අසාමාන්‍ය අයිස්ක්‍රීම් ! | දිනමිණ

අසාමාන්‍ය අයිස්ක්‍රීම් !

අයිස්ක්‍රීම් කන්නට කවුද අකමැති? ලොව පුරා ජාති භේදයකින් හා බාල මහලු භේදයකින් තොරව එකසේ ජනප්‍රිය ආහාරයක් වේ නම් ඒ අයිස්ක්‍රීම් නොහොත් හිම කිරමයි. සියලු ජාතීන් අතර එක සේ ජනප්‍රිය වුවත්, එක් එක් රටවල් අයිස්ක්‍රීම් රස විඳින්නේ ඔවුන්ටම ආවේණික වූ ආකාරයන්ටයි. මේ නිසා චොක්ලට් හා වැනිලා නමැති සුලබම රසයන්ගෙන් යුතු හිම කිරම අතර අසාමාන්‍ය තාලයේ රසයන්ගෙන් යුතු හිම කිරම වර්ගද නැතුවා නොවේ. විශේෂත්වය වන්නේ මේවා ඒවායේ ජන්ම රටවල අතිශයින්ම ජනප්‍රිය වුවත්, ලොව සෙසු රටවලට කිසිදා අසා නැති අසාමාන්‍ය සොයාගැනීම් වීමයි. මේ එලෙස ජනප්‍රියත්වය රහසක්වූ අසාමාන්‍ය තාලයේ අයිස්ක්‍රීම් වර්ග ගැන රස කතාය. අයිස්ක්‍රීම් වුවත්, මේවායෙන් ඇතැම්වා රස විඳීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු බව ඔබටම පෙනී යනු ඇත.

පීරු හා චිලී රටවල බහුලව වගා කෙරෙන ‘ලුකුමා‘ නමැති පළතුරු වර්ගයේ සුලබම යෙදුම වන්නේ හිම කිරමයි. දුඹුරු පැහැයට හෝ කහා පැහැයට හුරු කොළ පැහැති තුනී ලෙල්ලකින් වටවු තද කහ පැහැති මාංශලමය මදයකින් යුතු ලුකුමා පළතුරට තවත් නමක් වන්නේ ‘බිත්තර පළතුර‘ය. ඒ එහි මදය බිත්තරයක කහ මදයට සමාන පැහැයකින් හා තැම්බු බිත්තරයක කහමදයක ස්වභාවයෙන් යුතු වීම නිසයි. පළතුරු රසයට වඩා මේපල් යුෂ හා බටර් ස්කොච් වැනි රසයන්ට සමානකම් කියන ලුකුමා පලතුරෙහි නොයෙකුත් භාවිතයන් අතර පළමු තැන ගන්නේ අයිස්ක්‍රීම් රසකාරකයක් ලෙසයි. කොටින්ම පීරු වැසියන් අතර ජනප්‍රියම අයිස්ක්‍රීම් වර්ගය වන්නේ ලුකුමා අයිස්ක්‍රීම්ය.

‘මැස්ටික්‘ යනු අතීතයේ සිටම ග්‍රීසියට ආවේණික වූ ස්වභාවික රසකාරකයකි. එනමින් හැඳින්වෙන ශාක විශේෂයකින් ස්‍රාවය වන රෙසිනයක් වන මෙය කුඩා කැට වශයෙන් පවතින්නකි. සිහින්ව කුඩු කරගත් මැස්ටික් රෙසිනය අයිස්ක්‍රීම්, පුඩිං වැනි අතුරුපස වර්ග පමණක් නොව ව්‍යංජන රසකාරකයක් ලෙසද ග්‍රීක වැසියන් අතර ජනප්‍රියයි. පයින් ශාකයේ පත්‍රවලට සමාන රසයකින් යුතු මැස්ටික් රෙසිනයෙන් රසගැන්වූ හිමකිරම ග්‍රීසියේ කෙතරම් ජනප්‍රියද යත් එහි ‘චියෝස්‘ දිවයින මුලුමනින්ම වෙන්කර ඇත්තේ මැස්ටික් වගාවන් සඳහා ය. ‘කිනාකෝ‘ යනු සෝයා බෝංචි බැඳ කුඩුකර සාදා ගන්නා රසකාරකයකි. ජපාන බසින් ‘කහ පිටි‘ යන අර්ථය ගෙනෙන ‘කිනාකෝ‘ සීනිවලට කදිම ආදේශකයකි. මේ නිසාම එහි නොයෙකුත් භාවිතයන් අතර හිම කිරම රසකාරකයක් ලෙසද කිනාකෝ යනු ජපාන වැසියන්ට නැතුවම බැරි සංඝටකයකි. වැනිලා, කෙසෙල්, හා කජුවර්ග සමඟ කදිමට පෑහෙන කිනාකෝ තවමත් ජපාන වැසියන්ටම සීමාවූ රසකාරකයක් වීම නම් කණගාටුවට හේතුවකි.

