගමකට සීමා වී පවතින්නක් නොවේ. එසේම එය නූතන ලෝකයේ පමණක් සිදුවන දෙයක්ද නොවේ. අන්තවාදී ප්‍රචණ්ඩත්වය ත්‍රස්තවාදය සහ ඉතා සමීප සම්බන්ධතාවක් පැවැති ඇතැම් ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ නිරීක්ෂණය වන්නේ අන්තවාදී ප්‍රචණ්ඩත්වය ඉඳුරාම ත්‍රස්තවාදයට හේතුවන බවත් අන්තවාදය එසේ නොවන බවත්ය.

ප්‍රචණ්ඩකා‍‍රී ප්‍රවණතාවන් කාණ්ඩ පහක් යටතේ වර්ගීකරණය කළ ඔහු ප්‍රවනතාවන්ට නිසි පරිදි ප්‍රතිකර්ම නොලැබුණොත් ත්‍රස්තවාදය දක්වා වර්ධනය වන බවත් පැවැසීය. අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීමෙහිලා ගෝලීය වශයෙන් සැලසුම් සහගත ක්‍රමවේදයන් නොමැතිවීම බරපතළ වරදක් බව ද පෙන්වා දුන්නේය.

අන්තවාදය පැතිර යාම වැළැක්වීමට ජාත්‍යන්තර ප්‍රජාව බොහෝ වෙහෙසක් දරා ඇත. ලෝකයේ රටවල් සාමූහිකව සහ තනි තනිව බොහෝ ක්‍රියා මාර්ග ගෙන ඇත. වර්ෂ 2016 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් බෑන් කී මූන් මහතා අන්තවාදය ප්‍රචණ්ඩත්වය පිටු දැකීමේ යෝජනාවලියක් එක්සත් ජාතීන්ගේ මහ සැසිවාරයට ඉදිරිපත් කරන ලදි. එසේ නමුදු අන්තවාදය ප්‍රචණ්ඩත්වය නව මුහුණුවරක් සහ නව ප්‍රවණතා ඔස්සේ සංවිධානාත්මකව නිරන්තරයෙන් අප හමුවේ දෘෂ්‍යමාන වන බව ද හෙතෙම කියා සිටියේය.

යුද්ධය අවසන් වීමෙන් පසු අපේ සියලු ආරක්ෂක අංශ බැරැක්ක වෙත යවනවා වෙනුවට ඔවු‍න් ගේ දක්ෂතාවන් හඳුනා ගනිමින් ඔවුන් එවාට ළඟා කර ගනිමින් රටට ප්‍රයෝජනවත් වන ආකාරයේ යමක් කිරීමටත් විශේෂයෙන් ඔවුන් සිය දක්ෂතාවන් ලෝකයා හමුවේ ඉදිරිපත් කිරීමත් තුළින් අපේ හමුදාවන්ගේ එම දක්ෂතාවන් හඳුනා ගැනීමට සහ ඒවා අධ්‍යයනය කිරීමටත් ලෝකයේ තවමත් ත්‍රස්තවාදී යුද්ධයෙන් බැට කන හමුදාවෝ ඉදිරිපත්ව සිටිති.

මෙවර සමුළුවේ දී සියලු විද්වතුන් විසින් අදාළ මාතෘකාව ඔස්සේ පමණක් නොව අද ලෝකයේ හමුදාවන්ට මුහුණ දීමට සිදුවී ඇති විවිධ වූ අභියෝග පමණක් නොව රටවල්වලට මුහුණ දීමට සිදුවී ඇති තර්ජන ඒවාට මුහුණ දී ඒවා මර්දනය කරන ආකාරය ඇතුළු සියලු කරුණු ගැන කතා කර අවසන් කරනු ලැබුවේ සෑම රටකටම එම ලබා ගත් දැනුම සිය රටවලට මුහුණ පෑමට සිදුවී ඇති තර්ජනයන් සම්බන්ධයෙන් ඒවා උපයෝගී කර ගන්නා ආකාරය පිළිබඳව ද මනා දැනුම් සම්බාරයක් එක් රැස් කර ගනිමින් බව ද මෙහි දී කිව යුතුය.

ඡායාරූප යුද හමුදා මාධ්‍ය අංශය 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...