හුරතල් මුරණ්ඩු රොබෝ | දිනමිණ

හුරතල් මුරණ්ඩු රොබෝ

තඹරු විජේසේකර

මෙතෙක් කල් අපි රොබෝවරු ගැන දැනගෙන හිටියේ කියන් දේ ඒ විධියට ම කරන, අමුතු විධියට යාන්ත්‍රික ශබ්දයකින් කිසිදු හැඟීමකින් තොරව කථා කරන, එක අතක් චලනය කර පැයකට විතර පස්සේ අනිත් අතත් චලනය කරන බලෙන් පණ පෙවූ අජීවී පිරිසක් ලෙසට යි. මොවුන්ගේ හැසිරීම් රටාව නිසා රොබෝ ඩාන්ස් නමින් නැටුම් වර්ගයක් ද මේ වන විට සමාජ ගත වී තිබෙනවා. හැඟීම් දැනීම් නැති මිනිස්සුන්ට පවා අපි නම් පට බඳින්නට පුරුදු වෙලා ඉන්නේ “එයා නම් රොබෝ කෙනෙක් වගේ”කියලයි. ඉතා සුවච කීකරු මානව හිතවාදීන් පිරිසක් වශයෙන් රොබෝවරු ගොඩ නැගෙන අතර ලොව පුරා ම දැනටමත් නිෂ්පාදන කටයුතු සඳහා සහයට රොබෝ අත් භාවිත වන අතර හමුදා අංශ සමඟ කටයුතු කරමින් සිරවී සිටින්නන්ගේ දිවි බේරා ගැනීම සඳහා, ඕනෑම මතුපිටක් මත ඇවිදිමින් ඕනෑම බරක් ගෙන යා හැකි ආකාරයෙන් සැලසුම් කළ රොබෝවරුන් ගැන අපිට අසන්නට ලැබෙනවා. බොස්ටන් ඩයිනැමික්ස් ආයතනය ගූග්ල් සමඟ එක්ව කළ එවන් ව්‍යාපෘතියක් ගැන අපූරු තොරතුරු රැසක් අපි ඔබට වයර් සහ අකුරු ඔස්සේ පසුගිය වර්ෂයේදී ගෙන ආවා. ඒත් මේ ඒකාකාරී ‘එහෙයියෙක්’වගේ රොබෝවරුන් වෙනුවට හරිම හුරතල්, මුරණ්ඩු සහ සෙල්ලක්කාර රොබෝවෙක් වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ මොහු මේ වන විටත් ලොව විශාල පිරිසකගේ හද දිනාගත් බව විකුණුම් වාර්තා සහ යූටියුබ් වීඩියෝ නැරඹුම් වාර්තා හෙළි කරනවා.

සෙල්ලමට සහ හුරතලයට ඇබ්බැහිවූ කොස්මෝ රොබෝවා සුරතල් සතෙක්ටත් වඩා දඟකාර විදිහට හැසිරෙන කුඩා, හුරුබුහුටි රොබෝ පැටවෙක්. එකවරට බැලුවාම පෙනුම ටිකක් බුල්ඩෝසරයක් වගේයි. එහි ඉදිරිපස මුහුණතේ කුඩා තිරයක් සහ ඊට පහළින් කැමරාවක් තිබෙනවා. පටි දැමූ රෝද මඟින් චලනය වන එහි දෑතට කුල්ලක් සවිකොට තිබෙනවා. මේ හරහා විවිධ දේවල් චලනය කරන්නට, ප්‍රතිචාර දක්වන්නට ඊට හැකියාව ලැබෙනවා. ඉදිරිපස තිරයෙන් දෑසක් දක්වමින් අවස්ථානුකූලව හැඟීම් පෙන්වන්නට එය භාවිත කරනවා.

