ශ්‍රීලනිපයට විශිෂ්ට ජයක් අත්කර දීමට ජනපති වටා එක්රොක් වෙමු | දිනමිණ

ශ්‍රීලනිපයට විශිෂ්ට ජයක් අත්කර දීමට ජනපති වටා එක්රොක් වෙමු

තරුණ පරපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව දැඩි විශ්වාසයකින් යුතුව සිටින අතර, ඉදිරියේදී පැවැත්වීමට අපේක්ෂිත පළාත් පාලන මැතිවරණය ඇතුළු අනිකුත් මැතිවරණවලින් විශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රීලනිපයට ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාසය තුළ ඉදිරියේදී විශිෂ්ට සංවර්ධනයක් ඇතිකිරීමට තමා කටයුතු කරන බවත්, පොල්ගහවෙල නව ශ්‍රීලනිප සංවිධායක අනුරාධ හේවගේ මහතා ඊයේ (01) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය. පොල්ගහවෙල "ගජ මදාරා" සාද නිකේතනයේදී මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි.

පොල්ගහවෙල බලප්‍රදේශයට සුදුසු සංවිධායකවරයකු නොමැතිවීමේ හේතුවෙන් පසුගිය වකවානුව තුළ ඔවුනට යම් අසාධාරණයක් සිදුවී ඇති බව පෙනෙන්නට තිබෙන නමුත්, මෙයින් ඉදිරියට ඔවුනට කිසිදු අසාධාරණයක් හෝ අඩුපාඩුවක් සිදු නොවීමට තමා කැපවීමෙන් කටයුතු කරන බවත්, ඒ මහතා වැඩිදුරටත් පැවසීය. පොල්ගහවෙල මැතිවරණ බලප්‍රදේශයට පසුගිය කාලයේ සංවිධායකවරුන් පත්කරන ලද්දේ මේ ප්‍රදේශයෙන් නොව, වෙනත් බාහිර ප්‍රදේශවලිනුයි. ඒ නිසා ආසනයේ වැඩ කටයුතු නිසි පරිදි ඉටුවුණේ නැහැ. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය ඒ පිළිබඳව දැඩි ලෙස යොමුවුණා. ඒ අනුව මෙයින් ඉදිරියට ජනාධිපතිවරයාගේ ද විශේෂ අනුග්‍රහය මත ආසනයේ වැඩකටයුතු ප්‍රශස්ත අයුරින් සිදුකිරීමට තමා කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

වත්මන් රජය, ජනාධිපතිගේ හා අගමැතිගේ නායකත්වය යටතේ රට සංවර්ධනය කිරීමේ ක්‍රමානුකූල වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ අනුව අප සැම බලාපොරොත්තු වන සංවර්ධන යුගයක් ඉදිරියේදී ඇතිවන බව විශ්වාසයි. මෙරට තරුණ පරපුර ද ශ්‍රීලනිපය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති අතර, ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙළ ද රජය මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතව ඇත. ඒ අනුව අප කවුරුත් බලාපොරොත්තු වන නව යුගයක් ඉදිරියේදී උදාවන බවද අනුරාධ හේවගේ මහතා සඳහන් කළේය.

ශ්‍රීලනිපයේ අද පවුල්වාදයක් නැහැ. පවුල් පිටින් හම්බකර ගන්න උත්සාහ කරන කිසිවකුත් දැනට පක්ෂයේ නැහැ. මෙය අද ඉතාම පිරිසිදු පක්ෂයක්. පක්ෂය පිළිබඳව ජනතා විශ්වාසය ද මේ වන විට වැඩිවෙමින් පවතී. එහෙයින් ජනාධිපතිගේ නායකත්වය යටතේ ශ්‍රීලනිපයට ද අනාගතයේදී ඉතා හොඳ තත්ත්වයක් උදාවීම නියත බව ද ඒ මහතා කීය. හොඳ දැක්මක්, හොඳ නායකත්වයක් තිබෙන ජනාධිපතිවරයෙක් දැනට සිටී. තරුණ තරුණියන්ගේ සහයෝගය ද ඉතා දැඩි ලෙස පක්ෂයට ලැබෙමින් පවතී. ඒ අනුව ඉදිරියේදී පැමිණෙන පළාත් පාලන මැතිවරණය ඇතුළු අනිකුත් ඕනෑම මැතිවරණයකින් ශ්‍රීලනිපයට ජයග්‍රහණය ලබාගැනීම අසීරු කටයුත්තක් නොවන බව ද ඒ මහතා කීය.

ශ්‍රීලනිපයට විවිධ විවේචන එල්ල කරන පිරිසක් ද සිටින නමුත් ඔවුන්ගේ විවේචන කිසිදු ආකාරයකින් පක්ෂයට අහිතකර නොවන බවත් පක්ෂය රැකගන්නට, විවේචනවලට මුහුණ දෙන්නට සැමදෙනාම සූදානමින් සිටින බවත් කීය.

