ඉන්දියා සාගරයේ නිදහසේ යාත්‍රා කිරීමටත් වෙළෙඳාම ප්‍රවර්ධනයටත් නීති-රීති සැකසිය යුතුයි | දිනමිණ

ඉන්දියා සාගරයේ නිදහසේ යාත්‍රා කිරීමටත් වෙළෙඳාම ප්‍රවර්ධනයටත් නීති-රීති සැකසිය යුතුයි

ශිරෝමි අබයසිංහ

ඉන්දියන් සාගරයේ යාත්‍රා කිරීමේ නිදහස තහවුරු වන නීති පද්ධතියක් බිහි කිරීම සහ ඉන්දියානු සාගර කලාපයේ ආර්ථික ක්‍රියාකාරකම් සක්‍රීය කරමින් අන්තර් කලාපීය වෙළෙදාම් ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති වැඩ රාමුවක් සකස් කරගැනීමට කලාපීය රාජ්‍ය සමග එක්ව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඉන්දියානු සාගර කලාපයේ ආර්ථික වර්ධනය වේගවත් කළ හැක්කේ අන්තර් කලාපීය වෙළෙදාම හා යටිතල පහසුකම් සංවර්ධනය වැඩි කිරීමෙන් බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා එමගින් රටවල් අතර සබඳතා ශක්තිමත් වන බවත් එමගින් අපේ ජාතික ආර්ථිකයන්හි වෙළෙඳ අංශය පුළුල් කිරීමට ක්‍රමෝපායන් සකස් කළ යුතු බවත් පැවැසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අරලිය ගහ මන්දිරයේදී පෙරේදා (31) ආරම්භ වු ඉන්දිය සාගර සමුළුව අමතමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිත්වය දරන මෙවර සමුළුවේ සමාරම්භක අවස්ථාවට ඉන්දියා විදේශ කටයුතු ඇමැතිනි සුශ්මා ස්වරාජ් , සී් ශෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් සහ සිංගප්පූරුවේ විදේශ අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහත්වරුන්ද එක් වූහ.

මේ අවස්ථාවට බංගලාදේශයේ වාණිජ අමාත්‍ය ටොෆෙල් අහමඩ් සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු නියෝජ්‍ය අමාත්‍ය ඉවවෝ හෝරී මහත්වරුද සහභාගි වූහ.සමුළුව අගෝස්තු 31 සහ සැප්තැම්බර් 01 යන දිනවල පැවැත්වුණි.

එහිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අරලියගහ මන්දිරයෙන් මීටර් දෙතුන් සීයයක් එපිටින් තිබෙන්නේ ලෝකයේ අනාගතය අර්ථ දක්වන්නට ඉරණම් වූ සාගරයක්. කාටත් ඊර්ෂ්‍යයා සිතෙන තරමට ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව මේ අනාගතය අර්ථ දැක්වීමෙහි ලා වැදගත් කාර්භාරයක් ඉටු කිරීමට සැදී පැහැදී සිටිනවා. අපේ වෙරළ තීරය සේදෙන්නේ මේ මහා සාගරයටයි. එය අපි විශේෂ රටක් බවට පත්කර තිබෙනවා. අපගේ අනාගත අභිවෘද්ධිය මේ මහා සාගරය සමග ගැඹුරින් බැඳී තිබෙන අතර එහි ජලය සුරක්ෂිත කිරීමේ වගකීමක් අපට තිබෙනවා. ඉන්දීය සාගරයේ ජනතාව වශයෙන් අප විශ්වාස කරන්නේ සියල්ලන් එක්වී සාමය, ප්‍රගතිය හා සමෘද්ධිය යන ඉලක්ක සාක්ෂාත් කරගත යුතු බවයි.

අප සියලූ දෙනාටම වැදගත් වන කාරණා නිරාකරණයට ඉන්දීය සාගරයේ අපේ හවුල්කරුවන් එක්රැස් කරගැනීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් අපි නොකඩවා ඉටු කරනවා. මේ සංදර්භය තුළ දෙවැනි ඉන්දීය සාගර සමුළුවට සපැමිණි ඔබසැම මම උණුසුම් ලෙස සාදරයෙන් පිළිගන්නා අතර අද මෙහි පැමිණීම සම්බන්ධයෙන් ඔබට කෘතඥ වෙනවා.

