පරමාණුක මිනිසා | දිනමිණ

පරමාණුක මිනිසා

මංජුලා විජයරත්න

විකිරණවලට දැන දැනම හසුවන්නට බොහෝ අය බියක් දක්වති. ඒ අනෙකක් නිසා නොව විකිරණවලට නිරාවරණය වීම නිසා භයානක රෝග ඇති වන්නට ඉඩ තිබේය යන ප්‍රත්‍යක්ෂ සත්‍ය නිසයි. එසේ වුවත් විකිරණ සමඟ ගනු දෙනු කරමින් රැකියාව කරන පිරිසක්ද සිටිති. එවැනි අය මුහුණු දෙන්නේ කෙබඳු අන්තරාකාරී තත්ත්වයන්ටද? මේ බැව් වඩාත් හොඳින් ලෝකයාට දැනෙන්නට පටන් ගත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි පිහිටි හැන්ෆෝර්ඩ් න්‍යෂ්ටික බලාගාරයෙහි සිදු වූ හදිසි පිපිරීමක් හේතුවෙනි. මේ පිපිරීමට ඍජුවම මුහුණ දුන්නේ ඒ අවස්ථාවේදී එහි සේවයේ නියතුව සිටි හැරල්ඩ් මැක්-ක්ලුස්කේ නැමැති සේවකයාය. විකිරණ සමඟ ගනුදෙනු කරන රැකියාවක නිරත පුද්ගලයකුගේ ශරීරයේ ඇති විකිරණශීලිතාවය මෙන් පන්සීය ගුණයක විකිරණශීලීතාවයක් එකනෙහිම හැරල්ඩ්ගේ ශරීරයෙහි දක්නට ලැබිණ. මේ නිසාම ඔහු පසු කලෙක හැඳින්වුණේ “වැඩිම විකිරණශීලිතාවක් සහිත පුද්ගලයා”,“පරමාණුක මිනිසා”යන අන්වර්ථ නාමයන්ගෙනි. හැරල්ඩ් අද ජීවතුන් අතර නැත. නමුත් හැන්ෆෝර්ඩ් න්‍යෂ්ටික බලාගාරය අනතුර සිදුව පසුගිය 30 වැනිදාට වසර හතලිස් එකක් සම්පූර්ණ විණ.

1976 වසරේ අගෝස්තු මස 30වැනිදා රාත්‍රියෙහි හැරල්ඩ් සුපුරුදු පරිදි සිය රාජකාරි කටයුතුවල නිරතව සිටියේය. තමන් සේවය කරමින් සිටි ස්ථානයේ තැනෙකින් දුඹුරු පැහැති දුමක් නැඟෙනු හැරල්ඩ් දුටුවේය. එය සිදු නොවිය යුත්තක් බැව් ඔහු වහ වහා අවබෝධ කරගෙන තිබිණ. අනතුරක් අත ළඟටම පැමිණ ඇති බැව් දැනගත් හෙතෙම කාමරයෙන් බැහැරට දිව යන්නට සැරසුණා පමණි, පිපිරීමක් ඇති විණ.

පිපිරීම ඇති වන්නට මුල් වී තිබුණේ අමෙරිසියම් නැමැති රසායනිකයකි. එය ඉතාමත් ඉහළ විකිරණශීලී රසායනියක් බැව් දැක්වේ. පිපිරීම ඇතිවීමත් සමඟම එක නිමේශයක් තුළ හැරල්ඩ්ව විකිරණවලට මැදි විය. එපමණක් නොව පිපිරීමත් සමඟ සුනු විසුණු වී ගිය වීදුරුවල කුඩා කුඩා කොටස් ඔහුගේ සම පසාරු කරගෙන ශරීරය තුළට වැදුණේය.

