උතුරු කොරියාව ලෝක යුද්ධයට සිග්නල් දමයි | දිනමිණ

උතුරු කොරියාව ලෝක යුද්ධයට සිග්නල් දමයි

ධම්මික සෙනෙවිරත්න
ජපාන අගමැති, අමෙරිකා ජනාධිපති සහ උතුරු කොරියා නායක

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවන ලෙසට දකුණු කොරියාව, ජපානය හා අමෙරිකාව යන රටවල් තුනම ඉල්ලීම් කළහ. උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කිරීම ඔවුන්ගේ අභිප්‍රාය විය. එහෙත්, එවැන්නකට චීනයේ සහාය නොලැබෙනු ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසය.

උතුරු කොරියානු බැලස්ටික් මිසයිලයක් ජපානයට ඉහළින් ගමන්කර මුහුදට පතිත වීමත් සමඟ තුන්වෙනි ලෝක යුද්ධයක් ඇතිවේදැයි බිය පළව තිබේ. ජපාන අගමැති ෂින් සෝ අබේ ඊට ප්‍රතිචාර දැක්වූයේ එය තම රටේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව පවසමිනි. ජපානය,දකුණු කොරියාව හා අමෙරිකාව එක්ව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් දියත් කළේද ඊට ප්‍රතිචාරයක් ලෙසය. මේ සිදුවීම වාර්තා වීමත් සමඟ අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ අගයන්ගේ පහත වැටීමක් ද සිදුවිය.

ඉකුත් අඟහරුවාදා උදෑසන 5.57ට විදිනු ලැබූ මිසයිලය කි.මී. 1180ක් දුර ගෙවා ජපානයේ උතුරු දිග තොහොකු ප්‍රදේශය හා හොකයිඩෝ දූපතට ඉහළන් ගොස් ඊට කි.මී. 2ක් පමණ ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශයට පතිත වූයේ උදෑසන 6.29ටය. එනම් මිසයිලය විනාඩි 33ක් ගුවනේ තිබී ඇත. NHK රූපවාහිනිය වාර්තා කළේ තොහොකුහි ප්‍රාදේශීය බලධාරීන් ශක්තිමත් ගොඩනැඟිලි තුළට හෝ භූගත ආරක්ෂිත ස්ථාන කරා ගොස් සිටින ලෙසට ජනතාවට අනතුරු ඇඟවූ බවය. දකුණු කොරියාව පවසන පරිදි මිසයිලය කි.මී. 2700ක් දුරක් ගමන් කර තිබේ.

අගමැති අබේ අ‍ෙමරිකාවට හැරේ

තමන් මෙම ප්‍රහාරය අපේක්ෂා නොකළ බව පැවසූ ජපාන අගමැති ෂින්ෂෝ අබේ එය ජපානයට බලවත් තර්ජනයක් බව ද පැවසීය. එමෙන්ම උතුරු කොරියාවට එරෙහි ක්‍රියාමාර්ග දැඩිකරන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය. මිසයිලය බිම දැමීමට ජපානය ක්‍රියාකළේ නැත. එබැවින්, එය කොටස් 3කට කැඩී මුහුදට පතිත වී තිබේ. වර්ෂ 1998 දී හා වර්ෂ 2009දී ද උතුරු කොරියානු මිසයිල ජපාන ගුවන් කලාපය හරහා ගමන්කර ඇත. උතුරු කොරියාව පවසන්නේ ඒවා මිසයිල නොව චන්ද්‍රිකා බවය. ආසන්න මාස කිහිපය මුළුල්ලේම උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම් ගණනාවක් සිදු කර තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොං අං සහ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර වාග් සංග්‍රාමයක්ද පැවැතිණි. අමෙරිකාවට එල්ලවන කවර හෝ තර්ජනයන් හමුවේ නිහඬව නොසිටින බවට ජනාධිපති ට්‍රම්ප් අනතුරු ඇඟවීමක්ද කර තිබිණි.

අමෙරිකාව අයිතිය කියා සිටින ගුවාම් ප්‍රදේශයට පහරදීම උතුරු කොරියාවේ එක් අරමුණකි. ඒ සඳහා කි.මී. 3500ක දුරක් ගෙවා දැමීමට මිසයිලයකට සිදුවේ. ජපානයට ඉහළින් ගමන් කළ මිසයිලය හ්වාසොගේ 12 නමින් හැඳින්වෙන අතරමැදි දුර පරාසයකින් යුතු මිසයිලයකි. ගුවාම් වෙත පහරදෙන බවට අනතුරු අඟවා ඇත්තේද මේ වර්ගයේම මිසයිලයකිනි.

තම රටට අනතුරුදායක අන්දමින් බලපෑ මෙම මිසයිල ප්‍රහාරය කලාපීය සාමයට හා ආරක්ෂාවටද තර්ජනයක් බව ජපාන අගමැති අබේ පෙන්වා දී තිබේ. එමෙන්ම එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තීන්ට ද පටහැනිය. මේ ප්‍රහාරයෙන් පසු ජපාන අගමැතිවරයා හා අමෙරිකා ජනාධිපතිවරයා අතර විනාඩි 40ක දුරකතන සංවාදයක් සිදුවූ බව මාධ්‍ය වාර්තා කළේය. එහිදී උතුරු කොරියාවට එරෙහි ක්‍රියාමාර්ග දැඩිකිරීමට දෙරටම එකඟ වී ඇත.

