මැණික් කර්මාන්ත ශිල්පීන්ගේ ගැටලු පිළිබඳ අවධානය | දිනමිණ

මැණික් කර්මාන්ත ශිල්පීන්ගේ ගැටලු පිළිබඳ අවධානය

උපාලි කරුණාරත්න

මැණික් පතල් කැනීම් ශිල්පීන්ගේ සහ මැණික් නිර්මාණ තාක්ෂණ ශිල්පීන්ගේ ගැටලු පිළිබඳ අවධානය යොමුකර ඊට විසදුම් ලබාදෙන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේ පෙරේදා(31) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති මැණික් පතල් කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුතු මැණික් පතල් කැනීම් ශිල්පීන්, මැණික් නිර්මාණ තාක්ෂණ ශිල්පීන් සහ ඔවුන්ගේ පවුල්වල ජීවිත සුරක්ෂිතතාවය සහ සුභසාදනය නැංවීම සඳහා ගෙන එනු ලබන රත්නාභිමානී ජීවිත සුරක්ෂණාවරණය සහ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ජනත කළ සමාරම්භක උළෙලට සහභාගි වෙමිණි. මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහභාගි විය. එහිදී ජනාධිපතිවරයා විසින් මැණික් පතල් කැනීම් ශිල්පීන්ට, මැණික් තාක්ෂණ ශිල්පීන්ට රත්නාභිමානී ජීවිත සුරක්ෂණාවරණය සහ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ සහතික පත් ලබාදුන් අතර ශිල්පීන් ඇඟයීමට ලක් කරන ලදී. ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණයද ජනාධිපතිවරයා විසින් නරඹන ලදී.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා-

මේ කටයුත්ත ඉතාම වැදගත් දෙයක් වශයෙන් හඳුන්වන්න පුලුවන්. මැණික් පතල් ප්‍රජාවට අද දින ඓතිහාසික දවසක්. මැණික් නිසා අපේ රට ලෝකය තුළ ඉතා ප්‍රසිද්ධියට පත්වුණා. අප අද මේ ස්ථානයේ නැරඹූ මැණික් ප්‍රදර්ශණය ජාත්‍යන්තර ප්‍රදර්ශණයක්. මැණික් කර්මාන්තයට හිමිවනුයේ ඉතාම දීර්ඝ ඉතිහාසයක්. හැබැයි මැණික් ගල පොළොවෙන් අපට සොයා දෙන කම්කරුවාගේ ජීවිතය එදත් දුක්බරයි. අදත් දුක්බරයි.

රත්නපුර ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයින් ලෙස අප දන්නවා පතල් වල සේවය කරන ජනතාව වැඩිදෙනා ගත කරන්නෙ දුක්බර ජීවිතයක්. ඒ වගේම මැණික් වාසනාව නිසා අතලොස්සක් තම ජීවිත පැහැබර කරගෙන තිබෙනවා. මේ වන විට මැණික් ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇතිවෙලා. මැණික් කර්මාන්තය සම්බන්ධයෙන් පවතින මේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර අප තීරණය කළා මේ මැණික් පතල් ප්‍රජාවගේ ජීවිත අදුරෙන් ආලෝකයට ගත යතුබව. එය ඉතාම දුෂ්කර කටයුත්තක් වශයෙන් හදුන්වන්න පුලුවන්. සම්ප්‍රදායික වෘත්තීය සමිතියක් ලෙස මේ කණ්ඩායම ඒකරාශී කරන්න බැහැ. එම නිසා වෙනත් ආකාරයේ මාදිලියක් අවශ්‍ය වුණා මොවුන් ඒකරාශී කරන්න. ඒ අනුව අප පසුගිය කාලයේ එක්තරා මැයි දිනයකදී රත්නපුර නගර ශාලාවට රැස්වී මැණික් පතල් සේවකයින්ගේ ජාතික සංවිධානය ආරම්භ කළා. එයට නායකත්වය දෙන්නෙ මැණික් පතල් බාසුන්නැහැ කෙනෙක්.

මැණික් පතල් සේවකයින් එකතු කළ හැක්කේ පතලේදී, මගුලකදී, සාජ්ජයකදී පමණක් බවත් එසේ නොමැතිව එකතු නොවන බවයි බොහෝ පුද්ගලයින් පවසන්නෙ. අද අප එම පිරිස් ඒකරාශී කර තිබෙනවා. ඔවුන් සඳහා විවිධ සුභ සාධන වැඩසටහන්ද ක්‍රියාත්මක කරනවා. පතලක ගැස් කාන්දුවකින් මිනිසුන් මිය යන විට, ඇඟට ලී කඩාගෙන වැටෙන විට, ගංගාවක මැණික් සෙවීමේදී ගල් ඇඟට වැටී අනතුරු සිදුවන විට ඔවුන්ගේ දරු පවුල් ඉතා අසරණ තත්ත්වයට පත් වනවා. මේවැනි දේ අධීක්ෂයේදී අපට පෙනී ගියා මොවුන්ගේ ජීවිත සඳහා සුරක්ෂිතභාවයක් තිබිය යුතු බව.

ලෝකය පුරා පතල් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක වනවා. නමුත් අපේ රටට රත්නදීපය යැයි නම හදාපු ඔවුන් වෙනුවෙන් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වුණේ නැහැ. එම අභියෝගයට අද අප සාර්ථකව මුහුණදී ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩ පිළිවෙළක් අද ආරම්භ කරනවා. රත්නාභිමාණි රක්ෂණ ක්‍රමය ආරම්භ කරනවා. මේ රක්ෂණ ක්‍රමයට ඉදිරියේදී සියලු පතල් ශිල්පීන් ඒකරාශී කර ගන්නවා. අප ආරම්භ කරන මේ වැඩ පිළිවෙළ ඓතිහාසික කාර්යයක් වශයෙන් මා ප්‍රකාශ කරනවා. ජාතික මැණික් පතල් සේවක සහයෝගීතා සංවිධානයට මගේ ශුභාශිංසන පළ කරනවා.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක මහතා-

අපගේ මැණික් කර්මාන්තයට වසර තුන්දහසකට වඩා ඉතිහාසයක් තිබෙනවා. ඊශ්‍රායලයේ සොලමන් රජතුමා තමාගේ භාර්යාව වූ ශිබා බිසවට ස්වර්ණාභරණ සෑදීම සඳහා දැනට වසර තුන්දහසකට කලින් මෙරටින් මැණික් රැගෙන ගියා. බුදුන් වහන්සේ වරක් මෙරටට වැඩම කළේ මැණික් පුටුවක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් විසදීමට.

මැණික් අපනයනය තුළින් ඩොලර් බිලියන දෙකක් වාර්ෂිකව ගෙන ඒමයි අපේ ඉලක්කය. මේ සඳහා සැලසුම් ගණනාවක් ආරම්භකර තිබෙනවා. ජනාධිපතිතුමා සමඟ අප නිලධාරීන් සාකච්ඡා කළා මැණික් කර්මාන්තයේ පවතින ගැටලු පිළිබඳව.

මේ අවස්ථාව සඳහා මහා සංඝරත්නය, රාජ්‍ය නිලධාරීහු, පතල් සේවයෝ සහභාගි වූහ.

ඡායාරූපය ජනධිපති මාධ්‍ය අංශය 

නව අදහස දක්වන්න