ශ්‍රී.ල.නි.පයට හැට හයක් - කැම්බල් පිටියට ජන ගඟක් | දිනමිණ

ශ්‍රී.ල.නි.පයට හැට හයක් - කැම්බල් පිටියට ජන ගඟක්

ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ දේශපාලන පක්ෂයක සංවත්සරයක් වෙනුවෙන් සහභාගී වූ වැඩිම ජන සහභාගීත්වය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් එහි සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී ඊයේ (03) පැවැත්විණ

බොරැල්ල කැම්බල් පිටිය අවට මාර්ග මෙන්ම ආසන්න සෑම ප්‍රදේශයක්ම පාහේ නීල වර්ණ ධජවලින් අලංකාර කර තිබූ අතර කැම්බල් පිටිය තුළ මෙන්ම පිටිටනියෙන් පිටත මාර්ගවලද රැදී සිටි පාක්ෂිකයෝ අතිවිශාල පිරිස තම පක්ෂයේ 66 වැනි උපන් දිනයට සහභාගී වී සිටියේ නිල් පැහැති හිස්වැසුම් සහ නිල්පැහැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව තහවුරු කරන වදන්වලින් පිරිපුන් වූ ටී ෂර්ට් ඇඳගෙනය. මෙනිසා කැම්බල් පිටිය මෙන්ම ඒ අවට ප්‍රදේශ නීල වර්ණයෙන් බැබළි තිබිණ.

රට පුරා ශාඛා සමිති සහ ආසන බල මණ්ඩල නියෝජනය කරමින් බස්රථවලින් පැමිණි දහස් සංඛ්‍යාත පිරිස් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය පැසසුමට ලක් කරමින් ප්‍රිති ඝෝෂා කරමින් කැම්බල් පිටිය කරා පිය නඟනු දක්නට ලැබිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ කිසිඳු දිනෙක දක්නට නොලැබුණු උද්‍යෝගයක්, උනන්දුවක් මෙම ජනතාවගේ මුහුණුවලින් පෙන්නුම් කළ අතර නිදහස්, නිවහල් රටක් බිහිකළ ගෞරවය හිමිකර ගත් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය රටේ සියලු පුරවැසියන් පිළිගත යුතු බවට ඔවුහු හඬ නඟා ආයාචනය කරනු දක්නට ලැබිණ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය, හිටපු අගමැති දි මූ ජයරත්න මහතා, පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ උපලේකම්වරුන්, ආණ්ඩුකාරවරුන්, මහ ඇමැතිවරුන්, දේශපාලන පක්ෂ නායකයන්, ආසන සංවිධායකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති 66 වැනි සංවත්සරය පස්වරු 2.35ට පමණ ආරම්භ විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටහය වැනි සංවත්සරයට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කුඩා දරුවන් දෙදෙනකු විසින් පිළිගත් අතර පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහත්වරුන් විසින් පස්වරු 2.35ට පමණ ප්‍රධාන වේදිකාවට කැඳවාගෙන ඒම සිදු විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වන සම්මේලනයට සහභාගී වීම සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම, සෑම ජන සමාජයක්ම නියෝජනය වන පරිදි විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

අනුරාධපුර, පොළොන්නරුව, කොළඹ, වව්නියාව, යාපනය, මුලතිව්, හම්බන්තොට, කෑගල්ල, ගම්පහ, රත්නපුර, ආදිය ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම, සෑම මැතිවරණ බල ප්‍රදේශයක්ම නියෝජනය වන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ, කාන්තා නියෝජිතයෝ, තරුණ නියෝජිතයෝ ඇතුළු පිරිසක් හැටහය වන සංවත්සරයට එක්ව සිටියහ.

