අසාධ්‍ය රෝගීන් ගැන උපදෙස් ගන්න නව දුරකථන අංකයක් | දිනමිණ

අසාධ්‍ය රෝගීන් ගැන උපදෙස් ගන්න නව දුරකථන අංකයක්

සන්ධ්‍යා කරුණාරත්න

ප්‍රාදේශීය රෝහලකට හෝ අඩු පහසුකම් සහිත රෝහලකට අසාධ්‍ය වූ රෝගියකු පැමිණියහොත් එම රෝගියාට මූලික ප්‍රතිකාර ලබාදී ජීවිතය සුරක්ෂිත කර පහසුකම් සහිත රෝහලක් වෙත මාරු කර යැවීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට 3636 අංක සහිත ක්ෂණික දුරකථන ඇමැතුම් අංකයක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා පරාජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පියවර ගනියි.

ප්‍රසව හා නාරි රෝග, ළමා රෝග, ප්‍රජා වෛද්‍ය යන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් වාර්තා වන අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මේ දුරකථන අංකයට කතා කිරීමෙන් සාමාන්‍ය වෛද්‍යවරයකුට ලබා ගත හැකි බවත් මේ ක්ෂණික දුරකථන අංකය හඳුන්වාදීමෙන් රෝගීන්ගේ මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා පරාජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගලධාරි හෝටලයේ පැවැති උත්සවයේ දී මේ ක්ෂණික දුරකථන අංකය හඳුන්වාදීම පසුගිය දා සිදුකෙරිණි.

රට පුරා සෞඛ්‍ය ආයතන 1000 කට වැඩි සංඛ්‍යාවක් පැවැතිය ද ප්‍රසව හා නාරි රෝග, ළමා රෝග, ප්‍රජා වෛද්‍ය සම්බන්ධයෙන් විශේෂඥ පහසුකම් සහිත රෝහල් පවතිනුයේ 81ක් බව ද අසාධ්‍ය වූ රෝගියකු එම ස්ථානයට ගෙන ඒමට පෙර රෝගියාගේ ජීවිතය සුරක්ෂිත කිරීම කුඩා, අවම පහසුකම් සහිත ස්ථානයක දී කළ යුතු අතර, ඒ සඳහා අවශ්‍ය උපදෙස් ක්ෂණික දුරකථන අංකය මඟින් ලබාදීම සිදු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය දර්ශක අතින් දකුණු ආසියාවේ හොඳම රට ශ්‍රී ලංකාව බවට පත්ව ඇති අතර, දැනට සිදු වන මරණ සංඛ්‍යාව ද අඩු කර ගැනීම මේ නව හඳුන්වාදීමෙන් බලාපොරොත්තු වන්නේ යැයි ද ජීවිතයක් බේරා ගැනීමේ දී කාලය ඉතා වැදගත් වන අතර, එම කාලය අතරතුර කළ යුතු මූලික ප්‍රතිකාර පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කිරීමෙන් ජීවිත අහිමි වීම වළක්වා ගත හැකි යැයි ද ඒ මහතා පැවැසුවේය. 

නව අදහස දක්වන්න