66 වසරක අභිමානවත් ගමන | දිනමිණ

66 වසරක අභිමානවත් ගමන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය වෙනුවෙනි

වර්තමාන ශ්‍රී ලංකා රාජ්‍යයේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඈත එපිට පොලොන්නරුව වැනි එවකට අතිදුෂ්කර රජරට සාමාන්‍ය පවුලක ඉපදුණු අසාමාන්‍ය පුද්ගලයෙක් බව අපට දැනෙන්නේ එතුමන් ආ මග පිළිබඳව නිරීක්ෂණය කිරීමෙනි. 2005 මාර්තු 02 වැනිදා පැවති තරුණ සම්මේලනය වෙනුවෙන් නිකුත් කළ පණිවිඩයක එතුමා මෙසේ සඳහන් කර තිබිණි.

'මගේ සිත දේශපාලනයට ඇදී ගියේ අදින් දශක හතරක තරම් ඈත අවධියකදී පාසල් සමයකදීමය. ජනතාවාදී දේශපාලන ක්‍රියාකාරකම්වලට යොමු වූ අයුරු අද මා සිහිපත් කරන්නේ ප්‍රීතියෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ උද්යෝගිමත් සාමාජිකයකු බවට පත්වීම ජාතියේ අපේක්ෂා පිළිබඳ වඩාත් පුළුල් අවබෝධයක් ලබාගැනීමට මං පෙත් හෙළි කරවන්නක් විය. අද දරන තනතුරු දැරීමට අවැසි දේශපාලන ශික්ෂණය මවිසින් ලබන ලද්දේ තරුණ සංවිධාන කටයුතුවලින් ලත් පන්නරය නිසා බව නොකියාම බැරිය.'

තමන් නායකත්වය දරන පක්ෂයේ උපන් දිනයද සමරන නායකයෙකු තවත් සිටිය හැකිද? පක්ෂයේ මෙන්ම තමන්ගේ වයසද සමාන වන නායකයකු සිටිය හැකිද? පිළිතුර ඔව් නම් ඒ මෛත්‍රීපාල සිරිසේන මහතාය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ඉපදුණේ රජ ගෙදරකය. ඔහු පාසල් ගියේ ශාන්ත තෝමස් විදුහලටය. වැඩිපුර අධ්‍යාපනය කළේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේය. වර්තමානයේ කුමන ක්‍රමයකින් හෝ මුදල් උපයගන්නා මවුපියෝ සිය දරුවන් විදෙස් විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන වෙත යවා උගන්වති. නැවත තම මවුරටට පැමිණෙන්නේ ඉන් සුළුතරයක් පමණි. එලෙසින් එදා බණ්ඩාරනායක ශ්‍රීමතාණන් සිතුවා නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් තිබේද? එංගලන්තයේ සිය අධ්‍යාපන කටයුතු අවසන් කොට පසු දින සිය රටට යෑමට අවශ්‍ය සියල්ල නිමා කිරීමෙන් පසුව හිරු අවරට යද්දී ඔහු තේම්ස් නදී තීරයෙහි වූ පටුමගෙහි ඇවිදින්නට ගොස් ඇත. නැවත කාමරයට පැමිණ සිය පොතක තැබූ සටහනක මෙසේ දැක්වේ.

'හෙට මම මේ මගේ අනුස්මරණ ස්ථානයෙන් පිටවන්නෙමි. සමහරවිට එය සදහටමය. ඒ අන්තිම සැන්ඳෑවේ මට කරන්නට දෙයක් නොතිබුණෙන් ඇවිදින්න යන්නට මට සිතිණි. ආපසු එන ගමනේදී මම මැන්ඩලීන් පාලම මත රැඳුණෙමි. සැඳෑ හිරු රැසෙහි සෞම්‍ය ශාන්ත සුපුරුදු එංගලන්ත දර්ශනය මගේ ඇස් ඉදිරිපිට පහව යමින් ඒ වෙනුවට මගේම රටේ රශ්මිය හා දූවිලි මතුවන්නට විය. නිල්වන් කෙත්වතු හා තුරු අතුරින් වංගු ගැසී යන පාරවල් වෙළාගත් මගේ රට මගේ ජනතාව මට පෙනේ. මගේ වැඩ කොටස ඇත්තේ එහිය. මගේ දූත මෙහෙවර කුමක්දැයි ඔක්ස්ෆර්ඩ් සරසවිය මා ඉදිරියේ අනාවරණය කළාය. මගේ රටට මට වඩාත් ප්‍රේම කරන්නට ඉගැන්වූ නිසා ඔක්ස්ෆර්ඩ් වෙත මම වඩාත් ආදරණීය වෙමි.'

