අම්මාවරුන්ගේ විභාගයේ සමාජ කියැවීම | දිනමිණ

අම්මාවරුන්ගේ විභාගයේ සමාජ කියැවීම

මානව ඉතිහාසයේ එක ලෙසින් ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූ ස්ත්‍රී චරිතයක් ඇත්නම් ඒ අම්මා ය. පටාචාරාගෙන් පටන් ගෙන වර්තමානය තෙක් අම්මා පිළිබඳ ශ්‍රී ලාංකේය කියැවීම් අපමණ ය. අම්මාවරුන්ගේ නියැදියක් ගත් කළ ඒ සියලු දෙනා සතුව සිය දරුවන් කෙරේ ඇති ඉමහත් ආදරය පොදු ලක්ෂණයකි. චීත්ත රෙද්දක් සහ හැට්ටයක් අඳින අම්මලා පිළිබඳ චිත්තරූප අපේ පරම්පරාවෙන් අවසන් වෙනු ඇත. නමුත් ආදරය අවසන් නොවනු ඇත.

දරුවකු මෙලොවට බිහි කරන හැම කාන්තාවකටම මවු පදවිය පිරිනැමීමට යාමෙන් අප කරන්නේ විශාල වැරැද්දකි. එය සමස්ත අම්මාවරුන්ගේ කුලකයට කරන නිග්‍රහයකි. උපන් මොහොතේ ම සිය කිරෙන් පෝෂණය කළ යුතු දරුවා කුණු ගොඩට විසි කරන ගැහැනිය අම්මා නොවේ. දුවට පුතාට කැවිය යුතු කැරට් සහ කිරි මුහුණේ උලාගන්නේ අම්මාවරුන්ගේ විකෘතියකි. හුණුවටයේ කතාවේ එන ගෲෂා වැදූ පමණින් යමෙකු මවක නොවන බවට උදාහරණයකි. දාරක ස්නේහය පිළිබඳ උම්මග්ග ජාතකයේ එන පුත්‍ර ප්‍රශ්නය හැම අම්මා කෙනෙකු ම කියවිය යුත්තකි.

පාසල් අධ්‍යාපනය දරුවෙකුගේ ජීවිතය වෙනස් කරන්නකි. ඒ තුළ මවකගේ කාර්‍යභාරය මෙසේ විය යුතු යැයි කීමට බැරි ය. නමුත් එය දරුවාට මානසික වධයක් වන තරමේ බලකිරීමක් නොවිය යුතු යැයි කීමට හැකි ය. පසුගිය දිනවල පැවැත්වුණු ශිෂ්‍යත්ව විභාගය අම්මාවරුන්ගේ විභාගය යැයි කියැවීමක් සමාජය තුළ ඇත. එය උම්මග්ග ජාතකයේ සඳහන් අම්මාට කරන අසාධාරණයකි. නිසි අධ්‍යාපනයක් සඳහා තරඟයකට දරුවා තල්ලු කිරීමට වඩා යමක් කළ යුතු බව අවබෝධ කරගත් අම්මාවරුන් සිටිද්දී අම්මලාගේ විභාගයක් ගැන කතා කිරීම අප ජීවත්වන සමාජයේ ඇති ආචීර්ණකල්පික බව පෙන්වන අවස්ථාවකි.

දරුවාගේ අධ්‍යාපනය කේන්ද්‍ර කොටගෙන අම්මලාගේ කල්ලි නිර්මාණය වී ඇත. පාසල අසල හෝ ටියුෂන් පන්ති අසල එකතු වෙන මේ අම්මලා අතරින් කීප දෙනෙකු එය විලාසිතාවක් කරගෙන ඇත. ස්කූටරයකින් පැමිණෙන අම්මලා එක කල්ලියකි. පන්ති අවසන් වන වෙලාවට පැයකටත් කලින් එම ස්ථානයට ඔවුන් පැමිණේ. පසුගිය දිනවල පුවත්පත්වල සමාජ ප්‍රශ්නයක් තරමට අම්මලාගේ මේ කල්ක්‍රියාව පිළිබඳ වාර්තා පළ වුණි. ඒ දරුවාගේ අවස්ථාව දඩමීමා කොටගෙන අනාචාරයේ යෙදීමට මග පාදා ගන්නා මවුවරු කොට්ඨාසයක් පිළිබඳවය.

යම් දිනක දරුවා අනුගමනය කරන්නේ ද සිය මව ය. තරඟකාරී සමාජයකට ඇද දැමීමෙන් හෙම්බත් වුණු යන්ත්‍ර වැනි දරුවන්ගෙන් මතු පරම්පරාවට වන සෙතක් නැත. ලුණු මිරිස් සමග රොටී කන එහෙත් ලෝකයාට පෙනෙන්නට දරුවාට පීසා කවන මවකට වඩා තුන් වේලට ම නොකා මතු දිනක දරුවාට රස බොජුන් හිමි කර දෙන්නී සැබෑ මවකි. ආටෝප සාටෝපවලින් පිරි ලෝකයක තවත් එක් කොටස්කරුවෙකු නොවී පොළොවේ පය ගසා ජීවත්වන දරුවෙකු නිර්මාණය කරන්නී අම්මා ය. අධ්‍යාපනය සඳහා මවක වශයෙන් තමන් කරන මහන්සිය දරුවාට ඇති සැටියෙන් පෙනේ නම් ඔහු විභාග කඩඉම් අවිවාදයෙන් ජය ගනී. ජීවිතයේ ප්‍රශ්න පවුඩර් තවරා වසන් කරගත හැකි දෙයක් ලෙස දරුවාට පෙන්වන්නී මවක වශයෙන් සාර්ථක නැත.

බතල දළු තම්බා කවා දරුවන් උස් මහත් කරන අම්මාවරු අදටත් මේ සමාජයේ ජීවත්වෙති. ශිෂ්‍යත්වය වැනි විභාග ඒ අම්මලාගේ විභාග නොවේ. ඔවුහු දරුවන් විසින් ම ජීවිතය ජය ගැනීම සඳහා අඩිතාලම සකස් කරන්නෝ වෙති. ඌරෙකුට වුවත් අසීමාන්තික සැපක් හිමිවන්නේ මසක් වීම පිණිස ය. කුරුලු බඩකට දරා ගැනීමට නොහැකි තරමට ආහාර සපයා ජයග්‍රහණ බලාපොරොත්තු වීම අම්මා නොකරන්නී ය.

අම්මලාගේ විභාගය යන සදොස් හැඳින්වීමකින් යුතු විභාගයේ ප්‍රතිඵල පිටවන දින ද සැබෑ මවුකම අත්දැකිය හැකි දිනයකි. විභාගය අසමත් වන දරුවාට හොඳ අනාගතයක් සඳහා ධෛර්‍යයක් වීමත් ප්‍රථම පරාජය ලත් තැන ම ජීවිතය ලොප් කරවීමත් යන දෙදිසා අතර අම්මලාගේ නියැදිය දෝලනය වෙති. සමාජයක් වශයෙන් නිර්වචන අනවශ්‍ය සංකල්පවලට ඒවා සපයන උගත් මෝඩකම අත් හරින දින විවිධ ජන කොටස් නිදහස ලබන දින වේ.

තිසරණී විජයබණ්ඩාර
@Thizuu

නව අදහස දක්වන්න