නියඟයෙන් පීඩිතයන්ට සහනාධාර ‍දෙන්න මාසයක‍ට බිලියන 3.5 ක් | දිනමිණ

නියඟයෙන් පීඩිතයන්ට සහනාධාර ‍දෙන්න මාසයක‍ට බිලියන 3.5 ක්

සන්ධ්‍යා කරුණාරත්න

නියඟයෙන් පීඩාවට පත්ව ඇති පවුල්වලට සහනාධාර ලබාදීම සඳහා මසකට රුපියල් බිලියන 3.5 ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙන් කිරීමට තීරණය කර ඇති අතර එම මුදල ඉදිරි මාස තුනක් සඳහා අඛණ්ඩව ලබාදීමට රජය තීරණය කර ඇති බව ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.

දිස්ත්‍රික්ක 21ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 162ක පවුල් අටලක්ෂ එකොළොස්දහස් පන්සිය විසිහතක් නියඟය හේතුවෙන් සහනාධාර ලැබීමට සුදුසු බව වාර්තා කර ඇති බවත් සාමාජිකයන් තුන්දෙනකුට වඩා අඩු පවුල් සඳහා රුපියල් 2500 ක් ද, සාමාජිකයන් තුන්දෙනකුට වඩා වැඩි පවුල් සඳහා රුපියල් 5000 ක් ද ලබාදීමට රජය තීරණය කර ඇති බවත් ඇමැතිවරයා පැවැසුවේය.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පෙරේදා (31) ප්‍රකාශ කළේය.

නියං ආධාර ලෙස ලබාදෙන සහනාධාර මල්ල සතොස, සමුපකාර මඟින් ලබා ගත හැකි බවත් අගෝස්තු මුල් සති දෙක තුළ නියං ආධාර ලබාදීම සඳහා රජය රුපියල් මිලියන 1959 ක මුදලක් වැය කර ඇති බවත් ඇමැතිවරයා පැවැසීය.

ආධාර ලබාදීමට අවශ්‍ය සියලු මුදල් මහා භාණ්ඩාගාරය මඟින් ලැබෙන අතර පානීය ජලය පවුල් 307, 291 කට ලබාදීමට පියවර ගෙන තිබෙන්නේ යැයි ද ඇමැතිවරයා කීය.

ජලය සැපයීමට ට්‍රැක්ටර් බවුසර් 325 ක් යොදා ගෙන ඇති අතර, ලොරි බවුසර් 23 ක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මඟින් යොදවා ඇති බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.

හමුදාව, ජල සම්පාදන මණ්ඩලය, පළාත් සභා මඟින් යොදවන ප්‍රමාණයට අතිරේකව තම අමාත්‍යාංශය මඟින් ජල ටැංකි 9778 මේ වන විට ලබා දී ඇතැයි ද ඇමැතිවරයා කීය.

දිස්ත්‍රික්ක 23 ක පානීය ජල සැපයුම සඳහා රුපියල් මිලියන 69.4 ක මුදලක් යොදා ඇති බවත් ට්‍රැක්ටර් හා ලොරි බවුසර් මඟින් තව දුරටත් ජලය ලබාදීම සඳහා ඇණවුම් කර ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

කාලගුණ දෙපාර්තමේන්තුව පළ කරන අනාවැකි අනුව ඔක්තෝබර් මාසයේ දී වැසි ලැබීමට නියමිත අතර, ඒ ලැබෙන තෙක් පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් සැපයීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා කීය.

කිසියම් ආදායමක් ලැබෙන පවුල් සඳහා මේ ආධාර ලබාදීම සිදු නොකරන අතර, සහනාධාර ලබාදීමට තෝරා ගැනීම සිදු කළේ කෘෂිකර්මාන්තයෙන් යැපීම සිදු කළ වගා හානි වූ පුද්ගලයන්ට බව ද ඇමැතිවරයා පැවැසීය.

ජලය ලීටර මිලියන 65 ක් දිනකට බෙදා දීම සිදු කරන බවත් අවශ්‍ය පරිදි තවත් ජලය සැපයීම ඉදිරි කාලයේ දී සිදු කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මොණරාගල, අනුරාධපුර, පුත්තලම, කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි පවුල් 181, 633 ක් සඳහා සහල් මෙට්‍රික්ටොන් 9204 ක් බෙදා දීමට පියවර ගත්තේ යැයි ද පාකිස්තානයෙන් ලැබුණු සහල් මෙට්‍රික් ටොන් 10, 000 සහ ඉන්දියාවෙන් ලැබුණු සහල් මෙට්‍රික් ටොන් 100 ක ප්‍රමාණය ද මේ බෙදා හැරීම් සඳහා යොදවා ගත්තේ යැයි ද ඇමැතිවරයා කීය.

ගංවතුර හේතුවෙන් පසුගිය කාලයේ ආපදාවට ලක් වූ පවුල් සඳහා අවශ්‍ය සියලු කටයුතු ඉටු කර දීමට රජයක් වශයෙන් පියවර ගත් බවත් ඔවුන්ට අවශ්‍ය ඉඩකඩම්, මුදල් ලබාදීමට කටයුතු කළ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. 

නව අදහස දක්වන්න