අපේ හිත මිතුරු අසල්වැසි ඉන්දියාව මේ සමුළුවට අවශ්‍ය දැක්ම ලබාදුන්නා. ඒ ආර්ථික ඒකකයක්. ඉන්දීය සාගර කලාපය දියුණු කිරීමේ අරමුණින් සමීප කලාපීය සහයෝගිතාවක් ඇති කිරිමත් සංවර්ධනය නොවූ සැකැස්මට පිළියම් කිරීමටත් සාදර පිවිසුමක් ලෙස හැඳින්විය හැකියි. ඉන්දියා පදනම පසුගිය වසරේ සිංගප්පූරුවේදී ඉන්දීය සාගර සමුළුව ආරම්භ කළේ කලාපීය සබඳතා වැඩි දියුණු කිරීමේ මාර්ග සෙවීමටයි. එය ශ්‍රී ලංකාවට දේශපාලන හා ආර්ථික වශයෙන් වැදගත් මාතෘකාවක්. ඉන්දීය සාගරයේ අනාගතය ගැන කටයුතු කරන්නට දේශපාලනඥයන් උසස් නිලධාරීන් හා විද්වතුන් අප මෙහි රැස්කොට සිටිනවා.

අප මෙසේ රැස්වන්නේ ගෝලීය හා මූල්‍ය ආර්ථික බලය ආසියාව දෙසට හැරෙන අවදියකයි. උතුරු ඇමෙරිකාවේ සහ යුරෝපයේ ස්ථාවර උසස් ආර්ථිකය තුළ වූ ගෝලීය ආර්ථික බලය ඔවුන්ගෙන් ඈත්වීමයි. මෙම සියවසේ පසු අර්ධය දක්වාම මෙය සිදුවෙනවා. ආර්ථික බලය තාක්ෂණය හා හමුදා බලය යන බටහිර දේශපාලන බලයට පදනම වූ මූලිකාංග ගත වූ අඩසියවස තුළ ආසියාව පෙන්වූ අතිවිශේෂ ආර්ථික සංවර්ධනය හමුවේ සැලකිය යුතු මට්ටමකින් අඩු වුණා. වර්ෂ 2050 වනවිට ලෝකයේ දැවැන්තම ආර්ථියන් බවට පත්වන ආසියානු රටවල් 50 ක් ගැන HSBC World in Forecast අනාවැකියක් පළ කර තිබෙනවා. 2030 වන විට ආසියාව ජනගහනය, දළ දේශීය නිෂ්පාදිතය, තාක්ෂණය හා හමුදාමය වියදම් මත පදනම් වූ ගෝලීය බලයෙන් බටහිර රටවල් ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරනවා. ලෝක ආර්ථික සමුළුව 2016 දී කැඳවන ලද ගෝලීය අනාගත වාර්ෂික සභා රැස්වීමේදී 2030 වන විට ලෝකයේ කිසිදු තනි බලයක් ඉතිරි නොවන බවත් ඒ වෙනුවට බහුවිධ ලෝකයක් බිහිවන බවත් එහිදි ඇමරිකාව, චීනය, ඉන්දියාව, ජර්මනිය, ජපානය, රුසියාව එහි ප්‍රබලයන් වන බවත් නිගමනය කළා.

මෑතකදී Price Water House Coopers වාර්තාව (2050 ලෝකය) මගින් ඉහත අනාවැකිය නැවතත් තහවුරු කරනු ලැබුවා. ඒ වාර්තාවට අනුව ඉන්දීය සාගර කලාපයේ රටවල් 32 න් 9 ක් (බංගලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, පකිස්තානය, මැලේසියාව, තායිලන්තය, චීනය, සෞදි අරාබිය, ඔස්ට්‍රේලියාව හා ඉරානය) ලෝකයේ ප්‍රමුඛතම ආර්ථිකයන් වන බව නිගමනය කර තිබෙනවා. මේ යථාර්තය ගෝලීය සන්දර්භයක අපේ උපක්‍රමික වැදගත්කම වැඩි කරනවා.

