ටෙස්ට් තරග තුනම එක්දින තරග 5ත් පහසුවෙන් ජය ගනියි | දිනමිණ

ටෙස්ට් තරග තුනම එක්දින තරග 5ත් පහසුවෙන් ජය ගනියි

ප්‍රින්ස් ගුණසේකර

ශතක 30ක් ලැබූ කෝලි පොන්ටින් හා සමතැනට

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කොළඹ අර්. ප්‍රේමදාස පිටියේ ඊයේ පැවැති 5වැනි අවසන් එක්දින තරගයේ සෑම අංශයක්ම මනා ලෙස කළමනාකරණය කළ ඉන්දියාව කඩුලු 6කින් ජය ලබා මෙතෙක් පැවැති ටෙස්ට් හා එක්දින සියලුම තරගවල අණසක පැතිරවීමට සමත් වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවට අමිහිරි සටහන් එක්කළ මේ තරගාවලියේ අවසන් තරගය මේ 6වැනිදා පැවැත්වෙන අතර එම විස්සයි 20 තරගයද ජය ගතහොත් ඉන්දියාව වාර්තාගත අති සාර්ථක තරග සංචාරයක් නිමාවට පත් කරනු ඇත.

පසුගිය වසරේ සිට සිම්බාබ්වේ, නවසීලන්තය, එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් පිලද සමගින් මෙවර ශ්‍රී ලංකාව පරාජයට පත්කරමින් කෝලිගේ නායකත්වයෙන් ඉන්දියාව පිට පිට ලබාගත් 5වැනි එක්දින තරගාවලි ජයග්‍රහණය මෙයවීම ද විශේෂත්වයකි.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකාව ඕවර් 49. 4කදී සියලු දෙනා දැවී ලකුණු 238ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඕවර් 46.3කදී කඩුලු 4කට ලකුණු 239ක් ලබා ශ්‍රී ලංකාවට එරෙහි පිට පිට ලැබූ පස්වැනි ජයග්‍රහණය වාර්තා කළේය.

ඉන්දීය පිල සමග සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන්නන්ගේ අත්දැකීම් අඩු බව කැපී පෙණුනු අතර සුපිරි පිතිකරු විරාට් කෝලි කිසිදු පීඩනයකින් තොරව පන්දු 116කදී හතරේ පහර 9ක් එල්ල කරමින් නොදැවී ලකුණු 110ක් ලබා ගත්තේය. කෝලි සමග එක්වූ කෙදාර් ජාදෙව් ජයග්‍රහණයට ලකුණු 2ක් තිබියදී පන්දු 73කදී හතරේ පහර 7ක් සමග ලකුණු 63ක් ලබා දැවී ගිය අතර එය ඔහුගේ 2වැනි එක්දින අර්ධ ශතකය විය.

කෝලි තම එක්දින ජීවිතයේ 30වැනි ශතකය වාර්තා කරමින් එක්දින තරගවල දෙවැනි වැඩිම ශතක ලබාගත් රිකී පොන්ටින් හා සමතැන් ගත්තේය. පොන්ටින් තරග 375කදී ශතක 30ක් ලබාගත්තද, 28 හැවිරිදි කෝලි තරග 194කදී මේ දස්කම් දක්වමින් සිටී. ඉන්දීය සුපිරු පිතිකරු සචින් තෙන්ඩුල්කාර් තරග 463කදී ශතක 49ක් ලබා එක්දින පිතිකරුවන්ගේ නාම ලේඛනයේ ඉදිරියෙන්ම සිටී.

කෝලි මේ එක්දින තරගාවලිය්දී ශතක 2ක් හා අර්ධ ශතකයක් සමග ලකුණු 330ක් ලබා එක්දින තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත්විය. මෙය පිතිකරුවකු හා නායකයකු ලෙස කෝලිගේ හොඳම එක්දින ක්‍රිකට් තරගාවලිය ද විය.

ලසිත් මාලිංග හා විශ්ව ප්‍රනාන්දු මුල් කඩුලු දෙක ලකුණු 29කට දවාගෙන තිබියදී මනීෂ් පාණ්ඩේ හා විරාට් කෝලි එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 99ක සම්බන්ධතාවක් ගොඩනැගීම ඉන්දීය ජයග්‍රහණයේ මාවත විවර කරන්නක් විය. සිවුවැනි කඩුල්ලට කෝලි හා ජාදෙව් අතර සම්බන්ධතාව ලකුණු 109ක් විය.

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 63කට ක්‍රීඩකයන් තිදෙනෙකු දැවී සිටියදී මැතිව්ස් හා තිරිමාන්න එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 122ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර තිරිමාන්න, බුවනේෂ්වර් කුමාර්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 67කට දැවී ගියේය. හෙතෙම පන්දු 102කට මුහුණදී හතරේ පහර 3ක් හා හයේ පහරක් එල්ල කළ අතර මැතිව්ස් පන්දු 98කදී හතරේ 4ක් සමග ලකුණු 55ක් සිටියදී කුල්දීප් යාදෙව්ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක දෝනි අතට උඩ පන්දුවක් දී ක්‍රීඩාගාරයට ගියේය. දෙවැනි වතාවටත් අපරීක්ෂාකාරී ලෙස දුවද්දී දැවී ගිය වනිඳු හසංරගගේ ඉනිම ලකුණු 9කට නිමාවූ අතර ශ්‍රී ලංකාවේ අවසන් කඩුලු හත ලකුණු 53ක් තුළදී දවා ගැනීමට ඉන්දීය පිල සමත්වීම ඉනිමේ කඩා වැටීමට ප්‍රධානතම හේතුව විය.

බුවනේෂ්වර් කුමාර් එක්දින ජාත්‍යන්තර පිටියේ කඩුලු 5ක් ලබාගත් පළමු අවස්ථාව ලෙස ඊයේ තරගය වාර්තා වූ අතර කඩුලු දෙකක් බිඳ හෙලාගත් බූම්රා මේ එක්දින තරගාවලියේදී කඩුලු 15ක් ලබා වැඩිම කඩුලුලාභි පන්දු යවන්නා බවට පත් විය. ශ්‍රී ලංකව වෙනුවෙන් උපුල් තරංග කණ්ඩායමට එක් වෙද්දී පසුගිය තරගවල අංක එකේ පිතිකරු කුසල් මෙන්ඩිස් අවසන් තරගයේදී විවේක ගන්වා තිබුණි.

නව අදහස දක්වන්න