පර්සියාවේ ( වර්තමාන ඉරානයේ) රසවත් අතුරුපසක් වන ‘බස්තානි සොනාටි‘ යනු රෝස වතුර, කහ,වැනිලා හා පිස්ටාචියෝ නමැති ඇට වර්ගයෙන් රස ගැන්වු හිමකිරමයකි. එහි විශේෂත්වය වන්නේ ඕනෑතරම් වේලාවක් සපමින් සිටීමට හැකි චුවින්ගම් වැනි ඇදෙනසුළු ස්වභාවයයි. ඒ ඊට එක් කරනු ලබන උඩවැඩියා විශේෂයකින් නිස්සාරණය කරගත් ‘සලාබ්‘ නමැති සංඝටකය නිසාය. බස්තානි සොනාටි අයිස්ක්‍රීම් වර්ගය පිළිගන්වනු ලබන්නේද අමුතුම ආකාරයකටය. අධිශීත කළ ක්‍රීම් කැබලිවලින් සරසා නැවුම් කැරට් යුෂ වීදුරුවක බහා පිළිගන්වනු ලබන බස්තානි සොනාටි ඉරානයේ අංක එකේ අතුරුපස වර්ගයකි. පිලිපීනයේ ජනප්‍රියම හිම කිරම වර්ගය වන්නේ ‘හේලෝ හේලෝය‘. අයිස්කැට සහ උකු කළ කිරිවලින් සෑදුණු මෙම අයිස්ක්‍රීම් වර්ගයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දේදුනු පැහැති වර්ණයි. එලෙස වර්ණ ගැන්වීමට මෙන්ම රස ගැන්වීමටත් පිලිපීනයේ සුලබව භාවිතා වන්නේ ‘උබේ‘ නමැති අල වර්ගයයි. තද දම් පැහැති, පැණි රසැති අල වර්ගයක් වන උබේ ඇසුරින් වර්ණවත් කළ ‘හේලෝ හේලෝ‘ රස විඳීමට පිලිපීන වැසියන් දක්වන්නේ පුදුමාකාර ගිජුබවකි.

පාන් යනු එතරම් රස ආහාරයක් නොවුවත්,අයර්ලන්ත වැසියන්ට නම් එය එසේ නැත. ඒ ඔවුන්ගේ පාන් සැකසෙන්නේ ඔවුන්ගේම සම්ප්‍රදායකට අනුව ‘බේකින් සෝඩා‘ හා බටර්කිරි අනුසාරයෙන් වීම නිසයි. පහසුවෙන් හා ඉක්මනින්ම පිපෙන මෙම පාන් ඒවායේ රසවත්භාවය නිසාම අයර්ලන්ත වැසියන්ට අයිස්ක්‍රීම් නිෂ්පාදනයේදී නැතුවම බැරි අමුද්‍රව්‍යක් වී තිබේ. කර කර ගා හැපෙන දුඹුරු පාන් කැබලි මිශ්‍ර කොට තැනෙන දුඹුරු පාන් අයිස්ක්‍රීම්වල ඉතිහාසය වික්ටෝරියානු යුගය දක්වා වූ ඈත අතීතයකට දිව යන්නකි. ඉන්දීය ජනතාව අතර ප්‍රකටම හිම කිරම වර්ගය වන්නේ ‘කුල්ෆිය‘ පිස්ටාචියෝ ඇට, කහා, රෝස වතුර හා කිරිවල සංකලනයක් වන කුල්ෆිහි සුවිශේෂීම සංඝටකය වන්නේ කරදමුංගුය. කුළුබඩු අතර අග රැජිණ ලෙස අවිවාදයෙන් හැඳින්වෙන කරදමුංගු වගාකරන ලොව ප්‍රධානම රට වන්නේද ඉන්දියාවයි. සීනි කැටිති බවට පත්ව කැරමල් ස්වභාවයක් ලැබෙන පරිදි පැය ගණනාවක් මඳ ගින්නේ කැකෑරවූ කිරි, අධිශීත කිරීමෙන් කුල්ෆි පිළියෙල කෙරේ. කරදමුංගු යනු ඊට නැතුවම බැරි රසකාරකයකි.

මේ සියලුම අයිස්ක්‍රිම් වර්ග අතරින් වඩාත්ම අසාමාන්‍ය අයිස්ක්‍රීම් වර්ගය හමුවන්නේ ඇලස්කාවෙනි. ‘අකුටාක්‘ නම්වු, ඇලස්කාවේ ඇස්කිමෝවරුන්ගේ මෙම හිම කිරම වර්ගය නම් කන්නට පෙර දෙවරක් සිතා බැලිය යුත්තකි. මෙය පිළියෙල කෙරෙන්නේ මුහුදු ක්ෂීරපායින්ගේ තෙල් හා වලසුන්, පිනිමුවන් වැනි සතුන්ගෙන් ලබාගත් මේද තැන්පතු හිම හා වතුර සමඟ මිශ්‍ර කිරීමෙනි. තෙල් ලෙස යොදා ගැනෙන්නේ බොහෝවිට තල්මස් හෝ සීල් මත්ස්‍ය තෙල්ය. මීටත් අමතරව සත්ත්ව රුධිරය, මස් හා මත්ස්‍ය බිත්තරද මෙම අපුල දනවන අයිස්ක්‍රීම් වර්ගයට එක් කිරීම ඇස්කිමෝ සිරිතයි. අවසානයේදී ලැබෙන සේද මෙන් සුමුදු එහෙත් පෙණ සහිත මිශ්‍රණය පැණිරස ගැන්වීමට බ්ලුබෙරි හෝ සැමන්බෙරි නමැති පළතුරු වර්ග එක් කෙරුණද, ඉන් එහි වන අප්‍රසන්නබව මඟ හැරීමට හැකිවේද යන්නට ඇත්තේ සැකයකි.

රුක්ලන්ති පෙරේරා


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...