රෝහල තුළ ඝාතකයා | දිනමිණ

රෝහල තුළ ඝාතකයා

මංජුලා විජයරත්න

ජර්මන් ජාතික නීල් හොජෙල් නමැති හෙද නිලධාරියා මනුෂ්‍ය ඝාතන දෙකක් සිදු කිරීම සහ තවත් මිනිස් ඝාතන කිහිපයක් සිදු කිරීමට තැත් කිරීම යන චෝදනාවන්ට 2015 වසරේදී වරදකරු විණ. එනිසා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ජර්මානු අධිකරණයකින් නියම වූයේය. මේ සිද්ධියේ වඩාත් ඛේදනීයම කාරණය වී තිබුණේ ඔහුගෙන් සේවය ලද රෝගීන් දෙදෙනකු ඔහු අතින් ඝාතනයට ලක්ව තිබීමයි. එමෙන්ම ඝාතනය කරන්නට ඔහු තැත් කර තිබුණේද රෝගීන් කිහිපදෙනෙකි. නඩු විභාගය සහ දඬුවම් පැමිණ වීම 2015 වසරේ පෙබරවාරි මාසයේදී නිමාවට පත් වුවද මේ හෙද නිලධාරියාගේ ක්‍රියා කලාපයේ සැබෑ ස්වරූපය පසුගිය දා ලෝකයට යළිත් විවරණය විය.

ඒ අනුව තවත් පුද්ගලයන් 88කට ආසන්න සංඛ්‍යාවන් නීල්ස් අතින් ඝාතනය වී ඇති බැව් ජර්මානු පොලිසියට දැනගන්නට ලැබී ඇත. නීල්ස් සේවය කළ රෝහල්වලදී නීල්ස්ගෙන් සේවය ලබමින් සිට හදිසියේ අභාවයට පත් පුද්ගලයන්ගේ ඥාතීන්ගේ පැමිණිලි අනුව එම තොරතුරු පොලිසිය භාරයට පත්ව තිබේ. ඒ අනුව පුද්ගලයන් 130කට ආසන්න සංඛ්‍යාවකගේ මෘත දේහ යළි ගොඩ ගැනීම දැන් ආරම්භ වී ඇත. මේ අන්දමට නැවතත් ගොඩගන්නට සිදුව තිබෙන මෘත දේශවලින් ඇතැම් ඒවා මිහිදන් කර තිබෙන්නේ ජර්මනියේම නොවීම තවත් ගැටලුවකි. වාර්තාවල සඳහන් වන ආකාරයට පෝලන්තය සහ තුර්කිය යන රටවල වළ දමා ඇති මෘත දේහ කිහිපයකුත් ගොඩගන්නට සිදුව තිබේ. නීල්ස්ගෙන් හෙද සේවය ලබා ජීවිතක්ෂයට පත් ඇතැම් පුද්ගලයන්ගේ මෘත දේහ දවා ආදාහනය කර ඇති අවස්ථා ද ඇත. ඒ පුද්ගලයන්ගේ මරණ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට බොහෝ විට නොහැකි වනු ඇති බැව් වාර්තා වේ. මතුව ඇති ගැටළු සහගත තත්ත්වය පිළිබඳ අදහස් පළ කරන පොලිස් පරීක්ෂක අර්නේ ස්ක්මිඩ්ට් පවසන්නේ නීල්ස් මරා දමන ලද රෝගීන් සංඛ්‍යාව දැනට ගණන් බලා ඇති සංඛ්‍යාවට වඩා බෙහෙවින්ම වැඩි විය හැකි බව ය. අඩු තරමින් ඒ සංඛ්‍යාව 90ක් වත් විය හැකි බැව් පොලිස් පරීක්ෂකවරයාගේ අනුමානයයි.

හතලිස් හැවිරිදි වියේ පසුවන නීල්ස්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පැනවුණේ හෙතෙම උතුරු ජර්මනියේ ඩෙල්මෙන්හෝර්ස්ට් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවයේ නියුතුව සිටියදී රෝගීන් දෙදෙනෙකු මරා දැමුවේ යැයි කියන චෝදනාවටය. ඔහු මේ රෝගීන් දෙදෙනා මරා දමා තිබෙන්නේ හෘද රෝග සඳහා භාවිතයට ගැනෙන ඖෂධ වර්ග එන්නත් කිරීමෙනි. එම ඖෂධ වර්ග එන්නත් කළ විටදී රෝගීහු පළමුව සිහිසුන් තත්ත්වයකට පත් වෙති. එවිට වෛද්‍ය කාර්යය මණ්ඩල සහ හෙද කාර්යය මණ්ඩල එම රෝගීන් සිහි ගන්වා ගන්නට යුහුසුළු වෙති. නීල්ස් දකින්නට සහ සහභාගීවන්නට අතිශයින්ම ප්‍රිය කරන්නේ මේ කොටසටය. ඔහු වහ වහා මැදිහත් වී රෝගීන්ට කෘත්‍රිම ශ්වසනය ලබාදෙමින් ප්‍රකෘතිමත් තත්ත්වයට ගන්නට වෙහෙස වෙයි. ඒ සම්බන්ධයෙන් තමන් තුළ ඇති නිපුණතාව අනෙක් අයට පෙන්වීද ඔහුගේ බලවත් ආශාවකි. ඊට අවස්ථාවක් උදා කරගැනීම සඳහා රෝගීන්ට මාරක එන්නත් ලබාදීම ඔහුගේ අරමුණ ව තිබී ඇත. එහෙත් මේ ඔහු සේවය කළ කිසිඳු රෝහලක කාර්යය මණ්ඩල සාමාජිකයන් කිසිවකු දැන නොසිටි බව වාර්තා වේ.