ප්‍රායෝගිකව ගත්කල ආසියාවේ සමහර රටවල් දැනටමත් බටහිර බලවත් රටවල්වලට වඩා ඉදිරියට ගොස් තිබෙනවා. මන්දගාමී බව නොතකා චීන ආර්ථික 2028 වන විට ඇමරිකානු ආර්ථිකය අභිබවා යන බවට අනාවැකි පලවී තිබෙනවා. 2050 වනවිට ඉන්දියාව ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය වීමේ දැවැන්ත හැකියාවක් පෙන්නුම් කරනවා. ඉන්දුනීසියාවත් මැලේසියාවත් දැවැන්ත ආර්ථික වර්ධනයක් ළඟාකර ගන්නා බවට අනාවැකි පළවෙනවා. ඒ වගේම 2030 වනවිට මේ රටවල් දෙකත් බටහිර රටවල් කිහිපයක් ඉක්මවා යනු ඇතැයි අනාවැකි පළ වෙනවා.

ආසියානු රටවල් අතර කලාපීය අවබෝධාත්මක ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම ඇතිවූවාට පසු ආසියානු රටවල් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 30% ක ප්‍රමාණයක් ආවරණය කරන්නට සූදානම්.

මෙවැනි බලාපොරොත්තු සහගත අනාවැකි කෙසේ වෙතත්, ආසියානු සාගර කලාපයේ බෙංගාල බොක්ක සහ නැගෙනහිර ආසියාව ද ඇතුළුව අභ්‍යන්තරික වෙළඳාම තවමත් අඩු මට්ටමක පවතිනවා. උදාහරණයක් වශයෙන් දකුණු ආසියාව ලෝකයේ ආර්ථික වශයෙන් ඒකාබද්ධ වීම අඩුම කලාපය වශයෙනුයි පවතින්නේ. යුරෝපීය හා පැසිපික් ජාතීන් මෙන් නොව ඉන්දියානු සාගර කලාපයේ ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට දේශපාලනික උනන්දුවක් නැහැ. විශේෂයෙන් ගතහොත් වෙළදාම නිදහස් කිරීම හා සබඳතාව ඒ අතර වෙනවා. වෙළදාම හා අන්තර් සබඳතාවය ඉහළ මට්ටමේ කලාපීය වර්ධන අනුපාතයක් පවත්වාගැනීම සඳහා අවශ්‍යයි. මෙවර ජකර්තාවේ පැවැත්වෙන IORA සමුළුව අවධානය යොමු කරන්නේ කලාපයේ ආර්ථික හා උපක්‍රමික සබඳතා වර්ධනය කරගැනීම කෙරෙහිය. වෙළදාම නිදහස් කිරීමටත් සබැදියාව වර්ධනයටත් එවැන්නක් අවශ්‍යයි. ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානය (IORA) 2017 ජකර්තා නුවරදී රැස්වීමට එකඟවීම මගින් සාමාජික රටවලට ස්වකීය කලාපය තුළ වෙළදාම් හා ආයෝජන වැඩිකිරීමේ කැපවීමක්, නැඹුරුතාවක් ඇති කළා. කලාපය තුළ භාණ්ඩ හා සේවා ගලායෑම වැඩිකිරීම, ආයෝජන වැඩිකිරීම හා තරඟකාරී ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ නියාමන ප්‍රතිසංස්කරණ තවදුරටත් කරගෙන යාමටත් ඔවුන් උනන්දු වුණා. ඉදිරි අවුරුදු හතර ඇතුළත 2017 – 2027IORA ක්‍රියාකාරී සැලසුම ක්‍රියාත්මක කිරීමෙන් අපි මෙයට ආරම්භයක් දෙමු. මේ සැලසුම මගින් බලාපොරොත්තු වනුයේ බාධක අවම කරමින් හා පහසුකම් වැඩිකරමින් කලාපීය වෙළදාම හා ආයෝජනවලට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමත්, හැකියා වර්ධනය කිරීමත්ය. මේ සමුළුව මගින් IORA වෙත විශ්වාසනීය ක්‍රමෝපායක අවශ්‍යතාව ගැන පහත නිර්දේශ ඉදිරිපත් කරමු. ඒවානම්,

* ආරක්ෂා කාරී වෙළඳ පියවර වැළැක්වීම,
* ව්‍යාපාර පහසු කිරීමේ පියවර ක්‍රියාත්මක කිරීම,
* ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳ පහසුකම් සැපයීමේ ගිවිසුමට කැපවීම,
* අධික බදු, අතුරු බදු හා බදු නොවන බාධක එකඟ වූ කාල පරිච්ඡෙදයක් තුළ ඉවත් කිරීම.

