වැසි සමයත් සමඟ කෘෂිකාර්මික සංග්‍රාමයකට රටම සුදානම් විය යුතුයි | දිනමිණ

වැසි සමයත් සමඟ කෘෂිකාර්මික සංග්‍රාමයකට රටම සුදානම් විය යුතුයි

රක්ෂණ ශ්‍රියන්ත

වියළි කාලගුණික තත්ත්වය පහව ගොස් ඉදිරි මාසයේ දී එළැඹෙන වැසි සමයත් සමඟ කෘෂිකාර්මික සංග්‍රාමයක් සඳහා රටම සුදානම් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

ඔක්තෝම්බර් මාසයේ පළමු සතිය ජාතික ගොවි සතියක් බවට ප්‍රකාශයට පත්කරන අතර මුළු රටම ඒකරාශිකරගත් පුළුල් කෘෂිකර්ම වැඩසටහනක් එම සතියේ දී ක්‍රියාවට නැංවීමට සැළසුම්කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා සියලූ අමාත්‍යාංශ සහ සියලූ ආයතන එක්විය යුතු බවට කැබිනට් තීරණයකට එළැඹෙන බව ද කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කෙළේ මඩකලපුව, කරදියනාරු කෘෂිකර්ම සේවා පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (31) එක් වෙමිනි.

පළාතේ ජනතාවගේ චාරිත්‍රානුකූලව මහත් හරසරින් ජනාධිපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව සම්ප්‍රධායානුකූල පොල්තෙල් පහන දල්වා, සමරු ඵලකය නිරාවරණය කර, කරදියනාරු කෘෂි කර්මාන්ත පුහුණු අභ්‍යාස ආයතනය විවෘත කළ ජනාධිපතිවරයා, අනතුරුව නැ‍ෙඟෙනහිර පළාත් කෘෂිකර්ම වෙබ් අඩවිය විවෘත කර නිරික්ෂණ චාරිකාවකද යෙදුනි. අනතුරුව රංගනයේ යෙදුනු දරු දැරියන් සමඟ කතා බස් කර ඡායාරූපයකට ද පෙනී සිටියේය.

එම උත්සව අවස්ථාවේ කරදියනාරු පලුකාමම් කණ්ගමුනි මහා විද්‍යාලයේ දරු දැරියන් ජනාධිපතිවරයාගෙන් රැස්වීම් ශාලාවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම ප්‍රථිචාර දක්වමින් රැස්වීම් ශාලාවක් සෑදීමට අවශ්‍ය මුදල් වහාම ලබාදීමට කටයුතු කරන බව ද කීවේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...

මගේ ප්‍රදේශය වූ පොළොන්නරු ප්‍රදේශයට යාබද දිස්ත්‍රික්කය වූ මඩකලපුව සමඟ මගේ තිබෙන්නේ කුඩා කළ සිටම ඉතාම සමීප සම්බන්ධතාවයක්. ඒ පිළිබඳ පළාත් කෘෂිකර්මාන්ත ඇමැතිවරයා එතුමාගේ කතාවේ දී සඳහන් කළා. අද තමුන්නාන්සේලා අපි එකතුවී ඉතාමත් වැදගත් කාර්යයක් ඉටුකරනු ලැබුවා. මේ පළාතට ඉතා වැදගත් වෙනවා කෘෂිකර්ම අභ්‍යාස ආයතනය. අපේ රට කෘෂිකර්මාන්ත රටක් වශයෙන් කෘෂිකර්මාන්තයට අදාළ සියලූ ආයතන ශක්තිමත් කිරීම ඉතාමත් අවශ්‍යයි. මේ ආයතනය පිහිටුවීම සඳහා මිලියන අසූවක් ලබාදුන් යුරෝපා සංගමයට, මම විශේෂයෙන්ම රජය සහ ජනතාව වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම දේශීය මුදල් මිලියන 23 ක් වැය කර තිඛෙනවා. ඒ අනුව මිලියන 103 ක් වැය කර තිඛෙනවා. ඒ නිසා මේ ආයතන ආරක්ෂා කර ගැනීම තමුන්නාන්සේලාගේ වගකීමක් සහ යුතුකමක්. පළාත් කෘෂිකර්ම ඇමතිවරයා කිව්වා, මේ ආයතනයේ තවත් සංවර්ධනය කර ගැනීමට අංශ තිඛෙනවා. ඒ සඳහා මිලියන 90 ක පමණ මුදලක් අවශ්‍යයි කියා. එම මිලියන 90 න් මිලියන 25 ක් මම මේ සතියේම ලබා දෙනවා එම කටයුතු ආරම්භ කිරීමට. මිලියන 25 ක වැඩ අවසන් වූවාට පසු ඉතිරි මුදලත් මම ලබා දෙනවා. කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා අපි සෑම කෙනෙක්ම කටයුතු කිරීම ඉතාමත් අත්‍යාවශ්‍ය වූ දෙයක්.

