සහෝදරත්වය සහ පරිත්‍යාගය ලොවට කියන හජ් | දිනමිණ

සහෝදරත්වය සහ පරිත්‍යාගය ලොවට කියන හජ්

ඉස්ලාමීය දින දර්ශනයේ අවසන් මාසය වන දුල්හජ් මාසයේ සඳ දැකීමෙන් පසු එන දසවැනි දින මුළු ලෝකවාසි මුස්ලිම්වරු හජ් උත්සවය සමරති. නබි තුමා මදිනාවට හිජ්රත් යෑමට පෙර අරාබිකරයේ පිරිහුණු යුගයේ මදිනා වැසියන් පවත්වාගෙන ගිය දින දෙකක ක්‍රීඩා සැණකෙළිය පිළිබඳව දැනගත් නබි තුමා ඊට වඩා සතුටින් ගත කළ හැකි දින දෙකක් අල්ලාහ් දෙවියන් අපට දායාද කර ඇතැයි පැවසූහ. ඉන් එකක් ඊදුල් ෆිත්රි හෙවත් රමලාන් මස උත්සවය සහ ඉස්ලාමයේ පස් වැනි වගකීම් සමරන ඊදුල් අල්හා හෙවත් හජ් උත්සවයයි.

ආර්ථික ශාරීරික වශයෙන් හැකියාව ඇති අය හජ් මෙහෙය ඉටු කිරීම අනිවාර්ය වේ. අභ්‍යන්තර හා අන්තර්ජාතික රටවල මිනිසුන් අතර කොතරම් ගැටුම් හා ප්‍රශ්න උද්ගතව තිබුණත් ඒ සියල්ල අමතක කර තමන්ගේ වස්තූන් තම පවුල දූ දරුවන් උස් පහත් කම් උගත් නූගත් කම් පසෙක දමා නොයක් භාෂාවන් හසුරුවන ජාති තුළ වර්ණයෙන් තොරව මක්කාවේ කබා දේවස්ථානයේ එකම දිනක එකම වේලාවක චාම් ඇඳුමින් සැරසී අල්ලාහ් දෙවියන් වෙනුවෙන් වාර්ෂිකව සිදු කරන හජ් වන්දනය මෙලොව ඇති ව ිශාලම දේව මෙහෙය වේ. හජ් වන්දනය මුස්ලිම් ජනතාවගේ සහෝදරත්ව සම්බන්ධතාව ගොඩනැගීමේ කදිම අවස්ථාවකි. සම්පූර්ණයෙන් අල්ලාහ් දෙවියන්ට අවනතවීම මෙම හජ් කර්තව්‍යයෙන් වඩාත් පැහැදිලි වේ.

ඉස්ලාමය කැපකිරීම හා පරිත්‍යාගය ඉහළින් පෙන්වන උතුම් දිනයක් හැටියට හජ් උත්සවය හැඳින්විය හැකිය. හජ් කර්තව්‍ය පුරාවට ඇදී යන මීට අවුරුදු 4500ට පෙර ඉරාකයේ දේව දූත පවුලක උපත ලද ඉබ්රාහිම් නබි තුමාගේ ජීවිතයේ කැප කිරීම කිව යුතුමය.

ඉබ්රාහිම් නබිතුමාවිවාහ වුවත් සැවොම අපේක්ෂා කළ ද දරු සම්පත් නොලැබිණි. දෙවියන්ගේ මාර්ගයේ යෙදවීමට දරුවෙක් ලබාදෙන ලෙස කළ ප්‍රාර්ථනාව හේතුවෙන් තම 80 වැනි වයෝවෘද්ධ අවධියේ දරුවෙකු දායාද කෙරෙයි.

දිනක් නබි තුමා සිහිනයක් දුටුවේය. තම දරුවා හා බිරිය කාන්තාරයේ තනිකර දමා එන ලෙස අණ කළ සිහිනය මෙය දෙවියන්ගේ අණ බව පිළිගත් ඉබ්රාහිම් නමි තුමා ගස් කොළන් හෝ පිපාසයට බොන්න දිය පොදක් නොමැති ගිනියම් වූ කාන්තාරයේ තම පුතු තනිකර දමා පැමිණියේය. ඉන් පසු දෙඅත් ඔසවා දෙවියන්ගේ පිහිට පැතීය. එතුමාගේ ඇයැදීම පිළිගත් අල්ලාහ් දෙවියන් පුතුන් පාමුල දිය උල්පතක් බිහි කළහ.

එය සම් සම් නමින් හැඳින්වේ. මීට අවුරුදු දහස් ගණනකට පෙර මතුවූ මෙම උල්පත අදටත් ලක්ෂ සංඛ්‍යාත ජනකායගේ පිපාස සංසිඳුවන්නේය. මක්කමේ සිට පැමිණෙන බැතිමත්හු මෙම ජලය මවුරටට ගෙන එති. ජල උල්පත පමණක් නොව ආහාරපාන වලින්ද සශ්‍රීක වීම නිසා කාන්තාරයක් ව පැවති මක්කා නගරය ජනාකීර්ණ නගරයක් බවට පත්විය. මෙහි කබාව පිහිටා ඇති අතර නැමදුම් කිරීම සඳහා මිනිසුන් උදෙසා වෙන් කරන ලද ප්‍රථම දෙවි මැඳුර වේ.

පරිපූර්ණ ලෙස හජ් ඉටු කිරීම වෙනුවෙන් ස්වර්ගය හිමි වේ. ඒ අනුව ලොව පුරා නන්දෙසින් පැමිණෙන සියලුම මුස්ලිම්වරු ඉබ්රාහිම් අලෛතුමා බිරිය එදා කළ කැපකිරීමක් හා බැඳුණු ක්‍රියාකාරකම් සංකේතාත්මක ලෙස ක්‍රියාවට නැංවීම හජ් වන්දනයේ එක් අංගයක් වන අතර පරිත්‍යාගය සිහි කිරීම ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාවෙන් මිදී අනාථයන්ට දුප්පතුන්ට ලේ ඥාතීන්ට හා වැන්දඹුවන්ට උදව් උපකාර කිරීමට භවයෙන් හා සහජීවනයෙන් හජ් උත්සවය සමරමු.

එච්.එස්.එම්. මිල්හාන් 


නව අදහස දක්වන්න

Or log in with...