අන්තර් කලාපීය වෙළදාම සංවර්ධනය වන්නට නම් කලාපයේ ව්‍යාපාර වර්ධනය විය යුතුයි. ප්‍රසාරණය වීම සඳහා මේ ව්‍යාපාරවලට ප්‍රාග්ධනය අවශ්‍යයි. එහෙත් කලාපය තුළ එය ඉතා සීමිතයි. මේ නිසයි මම ඉන්දීය සාගර සංවර්ධන අරමුදලක් පිහිටුවීමේ අවශ්‍යතාවය ගැන කීවේ. ඒ අරමුදල මගින් ජාතික සංවර්ධන බැංකුවලට අවශ්‍ය මූල්‍ය සම්පත් ලබාදිය හැකියි. එමගින් කලාපයේ ව්‍යාපාර ව්‍යාප්තියට අවශ්‍ය මූල්‍ය සම්පත් සපයාදිය හැකියි.

ජකර්තා හීදි IORA අවධාරණය කළේ ඉන්දීය සාගර කලාපයට නිල් ආර්ථිකයක් (Blue Economy) ඇතිකිරීමේ අවශ්‍යතාවයයි. ලෝකයේ අනෙකුත් සාගරවල මත්ස්‍ය සම්පත් අඩුවීමක් අත්දැක ඇති නමුත්, ඉන්දියන් සාගරයේ එවැනි ප්‍රවණතාවක් දක්නට නැහැ. මා මේ කතාකරන මොහොතේදී මත්ස්‍ය වෙළඳාම කර්මාන්තයක් බවට පත්කරගත් රටවල් ගණනාවක ධීවර යාත්‍රා, ඉන්දීය සාගරයේ මත්ස්‍ය සම්පත නෙළාගනිමින් සිටිනවා. සාගර සීමාවේ රටවල්වලට දේශීය පරිභෝජනය සඳහා මෙන්ම අපනයනය සඳහා ද මත්ස්‍ය සම්පත ඉතා වැදගත්.

ලෝකයේ අක් වෙරළ තෙල් නිෂ්පාදනයෙන් 40% ක් ඉන්දියානු සාගරය ආශ්‍රිතව සිදුවන බව ගණන් බලා තිබෙනවා. සෞදි අරාබියාව, ඉරානය, ඉන්දියාව හා බටහිර ඕස්ට්‍රේලියාව ආශ්‍රිත අක් වෙරළ කලාපයේ දැවැන්ත හයිඩ්රෝන කාබන් සංචිත මේ සඳහා ප්‍රයෝජනයට ගැනෙනවා. බැර ඛණිජ ද්‍රව්‍යයවලින් පොහොසත් වෙරළ වැලි හා අක් වෙරළ වැලි සංචිත හාරා ලබාගැනීම ශ්‍රි ලංකාවේ මෙන්ම සාගර කලාපයේ අනෙකුත් රටවල ද සිදුවෙනවා. මෑතකදී පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවේ දී නිගමනය වූයේ සාගරයේ සෞඛ්‍යයද රැකගැනීම මානව වර්ගයාගේ පැවැත්මට අත්‍යාවශ්‍ය බවයි. සාගරයට හානියක් වීම වැළැක්වීම සඳහා අධික මසුන් මැරීම, අක් වෙරළ හා වෙරළබද ක්‍රියාකාරකම් මගින් සිදුවන දූෂණ වැළැක්වීම, ජෛව විවිධත්වය හා වාසභූමි අහිමිවීම ආදි ගැටළු ආමන්ත්‍රණයට සිය සාමාජික රටවල් එක් කර ගත යුතුයි.

