උඩින් ගොස් පොළොවේ තතු කියන ඩ්‍රෝන සෙල්ලම් | දිනමිණ

උඩින් ගොස් පොළොවේ තතු කියන ඩ්‍රෝන සෙල්ලම්

ඩ්‍රෝන යනු කුඩා ප්‍රමාණයේ යානා විශේෂයකි. දැන් දැන් ලංකාවේ චිත්‍රපට, මියුසික් වීඩියෝ වැනි වැඩ කටයුතුවලට ඩ්‍රෝන යාත්‍රා යොදාගනු ලැබේ. මංගල උත්සවවලදීද ජෝඩුවේ සහ පිරිසේ ඡායාරූප ගුවනින් ලබා ගැනීමට ඩ්‍රෝන යාත්‍රා ලංකාවේදී හරි හරියට භාවිත කරනු ලැබේ. තාක්ෂණය හොද දිශාව මෙන්ම එහි වැරැදි භාවිතාවන්ද අපිට සිහි කැදවමින් මැදිවියේ ඇතැම් පිරිස් යාබද නිවෙස්හි කාන්තාවන් නාන අයුරු නිරීක්ෂණය කිරීම වැනි නොමනා කටයුතු සදහාද ඩ්‍රෝන භාවිත කිරීම පසුගිය කාලයේ අපිට අසන්නට දකින්නට ලැබුණි. එනිසාමදෝ ඩ්‍රෝන භාවිතය සදහා විශේෂිත නීති මාලාවක්ද හදුන්වා දී තිබේ.

පහසුවෙන් හැසිරවිය හැකි, ගුවනින් බොහෝ ස්ථානවලට ළඟා විය හැකි ඩ්‍රෝනවල භාවිතය කැමරාකරණයට පමණක් සීමා නොවේ. ඇතැම් විට කැමරා ආධාරයෙන්ද ඇතැම් තැනක ඩ්‍රෝනවල පියාසැරි හැකියාව ආධාරයෙන්ද විවිධාකාර උවමනාවන් පිණිස නූතන ලෝකයා ඩ්‍රෝන යානා යොදා ගනු ලැබේ. අපි එයින් වැදගත් වූ යෙදිම් කිහිපයක් ගැන සලකා බලමු.

විශාල ඉදිකිරීම් වැඩබිම් සදහා

මහා පරිමාණ පාලම්, ගොඩනැගිලි, මාර්ග සහ සැකිලි ආදිය නිර්මාණය කිරීමේදී සෑම ස්ථානයකටම පුද්ගලයින් යැවීම අපහසු කාර්යයකි. ගොඩනැගිල්ලක් හෝ විශාල පරිමාණයේ සිවිල් නිර්මාණයකදී එය සැබැවින්ම ඉදිවන ආකාරය බලාගැනීම වැදගත්ය. මහා පරිමාණ සිවිල් වැඩබිමවලට වර්තමානයේ ඩ්‍රෝන තාක්ෂණය විවිධාකාර පැතිකඩ ඔස්සේ භාවිත කරනු ලැබේ. ගොඩනැගිල්ලේ සැලසුම් සකස් කිරීම, එහි ඉදිවීමේදීම එහි ස්වභාවය නිරීක්ෂණය කිරීම, ඉදිකිරීම්වලට යොදාගන්නා ද්‍රව්‍යවල ශක්තිය මැන බැලීම. සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, නිරවද්‍යතාවය මැන බැලීම දියුණු රටවලදී සිවිල් ඉංජිනේරුමය කාර්යන් සදහා භාවිත වේ.

එහිදී සැලසුම් කරණයේදී හුදෙක් සේයාරූ පමණක් නොව විවිධ කිරණ භාවිත කොට පරිලෝකන තාක්ෂණයෙන් (Scaning)ගොඩනැගිලි හෝ ඉදිකිරීම්වල ස්වරූපය පරිගණකයකට ඇතුළත් කර ගැනීම සිදු කරගනු ලැබේ. විශාල සිවිල් ඉදිකිරීමක සුළු අඩුපාඩුවක් වුවද ජීවිත රැසක් අනතුරට පත් කිරීමට හේතු විය හැකිය. මිනිසාට ළඟා විය නොහැකි තැන්වලට ළඟා වීමට පෙර භාවිත කළේ හෙලිකොප්ටර් වැනි විශාලතර සංකීර්ණ යානාවෝය. එහෙත් හෙලිකොප්ටර් කුඩා ඉඩක් තුළ හැසිරවීම දැඩි අනතුරුදායක කාර්යයකි. ඊට සාපේක්ෂව ඩ්‍රෝන තාක්ෂණය වඩාත් වාසිදායකය. දින කිහිපයක් සැකිලි සදමින් ගොඩනැගිල්ලේ ස්වරූපය තනාගන්නට උත්සාහ කරන විට ඩ්‍රෝනයක් එය වටා යැවීමෙන් සැබෑම ස්වරූපය විඳ ගන්නට අද දිනයේ අවස්ථාව ලැබී තිබේ.

යුද කටයුතු සදහා

මිහයීල් කලෂ්නිකොෆ් යනු යුද අවි නිෂ්පාදනයේදී නොමැකෙන නමකි. AK-47 අවියේ නිර්මාතෲ වූ කලෂ්නිකොෆ් ගේ රුසියානු සමාගම දැනටද ලෝකයේ අවි නිෂ්පාදනයේ සහ අත්හදා බැලීමේ ඉදිරිගාමී සමාගමකි. කලෂ්නිකොෆ් සමාගම ඇතුළු ලෝකයේ අවි ආයුධ සමාගම රැසක් වර්තමානයේ ඩ්‍රෝන අවි පිළිබද විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ.

