කේන්ද්‍රස්ථානයක් බවට ඉන්දියා සාගර කලාපය පත් කළ යුතුයි | දිනමිණ

කේන්ද්‍රස්ථානයක් බවට ඉන්දියා සාගර කලාපය පත් කළ යුතුයි

රක්ෂණ ශ්‍රියන්ත

ඉන්දීය සාගර සමුළුවේ සමාප්ති උත්සවය අමතමින් ජනපති කියයි

ඉන්දීය සාගර කලාපය සාම සාගර කලාපයක් බවට පත්කරමින් මුළු මහත් මානව ප්‍රජාවගේ අනාගත අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

මුළුමහත් මානව ප්‍රජාවගේ යහපත උදෙසා සාගරය ඉවහල් වනවා සේම මිනිසාගේ අයහපත සඳහා අද සාගරය භාවිත වන බව පැවැසූ ජනාධිපතිවරයා සාමය කඩ කරන යුද කටයුතු, මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම මිනිස් ජාවාරම සඳහා සාගරය භාවිත කිරීම පිළිබඳ ඉන්දීය සාගර සමුළුවේ දී සියලු දෙනාගේ අවධානය යොමු වන්නට ඇතැයි ද විශ්වාසය පළ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැති 2017 ඉන්දීය සාගර සමුළුවේ සමාප්ති උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස එක් වෙමිනි.

ඉන්දියන් සාගර කලා‍පයේ සාමය සහ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කෙරෙන ඉන්දියන් සාගර සමුළුව, ‘සාමය- සංවර්ධනය සහ සෞභාග්‍ය’ යන තේමාව යටතේ 31 දින සහ 01 දෙදින පුරා අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, ජපානය ඇතුළු රටවල් 30 ක සහභාගිත්වයෙන් පැවැති මේ සමුළුවට දේශීය මෙන්ම විදේශීය නියෝජිතයන් 300 කට වැඩි පිරිසක් එක්ව සිටියහ.

ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ලේකම් රාම් මාධව් මහතා විසින් මෙහි දී ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවැසීය.

අද ඔබ අප සෑම කෙනෙක්ම ඉන්දීය සාගර 2017 සමුළුව පවත්වනු ලබන්නේ ඉතා වැදගත් කරුණු රාශියක් මුල්කර ගෙනයි. දින දෙකක් ඔබ මේ සමුළුවට සහභාගි වෙමින් ඉතා වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කර තිබෙනවා.

ඒ වගේම යෝජනා කර තිබෙනවා. ඉල්ලීම් කර තිබෙනවා. ඉන්දියන් සාගරයේ ආශිර්වාදය ලබන මේ පැමිණ සිටින රටවල්වල ජනතාවට පමණක් නොව සමස්ත ලෝක ප්‍රජාවට, ජාත්‍යන්තර ආර්ථීකයට, ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂාව සඳහා, නව තාක්ෂණික දැනුම ඛෙදා හදා ගැනීම සඳහා නව තාක්ෂණික නාවික කටයුතු සඳහා ලෝකයේ සියලුම රටවල ආර්ථීක, වෙළෙඳ, ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා මෙහි දී ඉන්දියන් සාගරයේ වැදගත්කම මෙන්ම සියලුම ලෝක ප්‍රජාවන්හි අවධානය ඉන්දියන් සාගරය වෙත යොමුවී තිබෙන අවස්ථාවක්.

අප කවුරුත් සාමය පිළිබඳ කතා කරනවා. අප කවුරුත් ආර්ථීක සංවර්ධනය පිළිබඳ කතා කරනවා. අප කවුරුත් ද්වීපාර්ශ්වික සබඳතා පිළිබඳ කතා කරනවා. අප කවුරුත් නව තාක‍ෂණික දැනුම ලෝකයේ සියලුම ප්‍රජාවන් වෙත බෙදා හදා ගැනීම සඳහා සාකච්ඡා කරනවා. එවැනි අවස්ථාවක මෙහි පැමිණ සිටින සහෝදර මිත්‍ර රටවල් මෙන්ම ඉන්දීය සාගරයට අයත් නොවන්නා වූ ලෝකයේ අනිකුත් රාජ්‍යයන් මේ සමුළුවේ වැදගත්කම ඉතාමත් මැනැවින් වටහා ගෙන තිබෙනවා. සෑම රටක්ම රට අභ්‍යන්තරයේ සාමය ඉතාමත් අගය කරනවා.

