දරිද්‍රතාව නිසා පාසල් නොයන පිරිසට මුදල් | දිනමිණ

දරිද්‍රතාව නිසා පාසල් නොයන පිරිසට මුදල්

චමීර ඇල්ලදෙණිය

මුදල් නොමැතිකම නිසා පාසල් අධ්‍යාපනයට ඇතුළත් නොවන පිරිසට ලබන වසරේ සිට මුදල් ලබාදීම සඳහා ලබන අය-වැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

යහපාලන රජය ගෙන යන වසර දහතුනක අඛණ්ඩ අධ්‍යාපන ක්‍රියාවලිය ඔප්නැංවීමට මේ පියවර ගන්නා බවත් ඒ සඳහා මුදල් අමාත්‍යාංශය වෙත යෝජනා ඉදිරිපත් කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ඊයේ (30) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එසේ කී ඇමැතිවරයා දකුණු ආසියාවේ පළමුවරට වසර දහතුනක අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබාදීම සඳහා ප්‍රතිපත්තියක් සකස් කර ඇති බව ද අනාවරණය කළේය.

පසුගිය දා මාධ්‍යවල පළ වුණා පාසල් අධ්‍යාපනයට යොමු නොවන පිරිස විශාල ගණනක් කියලා. නමුත් අපි සමීක්ෂණයක් කළා. එහි දී අනාවරණය වුණේ 2016 වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා පාසල් ගිය දරුවන් ගණන හතළිස් එක් ලක්ෂ දහඅටදහස් හත්සිය අසූ එකකි. එම කාලය තුළ පාසල් නොගිය සංඛ්‍යාව හාරලක්ෂ පනස් දෙදහස් හයසිය හැට එකකි (452661). මෙයින් ළමයින් 236, 819ක් උසස් පෙළ විභාගයට පෙනී සිටි ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි දරුවන්ය. අධ්‍යාපනය වටිනාකමක් ලෙස නොසලකා ඒ ගැන උනන්දුවක් නොදැක් වූ පිරිස 77, 730කි. වයස අවුරුදු 5 සම්පූර්ණ කළ 2017 වසරේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් කළ යුතු ළමයින් 30, 753කි. නිවසේ සිට අපොස සාමාන්‍ය පෙළ කටයුතුවලට යෙදෙන පිරිස 12, 751කි. පවුලේ කටයුතුවල නිරත පිරිස 7, 537කි. වෘත්තීය පුහුණුවේ යෙදෙන්නන් 6, 610කි. තමා බලාපොරොත්තු වන පාසල ලැබෙන තෙක් පළමු ශ්‍රේණියට ඇතුළත් නොකළ දරුවන් 4, 913කි. වෙනත් හේතු ඇති අය 32, 821කි. අබාධිත භාවය නිසා පාසල් නොයන පිරිස 19, 213කි. මුදල් දුෂ්කරතා නිසා පාසල් නොයන පිරිස 14, 922කි. අසනීප තත්ත්වය නිසා පාසල් නොයන පිරිස 4, 709කි. ගුරුවරුන්ගේ බලපැම් නිසා පාසල ආරක්ෂාකාරී තැනක් නොවන බව පවසා පාසල් නොයන පිරිස 3, 853කි. මේ සියලු කාරණා පිළිබඳ නව කමිටුවක් මඟින් වාර්තාවක් සකස් කර විසඳුම් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මුදල් දුෂ්කරතාව නිසා පාසල් නොයන දාහතරදහසකට අධික පිරිසට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මුදල් ලබාදීමට ලබන වසරේ අය-වැයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතරම අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීමේ වැඩපිළිවෙළත් ක්‍රියාත්මක කරනවා. දකුණු ආසියාවේ අඛණ්ඩව වසර දහතුනක අධ්‍යාපනයක් ලබාදෙන පළමු රට බවට ඉදිරියේ දී ශ්‍රී ලංකාව පත්වෙනවා. 

නව අදහස දක්වන්න