අපේ රටේ අනාගතය සහ සංවර්ධනය රඳාපවතින්නේ කෘෂිකර්මාන්තයේ දියුණුව තුළ බවයි මා දැඩි ලෙස විශ්වාස කරන්නේ. අවුරුදු දහස් ගණනක ඉතිහාසය තුළත් මේ රට දියුණු වුණේ කෘෂිකර්මාන්තයෙන්. ඒ නිසා අපි නව තාක්ෂණය භාවිත කරමින් කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට වැඩි ප්‍රමුඛතාවයක් ලබාදීම ඉතා අවශ්‍යයි. මේ රටේ ජීවත්වන ගොවි ජනතාවගේ ජීවිත සැපවත් ජීවිත නොවේ. අපේ රටේ ගොවි ජනතාවගේ ජීවිත ඉතාමත් දුක්මුසුයි. දුක්ගැහැට, කරදර රාශියක් මැද්දේ ගත කරන්නේ. ඔවුන්ගේ ආදායම් වර්ධනය වන්නේ නැති නිසා ශක්තිමත් වන්නේ නැති නිසා ණයබර සහ දුප්පත්කම ඔවුන්ට නිතරම තිඛෙනවා. ගොවි ජනතාවගේ ආර්ථීකය ශක්තිමත් කිරීමට නම් නිෂ්පාදනය කරන ආහාර බෝගවල අස්වැනු වැඩි කිරීම අවශ්‍යයි. එහි දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලටත් ප්‍රධාන වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට මේ පිළිබඳ විශාල වගකීමක් තිඛෙනවා. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය විජේකොන් මහතාත් මෙහි සිටිනවා. අපේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සිටින නිලධාරීන් ඉතාමත් දක්ෂ පිරිසක්. ඔවුන්ට හොඳ දැනුමක් තිඛෙනවා. ඔවුන්ගේ දැනුම ගොවි ජනතාවට දායාද කළ යුතුයි. ගොවි ජනතාව ඒ සම්බන්ධයෙන් හොඳින් පුහුණු කොට එම වගකීම් ඉටුකළ යුතුයි.

මඩකලපුව දිස්ත්‍රික්කය කෘෂිකර්මාන්තය පදනම් කරගත් දිස්ත්‍රික්කයක්. මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආර්ථීක වන්නේ වී ගොවිතැන, අතිරේක බෝග මෙන්ම අනෙක් පැත්තෙන් ධීවර කර්මාන්තය කෙරෙනවා. අපේ රටේ ජාතික ආර්ථීකයට මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තවත් විශේෂ දායකත්වයක් ලැඛෙනවා. ඒ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් තිඛෙන ආයතන වලින්. රජය විසින් නැ‍ෙඟෙනහිර පළාතේ සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කර තිඛෙනවා.