සර්ව ආගමික වතාවත් සිදුකිරීමෙන් පසුව වීරෝදාර රණවිරුවන් හා මියගිය පක්ෂ සාමාජිකයන් සිහිපත් කිරීමෙන් පසුව හැටහය වැනි සංවත්සරය ආරම්භ වීම සිදුවූ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා හා හිටපු අගමැති දී මු ජයරත්න මහතා දෙපස සිටින සේ අසුන්ගෙන සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද පක්ෂයේ සියලු දෙනා සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තේමා ගීතය ගායනා කරන අයුරු දක්නට ලැබිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා විසින් පැමිණ සිටි පිරිස පිළිගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය පැවැත්වූණු ඊයේ (03) දිනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපන් දිනය යෙදී තිබීමද ‍‍ඓතිහාසික සිදුවීමක් වේ.

නව රජය බලයට පත්වීමෙන් පසුව මෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන් මඟ හා යා යුතු ගමන් මඟ දුමින්ද දිසානායක මහතා පැහැදිලි කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටහය වැනි සංවත්සරයට දේශපාලන පක්ෂ 42ක නියෝජිතයෝ එක්ව සිටියේ මීට පෙර කිසිඳු දේශපාලන පක්ෂයක සම්මේනයක් නොතැබූ වාර්තාවක් තබමිනි.

හැට හයවැනි සංවත්සරයේදි ආර්ථික, ජාත්‍යන්තර, ආහාර නිෂ්පාදන හා පාරිසරික, වැඩකරන ජනතාව, තරුණ පෙරමුණ වෙනුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ වෙනුවෙන්, ජනපති උපහාර වෙනුවෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් යෝජනා අටක් සම්මත කිරීමද සිදුවිය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ නායකයා ලෙස පක්ෂයට සිදුකර ඇති සේවය මෙන්ම ජනාධිපතිවරයා ලෙස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් ජනාධිපති බලතල අඩුකරගනිමින්, ජාත්‍යන්තර වශයෙන් රටට එල්ල වී තිබූ අපකීර්තිමත් අතීතය අවසන් කර ජාත්‍යන්තර වශයෙන් නැවත යහපත් පිළිගැනීමක් රටට ලබාදීමට කටයුතු කිරීම ආදි කරුණු රැසක් හේතුවෙන් ජනාධිපති උපහාර යෝජනාව ඉදිරිපත් කිරීම සිදුවිය. මෙම යෝජනාව පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් ඉදිරිපත් කිරීම සිදුවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා විසින්ද තරුණ පරපුර වෙනුවෙන් යෝජනාවක් ඉදිරිපත්කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මැතිවරණ සඳහා ඉදිරිපත් කරන ලේඛන සඳහා සියයට තිහක නියෝජනයක් ලබාදීමට අදාළ යෝජනාවද මෙහිදි සම්මත විය. එමෙන්ම තරුණ පෙරමුණ විසින් එළිදක්වන නිදහස පුවත්පත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගැන්විමද සිදුවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටහයවැනි සංවත්සරයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ඇමැති රවුෆ් හකීම් තවද දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත්, එස් බී දිසානායක, සරත් අමුණුගම, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, නිමල් සිරිපාලද සිල්වා, තිලංග සුමතිපාල, ලසන්ත අලගියවන්න, ලක්ෂ්මන් සෙනවිරත්න, ආණ්ඩුකාරවරුන්, මහ ඇමතිවරුන්, අතුරලියේ රතන හිමි, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, ආනන්ද සංගරී, ඒ එල් එම් අතාවුල්ලා, එම් ඒ සුමන්තිරන්, ඩග්ලස් දේවානන්ද, සරත් මනමේන්ද්‍ර, චමීර පෙරේරා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 

-----------------------

ජනපති උපහාර යෝජනාව

2015 ජනවාරි 09 වැනිදාට එළිය වැටෙනවිට තැන් තැන්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවන්ට පහරදීම් ඇරඹුණි. ශ්‍රී ලංගම ඩිපෝවල කළමනාකරුවන් පන්නා එ. ජා. ප. ආධාරකරුවන් බලෙන් එම තනතුරේ වැඩ බාරගන්නා ලදී.

