බල්ලාරාට් කෞතුකාගාරය හොරු බිඳීම | දිනමිණ

බල්ලාරාට් කෞතුකාගාරය හොරු බිඳීම

සෝවියට් ලේඛක ඇනටෝලි මෙලනිකොව්

අවසන් කොටස

සම්මන්ත්‍රණයේ ප්‍රධාන කොටස පිළිබඳ ලඝු ලේඛිකාව තබා ගත් සටහනේ මෙලෙස සඳහන් විය.

ආචාර්ය මාර්ටින් සමහර විට තමන්ම තමන් හිතන දේ ගැන මධ්‍යස්ථව කල්පනා කිරීම තමා සුදුසු. කොහෙන්දෝ ගෙනවිත් දමපු මෙම යන්ත්‍ර සුත්‍ර පිළිබඳ විශේෂඥයින් කණ්ඩායමක් සමඟ පරීක්‍ෂණ පැවැත් වූ මට හිතුණෙ එහෙමයි. අපේ ප්‍රධාන නිගමනය වූණේ මෙම යන්ත්‍ර සුත්‍ර කාර්මික මට්ටමින් ඉතා ඉහළ තත්ත්වයක තියෙන බවයි. ඒවා තව දුරටත් සංවර්ධනය කරන්න අවශ්‍ය වන්නෙ නැහැ. නිදසුනක් වශයෙන් ස්වයංක්‍රීය ලොකැමැටිව්වලට පැයකට සැතපුම් 700 වේගයෙන් ගමන් කරන්න පුළුවන්. එවැනි වේගයක් ගත හැකි කිසිදු දුම්රිය මාර්ගයක් පෘථිවියේ නැහැ. විදුලි මෝටර් රථවලට නැවත බල ගන්වන්නෙ නැතුව සැතපුම් 300 ක ගමන් කරන්න පුළුවන්. ඒවායේ බැටරි සූර්ය ශක්තියෙන් ඉබේම බල ගැන්වෙනවා. වර්තමාන කාලය අනුව කියනව නම් හැම වෙලාවෙම ඉන්ධන ටැංකිය පිරිලා. සඳහන් කළ යුතු අනෙක් වැදගත් කාරණය තමයි මෙම යන්ත්‍ර පරිසර දූෂණය කරන්නෙ නැහැ. වර්තමාන සෞඛ්‍ය නීතිවලට අනුව ශබ්ද දූෂණය සිදු නොවීමට අවශ්‍ය ශබ්දයේ ප්‍රමාණයටත් වඩා අඩුවෙනුයි මෙම රථවලින් ශබ්දය පිටවෙන්නෙ”

“මුද්‍රණ යන්ත්‍රය තමයි විස්තර කරන්න අමාරු. අපි දන්නා විදියට මුද්‍රණ කාර්යයේ දී සිදු කරන ක්‍රියාවලිය මෙම යන්ත්‍රවලින් සිදු කරන විදිය අපි කොහෙත්ම දන්නෙ නැහැ. මෙහි දී අකුරුවලට ලෝහ යොදා ගැනීමක් සිදු වන්නෙ නැහැ. සාමාන්‍යයෙන් ඡායාරූපයක් ගන්නා විදියට තමයි මෙහි මුද්‍රණ කටයුතු සිදු වන්නෙ”

ඇමෙරිකන් පුවත්පතක් වන නිව්යෝක් හැරල්ඩි ට්‍රිබියුන් පුවත්පතේ වාර්තාකරු: “මහාචාර්යතුමනි මම ඔබව තේරුම් ගත්තා නිවැරදිද කියල මට කියන්න. ඔබ කිව්ව හැටියට එම යන්ත්‍ර සුත්‍ර ඉතාමත් නිවැරදිව ක්‍රියා කරන යන්ත්‍රවලට නිදසුනක්. එවැනි ඉංජිනේරු කාර්යයක් සිදුවන්නෙ මොන තත්ත්වයන් යටතේද ?”