මම පසුගිය වසරේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් වැය කොට ආරම්භ කළා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැව් සියයක් සෑදීමට. මේ වන විට වැව් හතළිහක වැඩ අවසන් කර තිඛෙනවා. ඒ වගේම මඩකලපුව දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහාත් මුදල් වෙන්කොට එම වැඩකටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් සීයක වැඩ අවසන් කරන්නේ අපේ හමුදාව. ඔවුන් වංචාවක්, දූෂණයක් නොමැතිව එම කටයුතු හොඳින් ඉටු කරනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහාත් හමුදාවේ සහයෝගය ලබා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ගොවි ජනතාවටත් ගොවි ජනතා සේවා දෙපාර්තමේන්තුවටත් ගොවි සංවිධානවලටත් එකතු විය හැකියි. මම බලාපොරොත්තු වෙනවා පළාත් කෘෂිකර්ම ඇමතිවරයාට ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වගකීමක් ලබා දීමට. අපේ රජය බලයට පත්වී රටේ කෘෂිකර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රධාන සැලැස්මක් සකස් කර ගත්තා.

මම ගොවියෙකුගේ පුතෙක් විදියට උදේට පාසල් ගියේ කුඹුරට ගිහිල්ලා. ඒ නිසා මගේ ඇඟේ ලේවල කෘෂිකර්මාන්තය තිඛෙනවා. මම හැදුනේ සුඛෝපභෝගී ඉහළ සමාජ පරිසරයක නොවේ. වෙලේ, ඇළේ, කුඹුරේ, කමතේ තමයි මම හැදුනේ. ඒ නිසා කෘෂිකර්මාන්තය පිළිබඳව මට තියෙන්නේ විශේෂ ආදරයක් සහ ඇල්මක්. තමුන්නාන්සේලා පත්කළ වර්තමාන අපේ රජය බලයට පත්වී අපේ රටේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා සකස් කළ වැඩපිලිවෙළ අපිට අතරමග නතර කිරීමට සිදුවූ බව කනගාටුවෙන් වූවද කිව යුතුයි. එයට හේතුව වන්නේ අවුරුදු ගණනාවක් තිසේසේ අපේ රටේ පවතින නියඟයයි. ලංකාවේ දිස්ත්‍රික්ක 14 ක ට වැඩි සංඛ්‍යාවක බරපතළ නියඟයක් තිඛෙනවා. බොන්න වතුරත් නැහැ. මේ වන විට අපි පවුල් ලක්ෂ අටකට වියළි ආහාර සළාක දෙනවා ඔවුන්ට ජීවත්වීමට ඇති අසීරුතාවය නිසා. වියළි ආහාර සළාක සඳහා එම පවුල් ලක්ෂ අටට මේ වන විට රුපියල් කෝටි 310 ක් වෙන්කර තිඛෙනවා. නියඟය නිසා රටේ ආහාර හිඟයක් ඇති වුණා. කෘෂිකර්මාන්තය පහත වැටීමක් ඇති වුණා. වී ඇතුළු ආහාර නිෂ්පාදනය 50% න් පහත වැටුණා. ඒ නිසා ගොවි ජනතාවටත් බඩගින්නේ ඉන්න තත්ත්වයක් ඇති වුණා. නමුත් ඔවුන්ව බඩගින්නේ තියන්න බැරි නිසා රජය තීරණය කළා, එවැනි විශාල මුදලක් වැය කොට වියළි ආහාර සළාක දීමට. රටේ ප්‍රදේශ ගණනාවක බීමට වතුර නැහැ. පසුගිය දිනවල රත්නපුර, කළුතර වැනි දිස්ත්‍රික්කවල විශාල ගංවතුරක් ගලා ඒ ප්‍රදේශ විනාශ වුණා. මේ කාලගුණික අයහපත් තත්ත්වය අපේ රටට පමණක් බලපෑ තත්ත්වයක් නොවේ. අපේ අසල්වැසි රටවල් වලත් ගංවතුර සහ නියඟය බරපතළ ලෙස තිඛෙනවා. අපි විශ්වාස කරනවා ලබන මාසය වන විට අපිට වර්ෂාව ලැබේ කියා.