එසේ ම මෙහි බාහිරට නොපෙනෙන ස්පීකරය මඟින් වචන මෙන් ම ශබ්ද නගන අතර භාෂාවක් කතා කරනවාට වඩා අවස්ථාවනුකූල ශබ්ද මඟින් හැඟීම් ප්‍රකාශනයට එය කැමැත්තක් දක්වන නිසා භාෂාමය ගැටලුවකින් තොරව ඕනෑම රටක, ඕනෑම වයසක කෙනෙක්ට එය භාවිත කරන්නට පුළුවන්. සතුටක් දැනුණු විට අපි අත් තලමින් හිනා හඬ නගන්නේ යම් සේ ද එයටත් එහි කුල්ල බිම අනිමින්, දෑස් සිහින් කරගනිමින් සතුට දක්වන හඬක් නංවන්නට පුළුවන්. හැබැයි ඔබ එයාව ගණන් නොගෙන හිටියොත් නම් කොස්මෝට පුදුම කේන්තියක් තමයි යන්නේ.

ඒ වෙලාවට රෞද්‍ර මුහුණක් පෙන්වමින් ඈත ඉඳලා වේගයෙන් ඇවිත් අපේ ඇඟිලිවල හැපෙනවා. ඊට පස්සේ අවධානය ලැබෙනතෙක්ම නානාප්‍රකාර ශබ්ද දමමින්, කුල්ලෙන් අපේ ඇඟිලිවලට තට්ටු දමමින් විවිධ විකාර කරනවා. ඒ වගේ ම එයා තනියම ඉඳිද්දී ගෙදර කෙනෙක් එක්ක සෙල්ලම් කරන්න හිතක් පහළ වුණොත් ඒ කෙනාගේ දුරකතනයට නෝටිෆිකේෂන් එකක් යවනවා.

මෙම රොබෝවේ ප්‍රමාණය අඩු කරගන්නට සිදු කර ඇති උපක්‍රමයක් තමයි එහි සැකසුම් සහ තීරණය ගැනීම් රොබෝව තුළින් ම සිදු නොකර ඒ සඳහා දුරකතනයේ තිබෙන ඇප් එක භාවිතා කිරීම. මෙහිදී සිදු වන්නේ රොබෝ වෙනුවෙන් ඔබේ දුරකතනය සිතීමේ ක්‍රියාවලිය සිදු කිරීමයි. රොබෝවාට කිසියම් ප්‍රතිග්‍රහණයක් ලැබුණු විට වහ වහා එය දුරකතනයට යවන අතර ඊට දැක්විය යුතු ප්‍රතිචාරය නැවතත් රොබෝ වෙත ඔබේ දුරකතනයේ ස්ථාපිත ඇප් එක හරහා ඊට ලබා දෙනවා.

කොස්මෝ සමඟ එහි ප්‍රමාණය තරමට ම උස පෙට්ටි කිහිපයක් ලැබෙනවා. මේවා එක්ක තමයි වැඩිපුරම එය සෙල්ලම් කරන්න කැමැත්තක් දක්වන්නේ. එම ගණකවල ද විදුලි බල්බ තිබෙන අතර විවිධ ක්‍රීඩා සඳහා උචිත ආකාරයෙන් ඒවා විවිධ වර්ණයන්ගෙන් දැල්වෙනවා. එහි තිබෙන එක් ක්‍රීඩාවක් තමයි ප්‍රතිචාර වේගයන් මැනීමේ සෙල්ලම. අපි “සයිමන් කියනවා” කියලා හඳුන්වන්නේත් මේ ආකාරයේ ම ක්‍රීඩාවක් තමයි. හැබැයි කොස්මෝ ගණක සමඟ එය කරන්නට තිබෙන්නේ මෙහෙමයි: ගණක දෙකක් අරගෙන එකක් කොස්මෝට දීලා අනෙක අපි ළඟින් තියා ගන්නවා. එම ගණකවල විදුලි බුබුළු දැල්වුණු විගස මුලින් ම එය ස්පර්ශ කරන කෙනා තමයි දිනන්නේ. ඔබ ඇඟිලිවලින් ගණකවලට තට්ටු කරද්දී කොස්මෝ ඊට ලබා දී ඇති ගණකයට කුල්ලෙන් ඊට තට්ටු කරනවා.