මහාචාර්ය මාර්ටින් : “සම්පූර්ණ දැනුමෙන් පිරි සභ්‍යත්වයක් යටතේ දී තමයි මෙවැනි දේවල් සිද්ධ වෙන්නෙ. මෙවැනි යන්ත්‍ර සුත්‍ර සැලසුම් කරන්නෙත් හදන්නෙ එවැනි සභ්‍යත්වයක් තියන විටදීයි”

සී සොයිර් නමැති ප්‍රංශ පුවත්පතේ වාර්තාකරු: “ඔබ දැන් කියපු කාරාණා අනුව අපේ ඉංජිනේරු තාක්‍ෂණය කොයි මට්ටමකද තියෙන්නෙ?”

මහාචාර්ය මාර්ටින් : “ඔබට මතක ඇති මම මුලදිම කිව්වා තමන් හිතන දේ ගැන තමන්ම මධ්‍යස්ථව හිතල බලනව නම් හොඳයි කියල. නියම තාක්‍ෂණය තිබෙන යන්ත්‍ර සූත්‍රවල ආදර්ශ ගෙනවිත් හඳුන්වාදීමක්. ඒක තමයි නිවැරැදි අදහස කියලයි මට හිතෙන්නෙ. අපේ යන්ත්‍ර සූත්‍ර ඒවා ක්‍රියාත්මක කරන ආකාරය ඒවායේ සැලසුම් ආදිය. පෘථිවියෙ අපි සොයාගෙන තියෙන්නෙ අසම්පූර්ණ යන්ත්‍ර සූත්‍ර. එහෙම නොවුණා නම් අපි උත්සාහ කරනවා අපේ යන්ත්‍ර සූත්‍ර තවත් සංවර්ධනය කරන්න”

සයන්ස් සහ ලයිෆ් සෝවියට් සගරාවේ වාර්තාකරු: “මට සමාවන්න මහාචාර්ය මාර්ටින්. ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් අවශ්‍යයි. පෘථිවියෙ තියෙන දැනුම පෘථිවියට සීමා වෙනවා. සමහර අවස්ථාවල විශ්වයේ ඇති දැනුම සමඟ නොගැලපෙන්න පුළුවන්. අපේ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කරල තියෙන්නෙ අපේ දැනුමේ ප්‍රමාණය අනුව, අපේ තාක්‍ෂණයේ සීමාවන් තුළ. එම නිසා වඩා නිවැරැදියි අපි කියනවා නම් අපේ යන්ත්‍ර සූත්‍ර වර්තමානයේ අප ලබා ඇති විද්‍යාව හා තාක්‍ෂණික දැනුම අනුව සකස් වූ ඒවා බව කියන කාරණය. දැනුම ඉදිරියට යන විට අපේ යන්ත්‍ර සුත්‍ර සංවර්ධනය කරන්න අපට සිද්ධ වෙනවා”

මහාචාර්ය මාර්ටින්: “පෘථිවියේ සභ්‍යත්වය දිහා බලන විට ඔබ ඇත්තටම නිවැරදියි. ඒත් උත්සාහ කරන්න වෙනත් ග්‍රහලෝකයක පදිංචිකරුවන්ගෙ දැනුම සහ තාක්‍ෂණික ඥානය තමයි අලුතින් ගෙනවිත් තිබෙන යන්ත්‍ර සූත්‍රවලින් පෙන්නුම් කරන්නෙ. විශ්වයේ තියෙන සුපිරි සභ්‍යත්වයකින් තමයි මේව ලැබිල තියෙන්නෙ. ඔවුන් මවිතයට පත් වෙන්න ඇති අපේ විද්‍යාව සහ තාක්‍ෂණය පසුගාමී තත්ත්වයක තියෙනව දැකලා” එන්කවුන්ටර් ඉංග්‍රිසි සගරාවේ වාර්තාකරු: “පරණ ප්‍රශ්නයම තමයි මටත් අහන්න තියෙන්නෙ. මෙම උසස් තාක්‍ෂණයකින් යුත් යන්ත්‍ර සුත්‍ර අපට ලැබුණෙ කොහෙන්ද? ඒවා මෙහාට ගෙනෙන්න හැකි වුණේ කෙසේද?”