ලබන ඔක්තෝබර් මාසයේ සිට මුළු රටම කෘෂිකාර්මික ඇතුළු අනෙකුත් බෝග වගා සඳහා සංග්‍රාමයකට සූදානම් විය යුතුයි. මම ඒ ඉල්ලීම කරන්න කැමතියි. ඔක්තෝබර් මාසයේ පළවෙනි සතිය ජාතික ගොවි සතිය ලෙස මම ප්‍රකාශයට පත්කරනවා. ඒ ගොවි සතියේ දී කෘෂිකාර්මික වැඩසටහන් මුලු රටම ආවරණය වන වැඩසටහනක් විදියට කරන්න මම බලාපොරොත්තු වෙනවා. අගමැතිතුමත් ඇමැති මණ්ඩලයත් සමඟ සාකච්ඡා කර මම තීරණයක් ගන්නවා ඒ සතියේ දී රටේ සියලූ අමාත්‍යාංශ සියලූ ආයතන ඒ කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන සමඟ එකතුවිය යුතුයි.

අපි පසුගිය මාස ගණනාවක් පිටරටින් සහල් ගෙනාවා. ඒ, මේ රටේ ජනතාව බඩගින්නේ තියන්න බැරි නිසා. ලබන මාසේ අපිට මිත්‍ර රටක් හාල් මෙටි්‍රක් ටොන් 250, 000 ක් දෙන බවට ගිය සතියේ අපට දැනුම් දුන්නා. ඒවා අපට දෙන්නේ ආධාර විදියට. නමුත් අපට පිටරටින් හාල් හැමදාම ගෙනත් කන්න බැහැ. ආධාර වශයෙන් ආහාර අරගෙන කන්නත් බැහැ. ඒක අපට අගෞරවයක්. අපේ ආහාර අපිම නිෂ්පාදනය කරගන්න ඕනෑ.

අපි ආණ්ඩුවක් විදියට ලෝකයේ කාටවත් ණය වෙන්න හොඳ නැහැ. ඒ වගේම ගොවි ජනතාව විදියට තමුන්නාන්සේලාත් කාටවත් ණය වෙන්න හොඳ නැහැ. ඒ නිසා අප ආණ්ඩුවක් විදියට මේ ණය තත්ත්වයෙන් ජනතාව මුදවා ගත යුතුයි. වර්ෂාව සමඟ කෘෂිකාර්මික නිෂ්පාදන වර්ධනය කිරීම සඳහා පුලුල් ජාතික වැඩපිළිවෙළවල් අවශ්‍යයි. ඒ නිසා අපි වගා සංග්‍රාමයක් ක්‍රියාත්මක කරනවා.

වර්ෂාව සමඟ ලබන මාස් කන්නයේ දී හෙක්ටයාර් ලක්ෂ 08 ක් වගා කළ යුතුයි. මේ දවස්වල බොහෝ අය අහනවා බිත්තර වී හොයා ගන්නේ කොහොමද කියලා. බිත්තර වී බුසල් ලක්ෂ හතළිහක අවශ්‍යතාවයක් තිඛෙනවා. මේ බිත්තර වී බුසල් ලක්ෂ හතළිහම රජය විසින් ගොවි ජනතාවට දෙනවා. ඒ බිත්තර වී ප්‍රමාණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තිඛෙන බීජ වී අපි ගොවි ජනතාවට දෙනවා. ඒ නිසා බිත්තර වී සම්බන්ධයෙන් අඩුපාඩුවක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. කෘෂිකාර්මික සංවර්ධනයට අවශ්‍ය සෑම සහයක්ම රජය විසින් ලබා දෙනවා. තමුන්නාන්සේලා හැමකෙනෙක්ම සතුටෙන් ඉන්න විටයි මටත් සතුට තිඛෙන්නේ.