ඉන්දීය සාගර කලාපයේ වත්කම් වැඩිකර ගැනීම ආර්ථික කටයුතු පුළුල් කිරීම මගින් වාසි සැලසෙනවා මෙන්ම දැවැන්ත ආරක්ෂක අභියෝගයකුත් අප වෙත එල්ලවනවා. ලෝකයේ සන්නද්ධ ගැටුම්වලින් බහුතරයක් වර්තමානයේ ස්ථානගතවී තිබෙන්නේ ඉන්දීය සාගර කලාපය තුළයි. ඉන්දියන් සාගරය න්‍යෂ්ටික හැකියාව සහිත කලාපීය බලවතුන්ගේ නැගීසිටීම ද ඇතුළුව අඛණ්ඩව වර්ධනය වන උපක්‍රමික සංවර්ධනයන්ට ද නිවස වී තිබෙනවා. ගල්ෆ් කලාපයේ ගැටුම්, ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ අසහනය, ප්‍රචණ්ඩකාරි අන්තවාදයේ නැගී සිටීම, අප්‍රිකානු කලාපයේ මුහුදුකොල්ලකරුවන්ගේ වැඩිවීම ආදී වශයෙන් ගැටුම් හා තර්ජන අපේ කලාපය තුළ ව්‍යාප්ත වී තිබෙනවා. මැදපෙරදිග හා බටහිර ආසියාවේ නැගී එන ගැටුම් හේතුවෙන් ලෝක බලවතුන් ඔවුන්ගේ හමුදා සැලකිය යුතු මට්ටමකින් ඉන්දීය සාගර කලාපයට මුදාහැර තිබෙනවා.

අපේ දැක්ම අනුව ගෝලීය ආර්ථිකයට පණදෙන ඉන්දීය සාගරයේ සන්නිවේදන මුහුදු මාර්ග සියල්ලන්ටම විවෘත විය යුතු අතර ඒවා තිරසාර ක්‍රමයකට සියලු දෙනාගේම යහපත වෙනුවෙන් ප්‍රයෝජනයට ගත යුතුය. ඉන්දීය සාගර කලාපයේ සාමය හා ස්ථාවරත්වය පවත්වා ගැනීම අත්‍යාවශ්‍යයි. එමගින් සියලූ රටවලට යාත්‍රා කිරීමටත් පියාසර කිරීමටත් ඇති අයිතිය තහවුරු කෙරෙන අතර වත්මන් ජාත්‍යන්තර නීති රෙගුලාසිවලට අනුකූලව නිර්බාධිතව නිත්‍යනූකුල සාගර වෙළඳ කටයුතු කරගෙන යාමටත් ඉඩ සැලසෙනවා. ඉන්දීය සාගර කලාපයේ සංවර්ධන කටයුතු සිදුවන විට ඒ සමග ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව හා ජපානය වැනි ප්‍රබල රටවල් සාගර ගවේෂණය, සාගර කැණීම්, සාගර පර්යේෂණ සඳහා දුරස්ථ සංවේදන උපකරණ යොදාගැනීම ආදිය සිදුවනවා. මෙහි දැක්වූ අවසන් රටවල් තුන ඔවුන්ගේ නාවික හමුදා ප්‍රවේශ කිරීම මගින් සාගර කටයුතුවල දැවැන්ත කාර්යභාරයක් ඉටුකරාවි. මෙමගින් නාවික බල තරගවලට මග පෑදෙන අතර මුහුදු පාලනයට හා මුහුදු ගමන් ප්‍රතික්ෂේප කිරීමට සැලසුම් ද සකස්විය හැකියි.

ඔබ දන්නා පරිදි ඉන්දියානු සාගරයේ මර්මස්ථාන 10ක් තිබෙනවා. ගුවන් හා මුහුදු මාර්ගයේ ගැටුම්වලට මෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාරවලටත් රාජ්‍ය නොවන ක්‍රියාකාරිකයින්ගේ බලපෑම්වලටත් ඒවා විවෘතයි. මැදපෙරදිග හා බටහිර ආසියාවේ පවතින ගැටුම් උත්සන්නවීමත් සමඟ ලෝක බලවතුන් සැලකිය යුතු හමුදා ප්‍රවේශයක් ඉන්දියන් සාගර කලාපය තුළට යොදවා තිබෙනවා. මේ ගැටුම්වල මූල හේතු ලෝක ප්‍රජාව එකතු වී විසඳුමකට පත්කරන තෙක් මේ ප්‍රවණතාව තවත් යම් කාලයක් ඉදිරියට පවතීවි.