ලෙයින් නැහැවුණු හැරල්ඩ්ව ඉතා ඉක්මනින් රෝහල් ගත කරන ලදී. අනතුරෙන් සති තුනක් ඉක්ම යන තුරු හැරල්ඩ් සිටියේ රෝහලෙහි හුදකලාවය. හැරල්ඩ්ගේ බිරියටත් දියණියන් දෙදෙනාටත් හැරල්ඩ් සමඟ කතා කරන්නට ඉඩ ලැබුණේ අඩි 30ක් පමණ ඈත සිටය. එයට හේතු වූයේ හැරල්ඩ්ගේ සිරුරේ අධික විකිරණශීලීතාවක් පැවතීමයි. ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් සහ හෙදියන් හැරල්ඩ් අසලට පැමිණියේ ද විශේෂ ඇඳුම් කට්ටලවලින් සැරසීගෙනය. මේ අන්දමට ඔහුට මාස පහක කාලයක් පුරා රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නට සිදු විය. ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් නව දෙනාගෙන් හතර දෙනෙක්ම කියා සිටියේ හැරල්ඩ්ට ජීවත් වන්නට තිබෙන්නේ 50%ක ඉඩකඩක් පමණයි කියාය. එසේ වුවත් හැරල්ඩ් ඒ අවස්ථාවේදී මරුවා පරාජය කළේ හාස්කමකින් මෙනි.

හැරල්ඩ්ගේ සමට කා වැදී තිබුණු වීදුරු කැබලි සහ ලෝහ කැබලි රෝහල්ගතව සිටි කාලයේදී ඉවත් කෙරිණ. ඒ අතරතුර දිනපතාම හැරල්ඩ්ගේ සමෙහි සෛල සූරා ඉවත් කරන්නටත් ඔහුගේ හිස සහ සම මත ඇති රෝම ඉවත් කරන්නටත් හෙද කාර්යය මණ්ඩලය ක්‍රියා කළහ. ඔහුගේ දේහයේ විකිරණශීලිතාවය ඉවත් කිරීමට එන්නත් 600කට වඩා වැඩි සංඛ්‍යාවක් ඔහුට ලබා දී තිබිණ. මේ අන්දමට ප්‍රතිකාර ලත් හැරල්ඩ්ට නැවත නිවෙසට පැමිණෙන්නට ඉඩ ලැබුණේ 1977 වසරේ ජනවාරි මාසයේදීය. නිවෙසට පැමිණි ඔහු එහි ගත කළේ තමන් පළමුව ගත කළ ජීවිතයට සහමුලින්ම වෙනස් ජීවිතයකි. විකිරණශීලීතාව මැන බැලීමේ උපකරණයක් නිතර ළඟ තබාගන්නට ඔහුට සිදුවිය. ඔහුගේ ශරීරයෙන් විකිරණ බැහැර වන බව දැනගත් අසල්වැසියන් ඔහුව කොන් කර දැමුවේ බෝවන රෝගයක් වැළඳුණු අයකු කොන් කර දමන්නාක් මෙනි. මිනිස්සු ඔහුව “පරමාණුක මිනිසා”යනුවෙන් හැඳින්වූහ. සමහර මිතුරෝ ඔහු සමඟ කතා කිරීම පවා ප්‍රතික්ෂේප කළෝය. මේ නිසා බොහෝ අවස්ථාවලදී හැරල්ඩ් දැඩි මානසික ආතතියකින් පසුවනු දක්නට ලැබිණ.

