ආසියානු සත් සාමාජික රගර් පළමු අදියර ශ්‍රී ලංකාව පළඟ ශූරතාව දිනා ගනී | දිනමිණ

ආසියානු සත් සාමාජික රගර් පළමු අදියර ශ්‍රී ලංකාව පළඟ ශූරතාව දිනා ගනී

ෆවුස් මොහොමඩ්

ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ පළමු අදියර ලෙස හොංකොං හී කොවුලූන් නුවර කිංග්ස් පාක් ක්‍රීඩා සංකීර්ණයේ පෙරේදා නිමාවට පත්වූ හොංකොං තරගාවලියේ දී පිලිපීනයට එරෙහිව ලකුණු 32 (ගෝල් 1, උත්සාහක දිනුම් 5) - 19 (ගෝල් 2, උත්සාහක දිනුම් 1) ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළඟ ශූරතාව දිනාගැනීමට සමත් විය.

තරුණ ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත කණ්ඩායමක් ලෙස මේ තරගාවලියට එක්වූ සුදර්ශන මුතුතන්ත්‍රිගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිලට පළඟ ශූරතා වටයට පිවිසීමට සිදුවූයේ පෙරේදා දහවල් පැවැති කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව තරග වටයේදී චීනය හමුවේ ලකුණු 36 (ගෝල් 3, උත්සාහක දිනුම් 3) -12කින් (ගෝල් 1, උත්සාහක දිනුම් 1) පරාජයට පත්වීම නිසාය.

පළඟ ශූරතාව දිනාගනිමින් තරගාවලියේ පස්වැනි ස්ථානයට පත්වූවත් අත්දැකීම් අඩු ක්‍රීඩකයන් රැසක් ප්‍රතිවාදීන් හමුවේ ක්‍රීඩා කළ ආකාරය ප්‍රශංසනීය. විශේෂයෙන් පළඟ ශූරතා අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට ජයගෙන දීමට යොවුන් ක්‍රීඩකයන් රැසක් විශිෂ්ට දායකත්වයක් ලබා දුන්හ.

එම තරගයේ ආරම්භයේදීම පිලිපීනය උත්සාහක දිනුමක් තැබීමට සමත්වූවත් ඊට මොහොතකට පසුව තරින්ද රත්වත්ත තැබූ උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 5-5කින් සමකරගත් ශ්‍රී ලංකා පිල පළමු භාගය නිමාවනවිට ලකුණු 12-10කින් පසුපසින් සිටියේය. නීති විරෝධී ක්‍රීඩා රටාවක නිරතවීම නිසා ශ්‍රී ලංකා පිලේ නායක සුදර්ශන මුතුතන්ත්‍රීට කහ කාඩ් පතේ දඬුවම ලැබීමෙන් පළමු භාගය නිමාවීමට මිනිත්තු දෙකකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී ක්‍රීඩකයන් 6 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය. කෙසේවෙතත් පළමු භාගය නිමාවන මොහොතේ සටන්කාමී ලෙස කෙවින් ඩික්සන් අනගි උත්සාහක දිනුමක් තැබීමෙන් ලකුණු පරතරය අඩු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. එම උත්සාහක දිනුම තැබීමෙන් පසුව පිලිපීන ක්‍රීඩකයකු විසින් කෙවින් ඩික්සන් තල්ලු කිරීම නිසා ඔහුට කහ කාඩ්පතේ දඬුවමත්, ශ්‍රී ලංකා පිලට දඬුවම් පහරක අවස්ථාවකුත් ලබාදීමට තරග තීරක කටයුතු කළේය. එහෙත් එම අවස්ථාවෙන් වාසිය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

එසේ වුවත් වඩාත් සැලසුම් සහගතව හා සටන්කාමීත්වයෙන් දෙවැනි භාගය ආරම්භ කළ ශ්‍රී ලංකා පිල එම කාලය අතරතුර තවත් උත්සාහක දිනුම් 4ක් තැබීමට සමත්වූයේ තරගයේ ජයග්‍රහණය අත්කර ගනිමිනි. දෙවැනි භාගය ආරම්භයේදී නායක මුතුතන්ත්‍රී අනගි උත්සාහක දිනුමක් තැබීමෙන් ලකුණු 15-12කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. ඊට මොහොතකට ප්‍රතිවාදී සීමාව ආරක්ෂක වළල්ලේ බාධකය මැද නවින් හීනකංකානම්ගේ තැබූ විශිෂ්ට උත්සාහක දිනුමෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 20-12කින් ඉදිරියට ගිය අතර තරගය නිමාවීමට පෙර බුද්ධිම පියරත්නගේ සහ කෙවින් ඩික්සන්ගේ දෙවැනි උත්සාහක දිනුමෙන් ජයග්‍රහණය තහවුරු විය.

ශ්‍රී ලංකාව පළඟ ශූරතා අවසන් තරගයට පිවිසියේ අවසන් පුර්ව තරගයේදී මැලේසියාවට එරෙහිව ලකුණු 45 (ගෝල් 5, උත්සාහක දිනුම් 2) -0ක දැවැන්ත ජයක් අත්කර ගනිමිනි. තරගයේ ආරම්භයේ සිටම සිය ප්‍රතිවාදීන් අබිබවා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය පුරා උත්සාහක දිනුම් 7ක් තැබීමට සමත්වූහ. තරගයේ පළමු භාගයේදී කෙවින් ඩික්සන්, හිරන්ත පෙරේරා, දනුෂ දයාන් සහ නවීන් හීනකංකානම්ගේ උත්සාහක දිනුම් තැබූ අතර ඉන් උත්සාහක දිනුම් 2ක් තරින්ද රත්වත්ත ගෝල බවට පත් කළේය. හිරන්ත පෙරේරා එක් උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කිරීමට සමත් විය. පළමු භාගය නිමාවට පත්වෙද්දී ශ්‍රී ලංකා පිල ලකුණු 26-0කින් ඉදිරියෙන් පසුවිය.

ශ්‍රී ලංකා පිල දෙවැනි භාගයේදී තවත් උත්සාහක දිනුම් 3ක් තැබීමට සමත් විය. දෙවැනි භාගය ආරම්භයේදී තරින්ද රත්වත්ත උත්සාහක දිනුමක් තබමින් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 31-0කින් ඉහළ දැමීමෙන් පසුව හිරන්ත පෙරේරා සිය දෙවැනි උත්සාහක දිනුම තැබිමට සමත් විය. තරගය නිමාවට පත්වූයේ ජේසන් දිසානායකගේ උත්සාහක දිනුමෙන් පසුවය. අවසන් උත්සාහක දිනුම් 2ම ගෝල බවට පත් කරනු ලැබුවේ කෙවින් ඩික්සන් විසිනි.

මෙවර තරගාවලියේ කුසලානය දිනාගැනීමට සමත්වූයේ සත්කාරක හොංකොං පිල ලකුණු 19-12කින් පරාජය කළ ජපාන කණ්ඩායමය. කුසලාන වටයේ අවසන් පූර්ව තරගවලදී ලකුණු 22-17කින් දකුණු කොරියාව පරාජය කිරිමට හොංකොං පිල සමත්වූ අතර ජපානය ලකුණු 40-5කින් චීනය පරාජය කළේය.

 

ඡායාරූප අනුග්‍රහය - සමීර පීරිස්

නව අදහස දක්වන්න