මේ සාම්ප්‍රදායික හා නූතන ආරක්ෂක ප්‍රශ්න ජාත්‍යන්තර වශයෙන් තවමත් ආමන්ත්‍රණය වී නැහැ. ඉන්දියන් සාගරයේ යාත්‍රා කිරීමේ නිදහසට අදාළ ප්‍රශ්න නිරාකරණයට එක්සත් ජාතීන්ගේ සමුද්‍ර නීති සම්මුතියේ (UNCLOS) 34 සිට 56 දක්වා වගන්ති ප්‍රමාණවත් නැහැ. එම නිසා ආර්ථික හා ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් පොදු දැක්මක් ඇති කර ගැනීම සඳහා අපේ සියලු පාර්ශ්වයන් සමග කටයුතු කරන්නට ශ්‍රි ලංකාව බලාපොරොත්තු වෙනවා. මේ දැක්මෙහි අත්‍යාවශ්‍ය අංගයක් වශයෙන් අපේ සාගරයේ යාත්‍රා කිරීමේ නිදහස තහවුරු කරන ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතු බවයි අපේ අවබෝධය. මේ සම්බන්ධයෙන් ඉන්දියන් සාගරය මතින් පියාසර කිරීමේ හා යාත්‍රා කිරීමේ නිදහස පිළිබඳ ස්ථාවර, නෛතික විධිවිධාන පද්ධතියක් සකස් කර ගැනීම සඳහා රැස්වීමක් කැඳවීමට ගවේශණාත්මක සාකච්ඡාවක් ආරම්භ කරන්නට ශ්‍රී ලංකාව ළඟදීම පියවර ගන්නවා. එවැනි පියවරක් ගැනීමෙන් සමුද්‍රාශ්‍රිත රටවලට තරඟකාරීත්වය කළමනාකරණය කරන්නටත්, අපේ අනාගත ඉරණම තීරණය කරන්නට අවශ්‍ය හැකියාව ලැබේවි.

ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීම සඳහා යාත්‍රා කිරීමේ නිදහස පවත්වා ගැනීම ඉතා වැදගත් බව අපේ විශ්වාසයයි. අපේ උපක්‍රමික ස්ථානගත වීම මෙන්ම සෑම වෙරළකම වරායක් පැවතීම හා ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් දෙකක් සමග බැඳුණු මාර්ග ජාලයක් පැවතීමේ උපරිම ප්‍රතිඵල අපට නෙලාගැනීමට හැකි වන්නේ එවිටයි. කොළඹ නගරය අක් වෙරළ මූල්‍ය හා ව්‍යාපාර සඳහා කේන්ද්‍රස්ථානයක් වනු ඇති. අවසන් වශයෙන් යුරෝපා සංගමයේ වෙළෙඳපොළට වරණීය ප්‍රවේශයක් සහිත නිෂ්පාදන හා සේවා කේන්ද්‍රස්ථානයක් වශයෙන් වේදිකාවක් ගොඩනගා ගන්නට ශ්‍රී ලංකාවට හැකි වේවි.

ඇතැම් අය හමුදා කඳවුරක් යැයි කියන හම්බන්තොට වරාය ද ඇතුලූව ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරාය සංවර්ධනය කිරීමට අප විසින් ගන්නා ලද තීරණය සඳහන් කරන්නට කැමතියි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා රජය කිසිදු රටක් සමග හමුදාමය සන්ධානයකට ඇතුලූ වන්නේ නැති බවත්, එසේම අපේ භූමියේ විදෙස් රටක කඳවුරු ඇති කර ගැනීමට ඉඩ නොදෙන බවත් මේ අවස්ථාවේ දී මා පැහැදිලිව කියා සිටිනවා. කෙසේ වෙතත් මිත්‍ර රටවල් සමග පුහුණුවීම්, උපකරණ සැපයීම් හා බද්ධ අභ්‍යාසවලට සහභාගි වීම් වැනි හමුදාමය සහයෝගීතාවලට තවදුරටත් සහභාගි වන බව කිව යුතුයි. අපේ වරාය හා ගුවන් තොටුපොළවල හමුදාමය ක්‍රියාමාර්ග සඳහා අවසර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවට පමණයි. එමෙන්ම, අපේ වරාය වාණිජ වශයෙන් සංවර්ධනය කිරීම සඳහා අපි විදේශීය පෞද්ගලික ආයෝජකයන් සමග ද ක්‍රියා කරනවා.