මෙම සිදුවීම වනවිටද අමෙරිකා හා දකුණු කොරියා ඒකාබද්ධ යුද අභ්‍යාසයක් කලාපයේ සිදුවෙමින් තිබිණි. එය වාර්ෂිකව පැවැත්වේ. එම සෑම අවස්ථාවකදීම උතුරු කොරියාව ඊට දැඩිව විරෝධය පළකර ඇති අතර පහරදෙන බවට මීට පෙර අවස්ථාවලදීද අනතුරු අඟවා තිබිණි. මෙම මිසයිල ප්‍රහාරය ඊට විරෝධය පළ කරමින් සිදුවුවක් බවට බොහෝදුරට අනුමාන කළ හැකිය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවන ලෙසට දකුණු කොරියාව, ජපානය හා අමෙරිකාව යන රටවල් තුනම ඉල්ලීම් කළහ. උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කිරීම ඔවුන්ගේ අභිප්‍රාය විය. එහෙත්, එවැන්නකට චීනයේ සහාය නොලැබෙනු ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසය. එසේ වුවද, උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම් නතර කළ යුතු බව චීනය ද පිළිගනී. සම්බාධක දැඩි කිරීම සාර්ථක විසැඳුමක් නොවීමට ඇති ඉඩ විශාලය. ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන්ම විසඳා ගැනීමට ප්‍රයත්න දැරෙමින් තිබේ.

අනෙක් අතට යම් හෙයකින් තවත් මිසයිල ප්‍රහාරයක් සිදුවුවහොත් ඊට මුහුණ දීම සඳහා දකුණු කොරියාව මෙන්ම ජපානයද ආරක්ෂක පියවර දැඩිකර තිබේ. අමෙරිකාව ඉතිහාසයේ මෙතෙක් නිපදවූ දරුණුතම න්‍යෂ්ටික අවිය අත්හදා බලා ඇතැයිද මාධ්‍ය වාර්තාවල දැක්විණි. ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ අමෙරිකාව මෙහිදී 100%ක්ම ජපානය සමඟ සිටින බවය.

මස් පිඩු පෙන්වන හමුදා අභ්‍යාස

චීනය අවධාරණය කරන්නේ මෙහිදී සංයමයෙන් ක්‍රියා කළ යුතු බවයි. විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා හුවා චංග්යිංග් පෙන්වාදී ඇත්තේ එය සිතීමට අපහසු තර්ජනයක් බවය. වගකීම පවරන්නේ කා මතද යන්න ගැටලුවකි. එක් පාර්ශ්වයක් නිරන්තරයෙන් හමුදා අභ්‍යාසවල නිරතවන අතර අනෙක් පාර්ශ්වය නිරන්තරයෙන් මිසයිල දියත්කරමින් සිටී.

දකුණු කොරියාව හා අමෙරිකාව එක්ව සිදු කරන යුද අභ්‍යාස මඟින් ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ ශක්තිය මැන බැලීම පමණක් සිදුවන බවද එම අභ්‍යාස උතුරු කොරියාවට එරෙහි යුද්ධයක් සඳහා වන පෙර පුහුණුවක් ලෙස නොසැලකිය යුතු බවද දකුණු කොරියාව අවධාරණය කර සිටී. එහෙත් එම මතය බාර ගැනීමට උතුරු කොරියාව සූදානම් නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උතුරු කොරියානු තානාපතිවරයා අවධාරණය කරන පරිදි, මෙම ඒකාබද්ධ යුද අභ්‍යාස මඟින් කොරියා අර්ධද්වීපය පුපුරායාමට ආසන්නම මට්ටමට ඇදදමා තිබේ.

ජිනීවා නුවරදී පැවැත්වෙන නිරායුධකරණ සමුළුවට සහභාගි වෙමින් තානාපති හැන් තේ සොංග් කියා සිටියේ, තම රටේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අයිතියක් ඇති බවයි. එම සමුළුවේදීම අමෙරිකානු තානාපති රොබර්ට්වුඩ් පවසා තිබුණේ උතුරු කොරියාව මෙම කුපිත කරවන සුළු චර්යාවෙන් බැහැරවනු ඇත යන්න තම විශ්වාසය බවය.

උතුරු කොරියාවේ මෙම අර්බුදකාරී මිසයිල ප්‍රහාරය සිදුවුයේ, කෙටිදුර බැලස්ටික් මිසයිල 3ක් අත්හදා බලා දින 3කට පසුව හා දෙවන අන්තර් මහාද්වීපික මිසයිල අත්හදා බැලීමෙන් මසකට පසුවය. අමෙරිකාවට පහරදීමේ හැකියාවක් ඇතැයි පැවසෙන්නේ එම අන්තර් මහාද්වීපික මිසයිලවලටය.