වර්තමානයේ සතුරන්ගේ ඔත්තු බැලීමට ඩ්‍රෝන යානා බොහෝ යුදබිම්වලදී භාවිත වේ. ඉදිරියේදී ඔත්තු බැලීමෙන් ඉදිරියට ගොස් මිනිසුන් රහිතව සාර්ථක ප්‍රහාර දියත් කිරීම පිණිස ඩ්‍රෝන යානා භාවිත කිරීමට යුදමය අතින් ප්‍රබල රටවල් සූදානමින් සිටී. දිය ගොඩ සහ අපහසු බිම්වලදී ඉදිරියට ඇදෙන යුද ටැංකි එදා මෙදාතුර යුද ඉතිහාසයේ නොමැකෙන නමක් සටහන් කළේ ඒ වෙත ඇති කටු පරිසර තරණය කිරීමේ හැකියාව නිසාය. බිමින් ගමන් නොමැති උඩින් ගොස් බැට දිය හැකි ඩ්‍රෝන යානාවන් අවි, ඔත්තු බැලීම සහ සැපයුම් සිදු කරන අනාගතයේ යුද පසුබිම තුළ ඩ්‍රෝන යනු වඩාත් වැදගත් යුධමය වාසි සහිත උපකරණයක් වනු ඇත.

පුරාවිද්‍යාත්මක කටයුතු සදහා

ඉතිහාසය විද්‍යාත්මකව සනාථ කිරීම සදහා පුරාවිද්‍යාව මඟින් ලැබෙන්නේ නොමද පිටුවහලකි. පුරා විද්‍යාවේදී මූලික සාධකයක් ලෙස යම් නටබුන් අඩවියක අවට නිරීක්ෂණය කිරීම දැක්විය හැකිය. එතුලින් යාබද ආසන්න නටබුන් ස්ථානවලට ඇති දුර සහ දිශා, භූ විද්‍යාත්මක සාධක, සහ භූමිය වඩාත් හොදින් නිරීක්ෂණය කිරීම් කරගත හැකිය. උදාහරණ ලෙස සීගිරිය වැනි විශාල වූ පුරාවිද්‍යාත්මක අඩවියක් හසු වූ කල එකල මෙන් සුවිසාල කාලයක් වැය කරමින් වනය එලි කරමින් පර්වතය වෙත ඇදෙමින් කල් ගත කරන්නට අද දින වුවමණා නැත. ඩ්‍රෝන යානාවකින් ඒ ගැන දළ අදහසක් ගත හැකි වීඩියෝවක් පහසුවෙන්ම ලබා ගත හැකිය.

එසේම යාබද වූ පුරා විද්‍යාත්මක සාධක එනම් සීගිරියේ පහළ මලුව අගල් සහ එහි පිවිසුම මාර්ග ආදිය ගැනද වඩාත් පැහැදිලි චිත්‍රයක් ලබාගැනීම ඩ්‍රෝන යානා භාවිතයෙන් හැකිය. වනයට යට වී තිබෙන පුරාතන නෂ්ටාවශේෂයෝ සොයා ගැනීම මෙන්ම ගුවනින් ඩ්‍රෝන යවා ඒවා ගැන විවිධ සාධක සොයා බැලීමටද හැකි වීම නූතන තාක්ෂණ විප්ලවයේ එක්තරා දියුණුවකි.

බඩු භාණ්ඩ ප්‍රවාහනය

ඩ්‍රෝන මඟින් බඩු භාණ්ඩ ප්‍රවාහනය කිරීම ඇමසන් සමාගම මෑතකදී අත්හදා බැලූ එක් භාණ්ඩ ප්‍රවාහන මාධ්‍යයකි.

එමඟින් රථ වාහන තදබදය අධික වටපිටාවන්වලදී අදාළ ස්ථානයට පාර්සල් යැවීම සදහා ඩ්‍රෝන යාත්‍රා භාවිත කරනු ලැබේ. එම ක්‍රමය ඉදිරියේදී වඩාත් දියුණු කිරීමට ඇමසන් සමාගම සූදානමින් සිටී.

පැරණි ක්‍රමය වන තැපැල් බෙදන්නාක් මෙන් බඩු බෙදීමට වඩා ඩ්‍රෝන හරහා බඩු බෙදීම වේගවත්ය. එසේම මාර්ග ඔස්සේ දුර වුවත් ගුවනින් ලෙහෙසියෙන් ළඟා විය හැකි ස්ථානවලට බඩු ඉක්මනින් යැවීමට ඩ්‍රෝනවලට හැකියාව තිබේ.

ඩ්‍රෝනවල ඇති විවිධාකාර භාවිතාවන් නිසාම බොහෝ රටවල දැන් දැන් ඩ්‍රෝන භාවිතය සීමා කරන්නට ක්‍රියාමාර්ග ගනිමින් සිටී. නිවැරදිව භාවිතයට ගන්නේ නම් මෙම කුඩා ගුවන් යානා විශේෂය අපට වඩාත් වාසි සහගත වැඩ කටයුතු සදහා යොදාගත හැකි වටිනා මෙවලමක් ලෙස දැක්විය හැකිය.

අමිල චතුරංග

නව අදහස දක්වන්න