දැනට පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇති අන්දමට නීල්ස් රෝගීන් ඝාතනය කිරීම ආරම්භ කර තිබෙන්නේ 2000 වසරේ පෙබරවාරි මාසයේදීය. එවකට නීල්ස් සේවය කර තිබෙන්නේ නෙදර්ලන්ත දේශසීමාවට ආසන්නයේ පිහිටා තිබුණු ඔල්ඩෙන්බර්ග්හි සායනයකය. ඩෙල්මෙන්හෝර්ස්ට් රෝහලේ සේවය සඳහා නීල්ස් පැමිණ තිබෙන්නේ 2002 වසරේදී බැව් තහවුරුව තිබේ. 2000 වසරේ සිට ඩෙල්මෙන්හෝර්ස්ට් රෝහලට පැමිණෙන කාලය දක්වා හෙතෙම රෝගීන් 35දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කරන්නට ඇතැයි කියැවේ. ඩෙල්මෙන්හෝර්ස්ට් රෝහලේ සේවයට පැමිණ සතියක් ඇතුළත රෝගීන් මරා දැමීමේ කාර්යය ඔහු අරඹන්නට ඇතැයි කියාත් අනාවරනය වී ඇත.

රෝගීන් ඝාතනය සඳහා එකිනෙකට වෙනස් ඖෂධ වර්ග පහකට ආසන්න සංඛ්‍යාවක් නීල්ස් භාවිතයට ගෙන තිබේ. එම ඖෂධ ඔහු රෝගීන්ට එන්නත් කර තිබෙන්නේද අධික මාත්‍රාවලිනි. නීල්ස් එන්නත් කළ ඖෂධ හේතුවෙන් රෝගීන්ගේ ශරීරයේ රුධිර පීඩනය පහළ වැටෙන්නට පටන් ගැනේ. මේ තත්ත්වය දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ට මාරාන්තික ය. නීල්ස්ගේ මේ අසමජ්ජාති ක්‍රියාව වසර කිහිපයක් යනතුරු කිසිඳු නිලධාරියකුගේ අවධානයට ලක්වී නොතිබීම පුදුමයක් නමුත් ඩෙල්මෙන්හෝර්ස්ට් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වාර්තා අනුව නීල්ස් එහි සේවයට පැමිණි අවධියේ සිට ඒකකයේ සිදුවන මරණ සංඛ්‍යාව 5%ත් 10%ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වී තිබිණ.

තත්ත්වය මෙසේ පවතින විට 2005 වසරේ ජුනි 22වැනිදාත් නීල්ස් සුපුරුදු පරිදි රෝගියකුට මාරාන්තික ඖෂධ වර්ගයක අධි මාත්‍රාවක් ලබාදෙමින් සිටියේය. එම ඒකකයේ සේවයේ නියුතු වෙනත් සේවකයකු එය දුටුවේ අහම්බෙනි. එන්නත ශරීරගත වුණු රෝගියා පසු දා මිය ගියේය. සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පැවත්වීම හෝ පොලිසියට පැමිණිලි කිරීම හෝ රෝහල් බලධාරීහු ප්‍රතික්ෂේප කළ නමුත් නීල්ස්ගේ චර්යාව දෙස ඇස ගසාගෙන සිටියහ. මේ අතර වාරයේදී ජුනි 24වැනිදා රාත්‍රි 7ට පමණ තවත් රෝගියකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියත් සමඟ නීල්ස්ගේ චර්යාව අනුක්‍රමයෙන් හෙළි වන්නට පටන් ගත්තේය. ඩෙල්මෙන්හෝර්ස්ට් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවකයන් හයදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනිණ. ඒ සඳහා කෙරුණු පරීක්ෂණ කටයුතු සඳහා ඔල්ඩෙන්බර්ග් සායනයේ සහයත් ලබා ගත් බව සඳහන් වේ.

කරන ලද වැරදිවලට 2008 වසරේදී නීල්ස්ට වසර හතහමාරක සිර දඬුවමක් නියම කෙරිණ. ඒ අතර වාරයේ තවත් කාන්තාවක් තම මව නීල්ස්ගේ එන්නතකට බිලි වූ බව කියමින් තවත් නඩුවක් ගොනු කළේය. එය විභාගයට ගත් අවස්ථාවේදී තමන් පුද්ගල ඝාතන 30කට වගකිව යුතු බැව් පිළිගන්නට නීල්ස්ට සිදු විය.

රෝගීන්ට මාරාන්තික ඖෂධ ලබා දී මරුමුවට පත් කරන්නට පියවර ගත් පළමු ජර්මානු සෞඛ්‍ය සේවකයා නීල්ස් ම නොවේ. 2006දී වසරේදී හෙද නිලධාරියකු රෝගීන් 29දෙනෙකු මරා දමා ජීවිතාන්තය දක්වා පැනවූ සිර දඬුවමකට යටත් වූ බව දැක්වේ. නමුත් සෞඛ්‍ය සේවයට සම්බන්ධ නිලධාරියකු වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ඝාතනය කළේ නම් ඒ නීල්ස් බැව් පැහැදිලිය. එනිසා බොහෝ මාධ්‍ය ඔහු හඳුවන්වා තවත් 'හිට්ලර්' කෙනකු හැටියටය.

ද ගාර්ඩියන් ඇසුරෙනි

නව අදහස දක්වන්න