සෑම රටක්ම ජාතීන් අතර සමඟිය ඉතාමත් අගය කරනවා. සෑම රටක්ම ජාතික සංහිඳියාව ඉතාමත් අගය කරනවා. එසේම අන්තර්ජාතික වශයෙන් එසේ නොමැති නම් ජාත්‍යන්තර වශයෙන් ජාත්‍යන්තර සමඟිය, ජාත්‍යන්තර සංහිඳියාව, ජාත්‍යන්තර සහෝදරත්වය මුළු මහත් මානව ප්‍රජාවගේ ජාත්‍යන්තර ආරක්ෂාව වැනි කරුණු සාර්ථක කර ගැනීම සඳහා මේ සෑම කෙනෙක්ම කැපවී සිටිනවා.

ශ්‍රී ලංකා රජය, ඒ වගේම අපේ ආදරණීය ශ්‍රී ලාංකික ජනතාව ඉන්දීය සාගර 2017 සමුළුවේ අරමුණු සාර්ථක කර ගැනීම සඳහා කැපවී සිටිනවා. ඔබේ යෝජනා, ඔබේ අදහස් ඔබ විසින් ඉදිරිපත් කරන ලද විවිධ කරුණු ඉතා වැදගත් කොට සලකනවා වගේම එම කරුණු ක්‍රියාවට නැංවීම සඳහා මේ සමුළුව ගන්නා වූ තීන්දු තීරණ මත ශ්‍රී ලංකා රජය එම කටයුතු සාර්ථක කිරීමට සැමවිටම බැඳී සිටින බව මම සඳහන් කළ යුතුයි. සාගරයන්හි තිබෙන වටිනාකම් පිළිබඳ කතා කරන විට නව තාක‍්ෂණික ලෝකයේ නාවික ගමනාගමනය, වෙළෙඳ කටයුතු සඳහා තිබෙන සම්බන්ධතා ඉතාමත් වැදගත් වෙනවා.

සාගර සම්පත් ආරක්ෂා කිරීම සඳහා අපි සෑම කෙනෙක්ම ඉතා ඉහළ වගකීමකින් බැඳී සිටිනවා. මිනිසාගේ යහපත සඳහා, සියලු රාජ්‍යයන්හි යහපත සඳහා, මුළු මහත් මානව සමාජයේ යහපත සඳහා අපි සැමවිටම සාගරය සමඟ කටයුතු කරනවා වගේම සාගරය අව භාවිත කිරීම ඇතැම් පිරිස් විසින් සිදුකරනු ලබනවා. එහි දී සාමය කඩවන ආකාරයේ යුද කටයුතු සඳහා සාගරය භාවිත කෙරෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා සාගරය භාවිත කිරීම් සිදු කරනවා. මිනිස් ජාවාරම් සඳහා මිනිස් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් සාගරය භාවිත කිරීම සිදු කරනවා. අන්තර්ජාතික ත්‍රස්තවාදය සඳහා සාගරය භාවිත කරනවා. මේ සමුළුව තුළ මේ පිළිබඳ බොහෝ කරුණු සාකච්ඡා වන්නට ඇතැයි මා විශ්වාස කරනවා.

1960 වසරේ හිටපු ශ්‍රී ලංකා අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලෝකයේ පළමු වැනි කාන්තා අගමැතිනිය බව ඔබ සෑම කෙනෙක්ම දන්නා බව මා විශ්වාස කරනවා. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එක්සත් ජාතීන්ගේ සමුළුව තුළ 60 දශකයේ දී ඉන්දියන් සාගරය සාම කලාපයක්, සාම සාගරයක් කිරීම සඳහා මුලින්ම යෝජනා ඉදිරිපත් කළ බව විශේෂයෙන්ම මා මෙහි දී සිහිපත් කළ යුතුයි.

ඒ වගේම මෑත භාගයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියන් සාගරයේ වැදගත්කම පිළිබඳ මේ සමුළුව අමතමින් ඉතා වැදගත් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබුණා. ඉන්දීය සාගරය සමඟ සම්බන්ධතා පවත්වන මේ සාගරය අවට එක්වී සිටින මිත්‍ර රටවල් සෑම රටක්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බැවින් මේ රටවල්වල පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මක වන නිසා ඉන්දීය සාගර පාර්ලිමේන්තු සමුළුවක් පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෑත භාගයේ යෝජනා ඉදිරිපත් කර තිබුණා.