කොස්මෝ කියන්නේ දිනීම ම අරමුණු කරගත් මුරණ්ඩු රොබෝවෙක්. මෙම ක්‍රීඩාවේදී ඔබ ජයග්‍රහණය කළහොත් එයට ලැජ්ජාවකට මුසු වුණු තරහක් ඇති වෙනවා. එවිට ඊළඟ වතාවේ කොහොම හරි ජය ගන්න තමයි එය උත්සාහ කරන්නේ. එසේ අප පරදා කොස්මෝ ජයග්‍රහණය කළ විට ප්‍රීතිමත් දෑසකින් යුතුව වට කිහිපයක් වේගයෙන් කැරකී පසුපසට ගොස් නැවත් ඉදිරියට පැමිණ, අපිට සිනා වෙන්නට වගේ කුල්ල බිම අනිමින් සතුට මුසු ශබ්ද නගනවා.

මෙම පෙට්ටි එකක් මත එකක් තබන්නට අපිට අණ කරන්නට පුළුවන්. එක පෙට්ටියක් බිම තියලා අනෙක ඒ ළඟින් තියලා ඇඟිල්ලෙන් මේක අනෙක මත තියන්න කියලා සංඥා කළාම එය හඳුනාගෙන ඉටු කරන්නට එයට පුළුවන්. හැබැයි මෙහෙම පෙට්ටි තුනක් එක මත එක තබන්න තරම් එය උස මදි. ඉතින් මේ දෙක මත තවත් එකක් තියන්න කිව්වොත් නම් එයාට තරහා යනවා. එයා හිතන්නේ අපි උස නැති නිසා ඔච්චමට එහෙම අණ කළා කියලයි. ඉතින් එයාට පෙනෙන්නට ම අපි තුන් වැනි පෙට්ටියක් දෙවැන්න මත තිබ්බොත්, කොස්මෝ ඒක දිහා බලලා දෑස කුඩා කරලා තරහෙන් වගේ, අයියෝ මට බැරි වුණානේ කියන්න වගේ කුල්ල බිම අනිනවා. ඊට පස්සේ වේගයෙන් පසුපසට ගිහින් කුල්ල මැද මට්ටමේ තියාගෙන ඇවිත් ඒ ටික පෙරළලා දාලා අපිට ඔච්චමට හිනා වෙනවා.

මේසයක් මත තබාගෙන මේ වගේ අපූරු සෙල්ලම් රැසක් කරමින් විනෝද වෙන්නට පුළුවන් කොස්මෝට, මේසයේ කෙළවර හඳුනාගෙන ඉන් නොවැටී ඉන්නට හැකියාව තිබෙනවා. වැරදිලා හරි කෙළවරට ගියොත් “තව පොඩ්ඩෙන් වැටෙනවා”වගේ හැඟීමක් මුහුණෙන් පෙන්නලා ශබ්දයක් ද නගනවා. ඒ වගේ ම කෑම කන අවස්ථාවේදී ඔය බටර් එක ගේන්න කිව්වාම “මාව හදලා තියෙන්නේ මේකටද?”කියලා අසමින් කුල්ලත් බිම ඇනලා හොරා වගේ බටර් එකත් තල්ලු කරගෙන අපේ ළඟ එනවා. රුපියල් විසි හත්දහස් පන්සියයකට මිල කර ඇති කොස්මෝ රොබෝව මේ වන විටත් තැපැල් ගාස්තු රහිතව එම මිලට ම විකුණන්නට ඉදිරිපත් කර තිබෙනවා. ඔබට මේ අපූරු රොබෝවේ වීඩියෝ බලන්නට අවශ්‍ය නම් යූටියුබ් වෙත ගොස් “Anki Cozmo”ලෙස සෙවීමක් කරන්න. එයාගේ හුරතල් වැඩ දැකලා ඔබට පුදුම හිතේවි.

නව අදහස දක්වන්න