අනතුරෙන් නොබෝ කලකට පසු විකිරණශීලීතාව නිසා මතුවන සෞඛ්‍ය ගැටලු රැසකට හැරල්ඩ් මුහුණ දුන්නේය. වකුගඩු ආසාදන ඇතිවීම, හෘදයාබාධ හතරක් පැන නැඟීම, ඇස් දෙකෙහිම සුද මතුවීම ඒ අතර ප්‍රධාන විණ. සේවය කරමින් සිටියදී අනතුරට ලක් වූ බැවින් ඔහුට එරට බලශක්ති දෙපාර්තමේන්තුව අමෙරිකා ඩොලර් 275,000ක වන්දියක් ප්‍රදානය කළේය. නමුත් මතුව තිබූ සෞඛ්‍ය ගැටලුවලට උත්තර සොයන්නට ඒ මුදල ප්‍රමාණවත් වූයේ නැත. අනතුරෙන් වසර 11කට පමණ පසු එනම් 1987 වසරේ අගෝස්තු 17වැනිදා හෙතෙම ජීවිතක්ෂයට පත් විණ. ඔහුගේ මරණයට හේතු වී තිබුණේ හදවත් රෝගයකි. මිය යන විට හැරල්ඩ් 75වන වියෙහි පසු විය. හැරල්ඩ්ගේ දේහය පිළිබඳ මරණ පරීක්ෂණය පවත්වන්නට බොහෝ බලධාරීහු උනන්දු වූහ. ඒ විකිරණ නිසා ඔහුගේ ශරීර අභ්‍යන්තරයට සිදුව ඇති හානි ගැන විමසා බැලීමේ කාරණය මුල් කරගෙනය. මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ ඔහුගේ සිරුර තුළ පිළිකා තත්ත්වයක් හටගෙන නොමැති බවකි. නමුත් තව දුරටත් හැරල්ඩ් ජීවත් වූවා නම් පිළිකා තත්ත්වයක් ඇති වන්නට බෙහෙවින්ම ඉඩ තිබුණු බව වෛද්‍යවරු පෙන්වා දුන්හ.

හැරල්ඩ් අනතුරට මුහුණ පෑ කාමරය අනතුරෙන් පසු 2010 වන තුරුම විවෘත නොකෙරිණ. අනෙකක් තබා එහි දොර වෑල්ඩින් කර වසා දමා තිබෙනු දැකිය හැකි විය. අධි ආරක්‍ෂිත ඇඳුම්වලින් සැරසුණු සේවකයන් පිරිසක් යට කී කාමරයට ඇතුළු වී එය පිරිසිදු කර දැමුවේ 2010 වසරේදීය. කෙසේ වෙතත් කාමරය තුළ වාතයෙහි විකිරණශීලීතාවය සම්බන්ධයෙන් සේවකයන් තුළ දැඩි බියක් ඒ වන විටත් පැවතියේය.

ඇමෙරිකාවේ “චර්නොබිල් බලාගාරය”ලෙස හැඳින්වෙන හැන්ෆෝර්ඩ් න්‍යෂ්ටික බලාගාරය පරිසරයට දැඩි හානියක් පමුණුවන බලාගාරයක් ලෙස හැඳින්වේ. විකිරණශීලී අපද්‍රව්‍ය ගැලුම් මිලියන 56කට ආසන්න ප්‍රමාණයක් පොළොව යට ස්ථාපනය කළ ටැංකි 177ක දමා ඇති බව ඇමෙරිකා බලශක්ති දෙපාර්තමේතුව වරක් ප්‍රකාශ කර තිබිණ. විවිධ අවස්ථාවලදී මේ අපද්‍රව්‍යවලින් විකිරණ පරිසරයට බැහැර වුණු බවටත් සාක්ෂි ඇත. එනිසා පසත් භූගත ජලයත් එමඟින් දූෂ්‍යය තත්ත්වයට පත් වූවාට සැකයක් නැත. අනෙක් අතට 1945 වසරේදී ජපානයේ නාගසාකි නගරයට හෙළන ලද “ෆැට් මෑන්”හෙවත් “මහත මිනිසා”නැමැති පරමාණුක බෝම්බයට අවශ්‍ය ප්ලූටෝනියම් සකස් කර තිබෙන්නේද හැන්ෆෝර්ඩ් න්‍යෂ්ටික බලාගාරයේදී බව වාර්තාවල දැක් වේ.

mail online ඇසුරෙනි


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...