ඩොනල්ඩ් සමර්ස් : “මහාචාර්ය මාර්ටින්ගෙන් මම ප්‍රශ්නයක් අහන්නද? එන්කවුන්ටර් සගරාවේ කර්තෘවරයා නැගු ප්‍රශ්නයට මම ස්තුතිවන්ත වෙනවා. ඔහු සැක කරනවා මෙම යන්ත්‍ර පෘථිවියෙ නිර්මාණය කළ ඒවා නොවන බවට”

එන්කවුන්ටර් ඉංග්‍රිසි සගරාවේ වාර්තාකරු: “මෙවැනි සැකයක් ඇති වීමට බොහෝ ඉඩකඩ ඇති බව පැහැදිලියි” මහාචාර්ය මාර්ටින් : “ඇත්තම කියනවා නම් අපට ලැබිල තියෙන යන්ත්‍ර සුත්‍ර දිහා බැලූවම අප නොදන්නා සුපිරි සභ්‍යත්වයකින් ඒවා ලැබිල තිබෙන බව පෙනෙනවා”

ලා හියුමනයිට් ප්‍රංශ පුවත්පතේ වාර්තාකරු : “මහාචාර්ය මාර්ටින් මහත්මයා කරුණාකරල අපට කියන්න පුළුවන්ද මෙයින් අප පැමිණිය යුතු නිගමනය කුමක්ද කියලා”

මහාචාර්ය මාර්ටින් : “මම සඳහන් කළේ මට සිතුණ දේ. එය ප්‍රත්‍යක්‍ෂ න්‍යායක් ලෙස පිළිගැනීම අවශ්‍ය නැහැ. අපේ සභ්‍යත්වය තියෙන්නෙ පෘථිවියෙ පමණයි. විවිධ රටවල විවිධ මට්ටමින් විද්‍යා සහ ඉංජිනේරු අංශවල සංවර්ධනයක් තියෙන්නෙ. එහෙත් දැන් හෝ පසු කාලයක හරි දැනුම සහ තාක්‍ෂණය සියලු දෙනාගෙම දේපලක් වේවි. පෘථිවිය මත එක සභ්‍යත්වයක් පමණත් තියෙන බව කවුරුවත් කියන එකක් නැහැ. මගෙ සිතිවිලි පහත නිගමනයට එළඹීමට මාව මෙහෙයවා තිබෙනවා.

බල්ලාරාට් කෞතුකාගාරයේ සිදුවීම පිටසක්වල ජීවින්ගෙ අත්හදා බැලීමක්. අපේ පෘථිවිය සහ එහි සභ්‍යත්වය ගැන උනන්දුවෙන්නෙ කොයි වගෙ පිටසක්වල ජීවීන්ද කියල අනුමාන කරන්න මම අදහස් කරන්නෙ නැහැ. මම ඔවුන් ඉන්නෙ අප ආසන්නයේද එහෙම නැත්නම් බොහෝ ඈතද වැනි දේවල් ගැන කල්පනා කරල හීන මවන්නෙත් නැහැ. ඒත් ඒක දෙයක් සහතිකවම කියන්න පුළුවන් මේ සුපිරි සභ්‍යත්වය අපේ විද්‍යා හා තාක්‍ෂණික තත්ත්වයට වඩා බොහොම ඉදිරියෙන් ඉන්නෙ”

ක්‍රෙයිග් මුන්රෝ : “ඔබ අදහස් කරන දෙයින් අපට වැටහෙන්නෙ වෙනත් සභ්‍යත්වයක නියෝජිතයන් අපේ පෘථිවියට ආව කියලද ?”

මහාචාර්ය මාර්ටින් : “ඔව් නිසැකවම”

ඩොනල්ඩ් සමර්ස් : “මට සමාවෙන්න මහාචාර්යතුමා, ඒත් මේ පිටසක්වල ජීවීන්ගෙ අත්හදා බැලීම සිදු වුණේ කොහොම කියලද ඔබ හිතන්නෙ? අපට කිසිදු සාක්‍ෂියක් ලැබුණේ නැහැ. ඒත් අපේ සමහර භාණ්ඩ අතුරුදහන් ඒ වෙනුවට වෙනත් ඒවා ගෙනැවිත්”