ඉන්දියානු සාගර කලාපයට ඵලදායී බහුපාර්ශ්වීය වෙළෙඳ ගිවිසුමක් නොමැති බැවින් ශ්‍රී ලංකාව වෙරළාශ්‍රිත අසල්වැසි රාජ්ය්‍යන් සමග ද්විපාර්ශ්වික ගිවිසුම්වලට එළැඹිමට තීරණය කර තිබෙනවා. පවතින එකම විකල්පය එයයි. අපට දැනටමත් ඉන්දියාව හා පාකිස්ථානය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් තිබෙනවා. සිංගප්පූරුවත් සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා කටයුතු අවසන් කරන්නට බලාපොරොත්තු වන අතර ඉන් පසු බෙංගාලබොක්ක ආශ්‍රිත කලාපයේ අනෙකුත් රටවල් සමගත් එවැනි ගිවිසුම් ඇති කර ගන්නවා. දැනටමත් චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා අපි සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේ ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් සහනයත් ලැබී තියෙනවා.

ඉහත වෙළෙඳ ගිවිසුම් සමග නාවික, ගුවන් හා ව්‍යාපාර කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය අන්තර් කලාපීය වෙළෙදාම් සංවර්ධනය ද දායක වේවි. අපේ කලාපයේ ආර්ථික වර්ධනය වේගවත් කළ හැක්කේ අන්තර් කලාපීය වෙළෙදාම හා යටිතල පහසුකම් සංවර්ධනය වැඩි කිරීමෙන්. එමගින් රටවල් අතර සබඳතා ශක්තිමත් වෙනවා. මේ සඳහා අපේ ආණ්ඩු කලාපීය වටිනාකම් දාමයක් නිර්මාණය කරමින් අපේ ජාතික ආර්ථිකයන්හි වෙළෙඳ අංශය පුළුල් කරන්නට ක්‍රමෝපායන් සකස් කළ යුතුයි.

එම නිසා ශ්‍රී ලංකාව අපේ සියලූ පාර්ශ්වකරුවන් සමග වෙළෙඳාම් කිරීමට විවෘත බව මා නැවතත් කියා සිටිනවා. අතීතයේ දී මෙන් ඉන්දීය සාගරයේ විභවයෙන් ඵල නෙලාගන්නට බලාපොරොත්තු වන සියලූ දෙනාම ප්‍රිය කරන දිශාන්තයක් වන්නටයි අපි බලාපොරොත්තු වන්නේ. ඉන්දියන් සාගරයේ යාත්‍රා කිරීමේ නිදහස තහවුරු වන නීති පද්ධතියක් බිහි කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉන්දියානු සාගර කලාපයේ ආර්ථික ක්‍රියාකාරකම් දැඩි කරවන අන්තර් කලාපීය වෙළෙදාම් ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති වැඩ රාමුවක් නිශ්චිත කාලයක් ඇතුළත ඇති කරගැනීම සඳහා උනන්දුවක් ඇති සාගර කලාපීය රාජ්‍ය සමග කටයුතු කරන්නට මා බලාපොරොත්තු වෙනවා. අපේ විශ්වාසය වන්නේ අපි සියලූ දෙනාම මේ පොදු අරමුණ වෙනුවෙන් කටයුතු කළහොත් අපේ කලාපය තුළ තිරසාර සාමය හා සමෘද්ධිය නිසැකවම ඇති කර ගත හැකි බවයි. මා ඔබ සියලූ දෙනාටම සාර්ථක සමුළුවක් හා කොළඹ රැඳී සිටින කාලය ප්‍රීතිමත් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා.

ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය සුශ්මා ස්වරාජ් මහත්මිය , ෂී ශෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් සහ සිංගප්පූරුවේ විදේශ අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහත්වරුන්ද සභාව ඇමතූහ.

මේ අවස්ථාවට මැති ඇමතිවරුන්, දේශිය විදේශිය නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

ජායාරූප- හිරන්ත ගුණතිලක 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...