ශ්‍රීලනිපයේ සංවිධායක තනතුර හොබවමින් එක කකුලක් අනික් පැත්තට තබමින් දෙබිඩි පිළිවෙත් අනුගමනය කළ සංවිධායකවරුන් ද පසුගිය කාලය තුළ නිර්මාණය වී සිටි නමුත්, අද එවන් පුද්ගලයන්ට ශ්‍රීලනිපය තුළ ඉඩකඩ නැති වී ගොස් තිබෙන බවත්, හෙට(03) පවත්වන 66 වැනි සම්මේලනයෙන් පක්ෂයේ අභිමානය සියලු දෙනාටම විවෘතව දැකබලා ගැනීමට හැකියාව ලැබෙන බවත් ඒ මහතා කීය. අලුත් ගමනක් යන්නට මේ රටේ ජනතාව සූදානම් වී සිටී. ඒ සඳහා මූලිකත්වය ගෙන පෙරමුණ ගන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සුදානම්ව සිටින හෙයින් ‍රටේ තරුණ සංවිධායකවරුන් වශයෙන් අපද අප‍ගේ උපරිම ශක්තියෙන් ඒ සඳහා දායකවන බවද අනුරාධ හේවගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වීරඹුගෙදර ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ උපලේඛකාධිකාරි, සියඹලාවැහැර ශ්‍රී නිකලන්දාරාමාධිපති තිස්සපුර ගුණ‍රතන හිමි-

පොල්ගහවෙල භික්ෂු සංවිධානයේද ඉල්ලීම පරිදි හොඳ සංවිධායකවරයකු පත්කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිට තුති පුදන බව කීය.

රටේ ආර්ථික දියුණුවක් අපේක්ෂා කරන මේ අවස්ථාවෙහි ඒ සඳහා තරුණ සංවිධායකයන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට ජනතාවගේ ප්‍රණාමය හිමිවිය යුතු බවත්, භික්ෂූන්ගේද අවවාද අනුශාසනා ලබමින් ප්‍රදේශය සංවර්ධනය කළ හැකි බුද්ධිමත් තරුණයකුට පොල්ගහවෙල මැතිවරණ බලප්‍රදේශයේ සංවිධායක ධුරය ලබාදීම අගය කළ යුතු කාර්යයක් බවත් පැවසූහ.

ගම්බද ජනතාව තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර නැහැ. පක්ෂය පිළිබඳව ඔවුන් තුළ තිබෙන්නේද දැඩි විශ්වාසයක්. ඒ නිසා පක්ෂය ශක්තිමත් කර ජනතාවගේ බලාපොරොත්තු ඉටුකර දීමට කැපවීමෙන් කටයුතු කළ යුතු බවද උන්වහන්සේ පැවසූහ.

පොල්ගහවෙල ඇඹලවත්ත ශ්‍රීලනිප ශාඛා සමිති සභාපති ආනන්ද ජයසිංහ මහතා-

එදා සංවිධායක තනතුරු ලබාගත් බොහෝ දෙනෙකු එම සංවිධායක පදවිය තුළින් තම බඩ වඩා ගැනීමට කටයුතු කළා විනා ප්‍රදේශයට සංවර්ධනයක් නොකළ බවත්, වත්මන් ජනාධිපති තරුණ නායකයකුට සංවිධායකකම ලබාදීමෙන් ප්‍රදේශයට හොඳ සේවාවක් ලබාගැනීමට ඉඩකඩ ලැබෙන බවත් කීය.

පොල්ගහවෙල ඇඹලවත්ත ශ්‍රීලනිප ශාඛාවේ හිටපු සභාපති හා වත්මන් ශ්‍රීලනිප ශාඛා ක්‍රියාකාරි සාමාජික සෝමපාල කාරියකරවන මහතා -

රටේ දුප්පත් අහිංසක ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරදීමට හොඳ ශක්තියක් ඇත්තේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බවත්, ඔහුගේ කාර්යභාරය මැනවින් ඉටුකර දීමට සහායවීම සඳහා උගත්, බුද්ධිමත් තරුණයකු පොල්ගහවෙල ආසනයේ සංවිධාකයද වශයෙන් පත්කිරීමට පියවර ගැනීම අගය කළ යුතු කාර්යයක් බවත් කීය. හොඳ නායකත්වයක් යටතේ රට ඉදිරියට ගමන් කරමින් සිටින හෙයින්, රටේ අභිවෘද්ධිය පතා සියලු දෙනාගේම සහාය වත්මන් ‍රජයට ලබාදිය යුතු බවත් ඒ මහතා කීය. 

එම්. මහරුප් කුරුණෑගල
දකුණ සමූහ සහ කුරුණෑගල
දිස්ත්‍රික් සංචාරක

නව අදහස දක්වන්න