මහාචාර්ය මාර්ටින් : “ඒක මෙහෙම වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ. බල්ලාරාට් කෞතුකාගාරයේ තියෙන්නෙ අසාමාන්‍ය භාණ් ඩ එකතුවක්. ඒවායේ විවිධත්වයත් අලුතින් පැමිණි අයගේ අවධානයට ලක්වෙන්න ඇති. පසුගිය ශත වර්ෂයේ සහ මේ ශත වර්ෂයේ ආරම්භයේ පැවැති ඉංජිනේරු විද්‍යාවෙ ප්‍රාථමික මට්ටමේ පැවැති ප්‍රදර්ශන භාණ්ඩවල ආදර්ශ මෙහි තියෙන බව ඔවුන් දන්නෙ කොහොමද කියන එක දෙයියො තමයි දන්නෙ. අපේ තාක්‍ෂණය ඉතා හෙමිහිට වර්ධනය වෙන එකක්ය යන නිගමනයට ඔවුන් එළඹෙන්න ඇති. බල්ලාරාට් කෞතුකාගාරයෙ තිබුණ දුර්ලභ ප්‍රදර්ශන භාණ්ඩ පිළිබඳ ඔවුන් දැඩි ලෙස උනන්දුවෙන්න ඇති. ඔබත් එකඟ වෙනව ඇති පෘථිවියෙ තාක්‍ෂණය කඩිනම් ලෙස සංවර්ධනය නොවන බව. ඒ නිසා ඊට පිළියම් යෙදීමට ඔවුන් අදහස් කරන්න ඇති”

පේපාර් සේරා ඉතාලි පුවත්පතේ වාර්තාකරු: “අපේ ප්‍රදර්ශන භාණ්ඩ නවීනතම ඒවා සමඟ හුවමාරු කර ගැනීම ගැන ඔබ මොනවද හිතන්නෙ?”

මහාචාර්ය මාර්ටින් : “බල්ලාරාට් සිද්ධිය පිටුපස තියෙන්නෙ මා කළින් කියූ කාරණයම බවයි මට නැවතත් කියන්න තියෙන්නෙ. ඔවුන් මෙහි දී දුටු දේවලින් කම්පා වෙන්න ඇති (ඒ අයගෙ කෞතුකාගාරවල මෙවැනි ප්‍රාථමික ප්‍රදර්ශණ භාණ්ඩ නොතිබූ බවට සැකයක් නැහැ) පිටසක්වලින් පැමිණි අය ගෙන ගියේ ප්‍රදර්ශන භාණ්ඩ කීපයක් පමණයි. එත් ඔවුන් එයින් නැවතුණේ නැහැ. යමක් ලබා ගත්තහම ඒ වෙනුවට කිසියම් පරිත්‍යාගයක් කිරීම ඔවුන්ගේ සභ්‍යත්වයේ ආචාර ධර්මවලට අනුව කළ යුත්තක්ම වෙන්න ඇති. ප්‍රදර්ශන භාණ්ඩ ඉවත් කර ගැනීම වුණත් මිනිසුන්ට හිතන්න යමක් ඉතිරි කරලා තියෙනවා. ඔවුන් තමන්ගෙ තාක්‍ෂණයෙන් නිපදවූ භාණ්ඩවල ආදර්ශ මෙහි ගෙනවිත් තියෙන්නෙ අපේ මිනිසුන් තුළත් ඒ පිළිබඳ අදහසක් ඇති කරන්න අවශ්‍ය නිසා වෙන්න ඇති”

ක්‍රෙයිග් මුන්රෝ : “මහාචාර්යතුමා ඔබට හිතෙන්නෙ නැද්ද පෘථිවිය මහා විපත්තියක අද්දර ඉන්නවා කියල. ඔවුන් ඔවුන්ගේ සුපිරි ආයුධ, න්‍යෂ්ටික ආයුධ වුණත් අපට එරෙහිව යොදාගන්න පුළුවන්. දැන් වුණත් අපි එවැනි තර්ජනයකින් නිදහස් නැහැ”

මහාචාර්ය මාර්ටින් : “එවැනි දෙයක් ගැන නම් මම හිතන්නෙ නැහැ ඔවුන් ඇත්තටම දුෂ්ට සිතිවිල්ලකින් මෙහි ආවා නම් අද අපට මෙහෙම ඇවිත් අපට වැදගත් වන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න ලැබෙන්නෙ නැහැ”

