ළැගුම්හල්වලට පැන සංචාරකයන්ගේ දේපළ සොරාගත්තැයි සැකකරු දැලේ | දිනමිණ

ළැගුම්හල්වලට පැන සංචාරකයන්ගේ දේපළ සොරාගත්තැයි සැකකරු දැලේ

බෙන්තොට,අහුන්ගල්ල,හික්කඩුව,හබරාදූව යන ප්‍රදේශවල විදේශ සංචාරකයන් නවාතැන් ගෙන සිටින ළැගුම්හලවලට හොරෙන් රිංගා ඔවුන් සතු වටිනා කැමරා,ජංගම දුරකථන,ලැප්ටොප්,ටැබ් ආදී භාණ්ඩ සහ මුදල් සොරකම් කළ පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා භාණ්ඩ තොගයක්ද සොයා ගත් බව හික්කඩුව පොලීසිය පැවසුවේය.මෙම සැකකරු 2 සවස හික්කඩුව කුමාරකන්ද හන්දියේදී අත් අඩංගුවට ගන්නා විට හොරොයින් මිලිග්‍රෑම් 2050ක ප්‍රමාණයක්ද ඔහු සන්තකයේ තිබී සොයා ගෙන තිබුණි.

සොරකම් කරන ලද මෙම භාණ්ඩ විවිධ ප්‍රදේශවලට අලෙවි කොට තිබියදී සොයා ගත් බව පැවසූ පොලීසිය සැකකරු එම මුදල් මත්කුඩු පානය කිරීම සඳහා වැය කොට ඇති බවද හෙළිවූ බව සඳහන් කළේය.සොරකම් කරන ලද ස්ථානවල සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී මේ සෑම හොරකමක්ම සිදු කර ඇත්තේ මෙම සැකකරු බව අනාවරණය වී තිබේ.

ඉන් පසු ඔහුගේ ඡායාරූපයක් සහිත දැන්වීම් මුද්‍රණය කොට මොහු ගැන තොරතුරක් දන්නා අය සිටීනම් පොලීසියට දැනුම් දෙන ලෙස හික්කඩුව පොලීසිය ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා තිබුණි.ඒ අනුව පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු සොරා ගන්නා ලද මෙම භාණ්ඩ විවිධ ප්‍රදේශවලට අලෙවි කර තිබියදී සොයා ගැනීමට හැකිවූ බවත් පොලීසිය පැවසුවේය.සොයා ගන්නා ලද භාණ්ඩ අතර ඉතා වටිනාකමින් යුත් වෘත්තීය කැමරා හතරක්ද,ලැප්ටොප් තුනක්ද,ජංගම දුරකථන තිස් හතක්ද,ටැබ් හතරක්ද තවත් එවැනිම භාණ්ඩ කීපයක්ද විය.මෙම භාණ්ඩ අයිතිකරුවන් සිටීනම් හික්කඩුව පොලීසියට පැමිණ ඒවා හඳුනා ගන්නා ලෙසද පොලීසිය ඉල්ලීමක් කරයි.

හික්කඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.සී.වෙත්තසිංහ මහතාගේ උපදෙස් අනුව දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රශන්න මෙන්ඩිස් ,පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රනාන්දු(561) චතුරංග(68136)විතාරණ(69483)දිනේෂ්(72279) යන පොලිස් කණ්ඩායම පරීක්ෂණ පැවැත්වූහ.

අම්බලන්ගොඩ සමූහ ආර්.ඤාණදාස ගාල්ල දිසා සමූහ සහ බලපිටිය සමූහ 

නව අදහස දක්වන්න