මෑත භාගයේ ඉන්දියන් සාගරයේ වැදගත්කම පිළිබඳ සඳහන් කරමින් රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, විද්වතුන්, විද්‍යාඥයන් එවැනි කරුණු ගණනාවක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා අපි සෑම කෙනෙක්ම සහෝදරත්වය, මිත්‍රශීලීභාවය අන්තර්ජාතික සබඳතා මේ සියල්ල තුළ ඉතා ශක්තිමත්ව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ අනුව මේ පැමිණ සිටින පිරිස මා මුලින් කී පරිදි ඉදිරිපත් කරන යෝජනා, අදහස්, විවේචන, ඇතැම් විට චෝදනා ඒ සියල්ල සැලකිල්ලට ගනිමින් ඉන්දීය සාගරය සාම සාගරයක් කිරීමටත් ඉන්දියන් සාගරය මුළුමහත් මානව ප්‍රජාවගේ අනාගත අභිවෘද්ධිය සඳහා ක්‍රියා කරන්නා වූ වැදගත් වන්නා වූ සාගරයක් ලෙසත්, නව තාක්ෂණික දැනුම මත ලෝකය වේගයෙන් ඉදිරියට යද්දි මුළුමහත් මානව ප්‍රජාවට නව තාක‍්ෂණික දැනුම ලබාදෙන විශේෂිත ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් බවටත් ඉන්දීය සාගරය පත්විය යුතු යැයි මා විශ්වාස කරනවා.

අද දවසේ මේ වැදගත් සමුළුවට සහභාගි වන ඔබ සියලුදෙනාට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සහ ආදරණීය ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මම නැවතත් මගේ ගෞරවය ස්තූතිය පළ කරනවා. මගේ සුන්දර මාතෘභූමිය ලෝකයේ ඓතිහාසික වශයෙන් භූගෝලීය වශයෙන් වැදගත් වන්නා වූ කේන්ද්‍රස්ථානයක පිහිටා තිබීම ඉතාමත් වැදගත් බව ඔබ දන්නවා. මෙහි පැමිණ සිටින මිත්‍ර රටවල්වලට වගේම මුළුමහත් ලෝකයටම මුළුමහත් ජාත්‍යන්තර ප්‍රජාවටම මගේ උතුම් මාතෘභූමිය, නව තාක‍්ෂණික දැනුම ඛෙදාහදා ගැනීමට, වෙළෙඳ, නාවික කටයුතු ශක්තිමත් කිරීමට මුළුමහත් මානවයාගේ අනාගත සංවර්ධනය සඳහා කටයුතු කිරීමට ඉතාමත් වැදගත් කේන්ද්‍රස්ථානයක් බව ඔබ කවුරුත් දන්නවා.

ඒ නිසා මේ පැමිණ සිටින සෑම රාජ්‍යයකම අපේ මිත්‍රශීලී සහෝදර රටවල් මෙන්ම අනිකුත් සෑම රාජ්‍යයන්ටම යහපත් සමාජයක් ගොඩනැඟීම සඳහා ආධ්‍යාත්මික වශයෙන් දියුණු ලෝකයක් ගොඩනැඟීම සඳහා නව තාක‍්ෂණය සමඟ මුළුමහත් ජාත්‍යන්තර ප්‍රජාවට ඉදිරියට යන්නට ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් වශයෙන් මගේ උතුම් මාතෘ භූමිය මුළුමහත් ලෝක ප්‍රජාවට සහෝදරත්වයෙන් සහ මිත්‍රශීලී ලෙස දෑත් දිගු කරන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

අවසාන වශයෙන් මෙහි පැමිණි ඔබ සියලුදෙනාට නැවත නැවතත් මගේ ස්තූතිය පුද කරමින් මේ සඳහා කැපවීම් කරන සියලූම පැමිණ සිටින රාජ්‍යයන් වගේම මේ සමුළුව සාර්ථක කර ගැනීම සඳහා විශිෂ්ට මඟ පෙන්වීමක් කරන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය රාජ්‍යයටත්, මේ පැමිණ සිටින සියලුම රාජ්‍යයන්හි රාජ්‍ය නායකයන්, නියෝජිතයන් ඒ සෑම කෙනකුටමත් මගේ ගෞරවය, ආශිර්වාදය, සුබපැතුම් පිරිනමමින් ඔබ අප සියලු දෙනාම සහෝදරත්වයෙන්, මිත්‍රශීලී ලෙස හෙට දවස වෙනුවෙන් ඉතා යහපත් ලෝකයක් ගොඩනඟන්න, සුන්දර ලෝකයක් ගොඩනඟන්න, ලෝකය තුළ සාමය ඇති කරන්න, ආර්ථීක සංවර්ධනය ඇති කරන්න, දුගී බව නැති කරන්න, ඒ වගේම නව තාක්ෂණය සමඟ වඩාත් දියුණු ආධ්‍යාත්මික සමාජයක් ගොඩනඟන්න කැප වෙමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරනවා යැයි වැඩි දුරටත් පැවැසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, සාගල රත්නායක, තිලක් මාරපන, ජෝන් අමරතුංග, නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන් ද, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු නිලධාරීන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - සුදත් මලවීර 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...