ටෙක්නොලොජි ෆෝ යූත් සෝවියට් සගරාවේ වාර්තාකරු: “මේ පිටසක්වල ජීවින්, පෘථිවිවාසීන් සමඟ කෙලින්ම සම්බන්ධතා නොපැවැත්වීම ගැන ඔබ හිතන්නේ කුමක්ද? මහාචාර්යතුමනි ”

මහාචාර්ය මාර්ටින් : “ඒකට පිළිතුරක් දෙන්න අමාරුයි. අනෙකුත් ග්‍රහලෝකවල ඉන්න ජීවීන් සමඟ සම්බන්ධ වෙන්න මිනිසුන් හැමදාම හීන දකිනවා. එහෙත් මීට සම්පූර්ණයෙන්ම වෙනස් මානසික තත්ත්වයක් ගැන හිතල බලන්න. සමහර විට ඒක තමයි කාරණය”

සිඩ්නි මොර්නින්ග් හැරල්ඩ් පුවත්පතේ වාර්තාකරු: “මේ සියලූ සාකච්ඡාවලින් පෙනී යන්නෙ බල්ලාරාට් සිදුවීම් පිළිබඳ වෙනත් පැහැදිලි කිරීමක් නැති බව ?”

මහාචාර්ය මාර්ටින් : “හිතල බලන්නල ඔබට පුළුවන් නම් ඩැට්සන්............”

(ශාලාව පුරා සිනාහඬ පැතිර යයි)

ෂිසික් වර්සොවෙව් පෝලන්ත පුවත්පතේ වාර්තාකරු : “මට වාර්තා වෙලා තියෙනවා පරණ ප්‍රදර්ශන භාණ්ඩ ආපහු ගෙනවිත් තියෙනව වගේම පිටසක්වලින් අලුත්ම භාණ්ඩ ලැබිල තියෙන බව. මෙම ක්‍රියාවේ තේරුම කුමක් කියලද ඔබ හිතන්නෙ?”

මහාචාර්ය මාර්ටින්: “ඔව්. වාෂ්ප එන්ජින් තුනෙන් එකක් ආපහු ගෙනවිත් තිබුණ තැනම තියල තියෙනවා. අපේ පරණ අශ්ව කෝචිචියක් ආපහු ගෙනවිත් තියෙන එක ගැන සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා අපේ ස්මෝකි අශ්වයාට නැවතත් රැකියාව ලැබෙනවා”

(යළිත් සිනා හඬ පැතිරේ)

ක්‍රෙයිග් මුන්රෝ: “සමාවෙන්න මහාචාර්යතුමා ඒත් ඔබට කියන්න පුළුවන්ද අතුරුදහන් වුණ ප්‍රදර්ශන භාණ්ඩ වෙනුවට අලුත් ඒවා ලැබිල තියෙන්නෙ ඇයි කියල. ඒත් වාෂ්ප එන්ජිමයි අශ්ව කෝච්චියකුයි ආපහු ගෙනත් තියෙනවද?”

මහාචාර්ය මාර්ටින් : “ඒකට විසඳුඹ පහසුයි. ඒම භාණ්ඩ දෙකම මිනිසුන්ට පුළුවන් පිටසක්වල ආධාරයක් නැතිව සංවර්ධනය කරන්න”

(වාර්තා සටහන් සමාප්තයි)

....................................................

රාත්‍රී රාජකාරි නිසා අවදියෙන් සිටි සාජන්ට් ග්‍රෙවවි ආපසු හෝටලයෙන් පිටව ගියේ අන්තිමටයි. ඉක්මනින් නින්දට යාම ඔහුගේ අපේක්‍ෂාව විය. වාර්තාකරුවෝ තම වාහනවල නැ‍ඟී ලෝකයේ විවිධ දිසාවලට යාමට පිටත් වූහ. බල්ලාරාට් කෞතුකාගාරයට පැමිණෙන ප්‍රධාන වීදිය දහවල් වන විට තවමත් ඉතිරිව ඇති ඕස්ටේ‍්‍රලියන් රත්තරන් පස්වලින් සැදුණ රතු දුවිල්ලෙන් වැසී ගියේය.

අනුවාදය බොබී ජී බොතේජු


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...