අ‍ෙමරිකාවේ අවිත් සූදානම් කෙරේ

උතුරු කොරියානු මිසයිලය එල්ල වී ඇත්තේ. ජයොංග්යැංග් අන්තර් ජාතික ගුවන් තොටුපොළේ සිට බවද එම ධාවන පථය මිසයිල විදීමේදී පී‍ඨිකාව ලෙස භාවිත වී ඇතිබවද දකුණු කොරියාව ප්‍රකාශ කර තිබේ. යම් හෙයකින් මෙවැනි හදිසි මිසයිල ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට ආරක්ෂිතව මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ ජපානයේ නගර කිහිපයක ආරක්ෂක පෙරපුහුණු පවත්වා ඇත. න්‍යෂ්ටික ප්‍රහාරයෙන් ආරක්ෂා වීමට හැකි, තනි පුද්ගලයකුට රැඳීසිටීමට තරම් ඉඩ තිබෙන ආරක්ෂිත නිවසක් ජපානයේ අලෙවි වීමට පටන්ගෙන තිබේ. ජපානය පේට්‍රියල් මිසයිල ආරක්ෂක පද්ධතියක් ස්ථාන කිහිපයක් රඳවා ඇත්තේ ද එවැනි හදිසි ප්‍රහාරයකට මුහුණ දීමට හැකි වන පරිද්දෙනි. ජපානයට එරෙහිව මීට විසිවසරකට ඉහතදී පළමු උතුරු කොරියානු මිසයිලය එල්ල වීමත් සමඟ ඔවුහු සිය මිසයිල ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කෙරිණ.

උද්ගතව ඇති උණුසුම්කාරී වාතාවරණය මැද අමෙරිකාව මෙතෙක් නිපදවූ අති වඩා බිහිසුණුම න්‍යෂ්ටික අවිය දෙවනවරටද අතහදා බලා ඇතැයි වාර්තාවිණි. ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු එය එක්වරක් අත්හදා බැලිණි. B 61 – 12 යනුවෙන් නම්කර ඇති එම න්‍යෂ්ටික බෝම්බය ඉකුත් 8 වැනිදා සාර්ථක ලෙස අත්හදා බැලුබව අමෙරිකාව තහවුරු කර තිබේ .F – 15E ගුවන්යානයක් මඟින් රැගෙන ගොස් නෙවාඩා ප්‍රදේශයේදී එය අත්හදා බලා තිබුණේ න්‍යෂ්ටික හිස රහිතවයි. මෙහිදී අත්හදාබලා ඇත්තේ සාර්ථකව එම අවිය රැගෙනගොස් පහරදීමට F-15E ට ඇති හැකියාවයි.

බැලස්ටික් මිසයිලවලට පහරදී බිමදැමීමට තමන්ට හැකියාව ඇති බව අමෙරිකාව අවධාරණය කර තිබේ. ඉදිරි තුන් වසර ඇතුළත B 61 -12 සේවයට යෙදවීමට සූදානම් බව අමෙරිකාව කියාසිටී. එය වසර 2020 පටන් නිෂ්පාදනය කිරීමට සැළසුම් කර තිබේ. මෙම න්‍යෂ්ටික බෝම්බයට පුපුරණ ද්‍රව්‍ය ටොන් 300 – 50,000 අතර පරාසයක් රැගෙනයාමට හැකියාව ඇත. මෙහි ආගමනයත් සමඟ දැනට භාවිතවන B – 61 අවිය ඉවත්වනු ඇත. B -61 හඳුන්වාදුන්නේ මීට වසර 40කට ඉහතදීය. උද්ගතව ඇති වාතාවරණය තුළ අමෙරිකාව තම සියලු අවි අත්හදා බලනු ඇතැයි මත පළවේ. එහෙත් එවැන්නක් සිදුනොවනු ඇතිබව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසයි. ඒ කෙසේවුවද අමෙරිකාව දැනටමත් මෙතෙක් නිපදවූ බිහිසුණුම අවියද අත්හදා බලා අවසන්ය.

මේ සියල්ලෙන් පැහැදිලිව පෙනෙනුයේ තුන්වැනි ලෝක යුද්ධයක් ඇතිවුවහොත් විය හැකි විනාශය සිතා ගැනීමටත් නොහැකි බවයි. දෙවන ලෝක යුද්ධය නිමාවී දශක 7ක් ගතවී ගොස් ඇත. දෙවන ලෝක යුද්ධයේදී සිදුවූ ජීවිත හා දේපළ විනාශය අතිමහත්ය. අමෙරිකාව හිරෝෂිමා - නාගසාකි වෙත හෙළූ පරමානු බෝම්බවල ප්‍රතිඵල අදටත් මතුවේ.

නිසැකවම තුන්වැනි ලෝක යුද්ධයක් ඇතිවීම වළක්වා ගතයුතුය. උතුරු කොරියාව කේන්ද්‍රකර ගනිමින් නිර්මාණය වෙමින් ඇති අර්බුදය එවැනි බිහිසුණු යුද්ධයක් කරා ඇදගෙන නොයාම අදාළ සෑම පාර්ශ්වයකම පළමු වගකීම විය යුතුය.

නව අදහස දක්වන්න