බණ්ඩාරනායක ශ්‍රීමතාණන් රටින් පැමිණ උඩින් අගමැතිධුරයට පත්වූ නායකයෙක් නොවේ. කොළඹ මහ නගර සභාවට මරදාන අසුන තරග කර නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස මහජන නියෝජනයේ මූලික පඩිය නැග ඉහළටම ගිය නායකයකු බව අද පරපුර දන්නේ නැති තරම්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වූ දා පටන්ම මෙරට තරුණ ශක්තිය පිළිබඳ විශ්වාසය තැබූ පක්ෂයකි. තරුණයන්ගේ අතිවිශිෂ්ට ගුණාංග සැලකිල්ලට ගෙන පක්ෂ දේශපාලනය ඔස්සේ සමාජ ප්‍රගමනයට රටේ දියුණුවට එම ශක්තීන් මෙහෙයවීමට පක්ෂය ආරම්භ වූ දා පටන් හැමවිටම මුල් තැනදී තිබේ. පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව එහි ප්‍රධාන අනුසංවිධාන දෙක අතුරින් තරුණ සංවිධානය එකකි. පක්ෂ නායකයා ලෙස එදා බණ්ඩාරනායක ශ්‍රීමතාණන් තරුණ සංවිධානයටද නායකත්වය දී තිබේ.

පසුව පී.බී.ජී. කළුගල්ල , මොන්ටි ගොපල්ලව , අනුර බණ්ඩාරනායක, මෛත්‍රීපාල සිරිසේන , සද්ධාතිස්ස සකලසූරිය , තිළිණ බණ්ඩාර තෙන්නකෝන් සහ දුමින්ද දිසානායක මහත්වරු විටින් විට තරුණ සංවිධානයේ පු‍රෝගාමී නායකයන් සේ කටයුතු කළහ. එයිනුත් සමස්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව ත්මන් ප්‍රධාන නිලධාරීන් බොහොමයක් තරුණ සංවිධානය හරහා තම දේශපාලන කියවීම ආරම්භ කළ අය වෙති. පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක

මහතාත් භාණ්ඩාගාරික එස්.බී. දිසානායක මහතාත් ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතාත් තරුණ වයසේදී තරුණ සංවිධාන සිය දේශපාලන ආත්මය බවට පත් කරගත් අය වෙති. මෙරට ඇති දේශපාලන පක්ෂවලින් වැඩිම කාලයක් ශ්‍රී ලංකා රාජ්‍යයට නායකත්වය සැපයූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් බිහි කළ ලොව ප්‍රථම අගමැතිනිය වු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට රටවැසි සැමගේ ඇත්තේ ඉමහත් ප්‍රසාදයකි. 1972 මැයි 22 දින ජනරජ උළෙලේදී මැතිනිය කළ ප්‍රකාශයක සඳහන් වන්නේ 'මේ රටේ ජනතාව ගැන විශේෂයෙන් තරුණ පරම්පරාව ගැන මා තුළ අචල විශ්වාසයක් ඇත. ආර්ථික නිදහස සඳහා නොකඩවාම ගෙනයන දුෂ්කර හා භාරධූර සටනේදී ඔවුන්ගේ සහයෝගය සහ උත්සාහය නොවලහාම අපට ලැබෙන බව අප ස්ථීරවම දනිමි. එම නිසා මෙරටේ සෑම වැසියෙකුගෙන්ම විශේෂයෙන් අනාගතයේදී මේ රටේ නායකත්වය ගෙන ඉදිරියටම යෑමේ අපේක්ෂාව ඇති තරුණ පරම්පරාවෙන් මේ අවස්ථාවේදී ආයාචනය කර සිටින්නේ ඔවුන් තුළ නොයෙකුත් පටු හා විනාශකාරී අදහස් තිබේ නම් ඒවා ඉවත දමා අපෙන් පසු මේ රටේ නායකත්වය ලබාගැනීමට ඉදිරිපත් වීමට සූදානම් වන ලෙසය. ස්වකීය අනාගත කාලය වාදබේදවලින් තොරව කලහකාරී සහ විනාශකාරී බලවේගවලට ඉඩ නොදී අපේ ජාතිය වෙනුවෙන් එකා මෙන් ඉදිරියට යෑමට අධිෂ්ඨාන කරගන්නා ලෙස ඔබ සැමගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පක්ෂයේ සිටි සියලුම නායකයන් අඩු වැඩි වශයෙන් තම ජාතික යුතුකම් රටට ඉටු කර ඇත. ඒ සඳහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මත ගොඩනැඟුණු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනුග්‍රහය ලැබී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය වර්තමානයේදී තරුණ පෙරමුණ ලෙස ක්‍රියාත්මක වේ. එහි වගකීම පැවරෙන්නේ ශාන්ත බණ්ඩාර හා එරික් වීරවර්ධන සහෝදරයන් ප්‍රමුඛ විධායක සභාවටය. මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් වගකීම ඉටු කරමින් ගෙවී ගිය දෙවසරක කාලය තුළ තරුණ පෙරමුණට නව ජවයක් ලබාදීමට ඔවුන් උත්සාහ කරමින් සිටී. ඒ අනුව නව කාර්යාලයක් මෙන්ම පුස්තකාලයක් ද ආරම්භ කෙරිණි.