තමුන්නාන්සේලාගේ හිත්වල දුක තිඛෙනවා නම් ඒ දුක මටත් තිඛෙනවා. මගේ වැඩසටහන්වල දී මම ප්‍රමුඛත්වය දී තිඛෙන්නේ මේ රටේ දුප්පත්කම නැති කරන්නයි ගොවි ආර්ථිකය ශක්තිමත් කරන්නයි. දේශීය ආර්ථීකය ශක්තිමත් කිරීමේ දී අපට අඩුපාඩු පෙනී යනවා. දේශීය කෘෂිකර්මාන්තය සහ දේශීය කර්මාන්ත කාර්මීකරණය වඩාත් ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා රජය තීරණය කරලා ජාතික ආර්ථීක සභාවක් පිහිටෙව්වා. ලබන 12 වැනිදා ජාතික ආර්ථීක සභාව පළමු වරට රැස්වෙනවා. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව ඒ සඳහා විශාල වශයෙන් අපට මුදල් දෙන්න එකඟතාවය පළ කර තිඛෙනවා. ඒ නිසා මේ වැඩසටහන සාර්ථක කරගන්න පුලුවන් කියා මට විශ්වාසයි. කෘෂිකාර්මික වැඩසටහන් ශක්තිමක් කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක ආහාර සංවිධානය දෙන සහයෝගය ඉතා අගය කළ යුතු වෙනවා.

ඒ වගේම මේ කටයුතුවලට යුරෝපා සංවිධානය දෙන සහයෝගය ද ඉතාමත් අගය කළ යුතු වෙනවා. මේ ප්‍රදේශවල තිඛෙන ගැටලූ විසඳීමට අපි රජයක් විදියට කටයුතු කරනවා. මේ කරදියනාරු කෘෂිකාර්මික සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය මහනුවර ගන්නෝරුව වගේම දියුණු කළ යුතුයි. ඒ නිසා මම පළාත් කෘෂිකර්ම ඇමතිවරයාටත්, අධ්‍යක්ෂවරයාටත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආචාර්ය විජේකෝන් මහතා ඇතුළු සියලූදෙනාටත් කියනවා ගන්නෝරුව වගේම මේකත් හදන්න කියලා. සංවර්ධනයේ දී අවශ්‍ය වන මුදල් පිළිබඳව මම කිසිදු අඩුවක් කරන්නේ නැහැ. අවශ්‍ය මුදල් දෙනවා.

පළාත් කෘෂිකර්ම ඇමැතිවරයාගේ කතාවේ දී පැවසුවා මම අනුරාධපුරේ වැඩසටහනකට ගියාම පාසල් දරුවෙක් මගෙන් බස් එකක් ඉල්ලූවා. මම බස් එක්ක දුන්නා කියලා. මෙතන වේදිකාවේ නර්තනයක් ඉදිරිපත් කළ දරුවොත් ඒවගේ ඉල්ලීමක් කළා මගේ ළඟට ඇවිත්. කන්ගමුනී විද්‍යාලයෙන් තමයි ඒ ඉල්ලීම කළේ. එයාලා මට ලියුමක් දුන්නා එසෙම්බ්ලි හෝල් එකක් ඉල්ලලා. ඒ සඳහා අවශ්‍ය මුදල් මම නිදහස් කරන්න කටයුතු කරනවා. මේ පාසල පළාත් සභාවේ පාසලක් නිසා මම පළාත් සභාවට සල්ලි එවන්නම්. මහ ඇමතිවරයායි අධ්‍යාපන ඇමැතිවරයායි එක්වෙලා ඒ කටයුතු සිදුකරනු ඇතැයිද වැඩිදුරටත් පැවසීය. මේ අවස්ථාවට යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් උපදේශක විලට් වර්පෝස්ට්, නැ‍ෙඟෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, ප්‍රධාන ඇමැති නසීර් අහමඞ්, නියෝජ්‍ය ඇමැති අමීර් අලී යන මහත්වරුන් ද, නැ‍ඟෙනහිර පළාත් ඇමතිනී ආරියවතී ගලප්පත්ති, නැඟෙනහිර පළාත් කෘෂිකර්ම ඇමැති ක්‍රිෂ්ණපිල්ලෙයි තුරෙයිරාජසිංහම් මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරුරැසක්, රාජ්‍ය නිලධාරීන්, පළාතේ ජනතාව ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප - සුදත් මලවීර සහසඳරුවන්
අමරසිංහ ජනපති මාධ්‍ය අංශය


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...