මේ වන විට දේශපාලන ශාස්ත්‍රාලයක් ද ආරම්භ කර ඇත. එමගින් සත්‍යය යථාර්ථය මෙන්ම දේශපාලන තියරියද අවබෝධ කරගනිමින් දේශපාලනයට පිවිසීමට තාරුණ්‍යයට ලබාදී ඇති අවස්ථාව ඉතා යහපත් වේ. පියා ඇමැති නිසා පුතා ද ඇමැති හෝ මන්ත්‍රී විය යුතු බව සිතූ ප්‍රභූවරුන් නිසා සාමාන්‍ය පවුලක තරුණයෙක්ට දේශපාලනයට පිවිස මහජන නියෝජිතයකු වීමේ අවස්ථාව අහිමි වූ සමයක දේශපාලන ශාස්ත්‍රාලය සුබ පෙර නිමිත්‍තකි. මෑතකදී පාර්ලිමේන්තුවේ සම්මත වූ පළාත් පාලන පනතේ කාන්තා නියෝජනය පිළිබඳව විෂයභාර අමාත්‍යවරයා සඳහන් කළ පරිදි ඇමැතිවරයා මන්ත්‍රීවරයා හෝ සංවිධායකවරයා තමන්ගේ මව බිරිය දියණිය හෝ සොයුරිය එම තනතුර සඳහා යොමු නොකිරීමට වගබලා ගත යුතුය.

නිකොලායි මැකියාවෙලිට අනුව හැමදෙනාම මහන්සි වන්නේ බලය අල්ලා ගැනීමට බලය තහවුරු කරගැනීමට. තහවුරු කරගත් බලය ව්‍යාප්ත කිරීමටය. ඒ නයින් බලන කල සියලුම දේශපාලනඥයන් විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ ක්‍රියාත්මක වන්නේ බලය කෙසේ හෝ ලබාගැනීමටයි. ඒ සඳහා තරුණ ශක්තිය ප්‍රමුඛතාවක් වේ. ජ්‍යෙෂ්ඨත්වය හෝ ප්‍රමිතියට දක්වන සැලකිල්ල පිළිබඳ ප්‍රශ්නයක් තිබේ. කෙක්කෙන් හෝ කොක්කෙන් කොහොමහරි වැඩේ කරනවා වෙනුවට විනයගරුකව විධිමත් යාන්ත්‍රණයකින් ජයග්‍රහණය සොයා යාමට පෙරට තාරුණ්‍ය පෙළගැස්විය යුතුය. මෙරට වාමවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ප්‍රමුඛතමයා සිය 66 වන ජන්ම දින සංවත්සරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන රටට වැඩ කරන දේශපාලනයක් ඇරැඹී තිබීම සැබවින්ම අගය කළ යුතුය.

නිමල් පෙරේරා පරිපාලන ලේකම්
ශ්‍රීලනිප තරුණ පෙරමුණ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...