වරායේ, තෙල් සංස්ථාවේ අපේ සේවකයන්ට වැඩට ඒමට ඉඩ නොලැබුණි. මැරවරයන් ඒ කාර්යාල වැඩපලවල් අත්පත් කරගෙන සිටියෝය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අප පක්ෂය වත්මන් ජනාධිපතිවරයාට බාරදීමට සූදානම් විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප පක්ෂය භාර ගැනීමට එකඟවිය. ඔහුගේ ඇතැම් ආධාරකරුවන් ඒ තීරණයට එරෙහිවිය. තම මැතිවරණ ප්‍රකාශනය වූ “මෛත්‍රී සමාජයක් කරා” යන ප්‍රකාශනය උපුටා දක්වමින් තමා ජනතාවට පො‍රොන්දු වූ පරිදි මගේ රජයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ද ලබාගත යුතු බව කියමින් අපේ පක්ෂය බාර ගත්තේය.

මෛත්‍රී දින වූ අයට අවශ්‍ය වූයේ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා එය ඉටු කළේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුමක් සිදුවේද? හැම මැතිවරණයකදීම සිදුවූ ලෙස පරාජිත පක්ෂයට අන්ත පරාජයක් හිමි වනු ඇත.

අපේ පක්ෂය ඒ භයානක අනතුරින් බේරා ගත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි.

ජයග්‍රාහී පිලට මීළඟට අවශ්‍ය වූයේ පළාත් සභා බලය අල්ලා ගැනීමටයි. අතීතයේ මේ දේ මෙලෙසම අප රටේ සිදුවිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මන්ත්‍රීවරු බිලිබා ගන්නා ක්‍රමවේදය නතර ක‍ෙළ්ය. ඒ නිසා උතුරු, නැ‍ඟෙනහිර හැරෙන්නට අනිත් පළාත් සභා අදටත් අප පක්ෂය සතුව පවතී. අපේ පළාත් සභාව අපට බේරා දුන්නේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.

අපේ නගර සභා, ප්‍රාදේශීය සභා ප්‍රධානීන් කිහිපවරක් කැඳවා ඔවුන්ගේ පාලන කාලය කල් දමා දීමට අපි උත්සාහ කළෙමු. ඒ සෑම වරකම ඔවුන්ව අභයාරාමයට කැඳවීමෙන් නගර සභා ප්‍රාදේශීය සභා බේරාගැනීමට අපට නොහැකිවිය. එයට වගකිව යුත්තේ අභයාරාම කණ්ඩායම බව ඉතා පැහැදිලිය.

පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගන්නාවිට ඇමෙරිකාව, ඉන්දියාව, මහාබ්‍රිතාන්‍ය, ජපානය ඇතුළු මුළු යුරෝපයම අපේ රටට එරෙහිව අවි අමෝරා ගෙන තිබුණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අප රටට එරෙහිව පත් කළ කොමිෂන් වාර්තාව ජනවාරි 23 දින මානව හිමිකම් කොමිසම ඉදිරියේ එළි දැක්වීමට නියමිතව තිබුණි.

ඒ වනවිටත් එම වාර්තාවේ තොරතුරු ලෝකයට හෙළිදරව්වෙමින් පැවතුණි. ශ්‍රී ලංකාවට එම වාර්තාව අතිශය අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබුණි. අපට වහාම යුරෝපීය ආර්ථික තහංචියක් පැනවීමට තිබූ ඉඩකඩ ඉතා ඉහළය.

‍එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප පක්ෂය හා පාක්ෂිකයන් බේරාගත් ලෙසම ඒ දරුණු ව්‍යසනයෙන් ශ්‍රී ලංකාව ද බේරා ගන්නා ලදී.

ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අපට එරෙහි වාර්තාව ඉවත් කර ගන්නා ලදී.

ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, යු‍රෝපය හා ඉන්දියාව නැවත අපේ විශ්වාසවන්ත මිතුරන් බවට පත්කර ගැනීමට ද ජනාධිපතිවරයා ශක්තිමත් විය.

මීට අමතරව අප පක්ෂයේ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් සතුවූ ආඥාදායක, අත්තනෝමතික බලතල 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අතහරිමින් බලය අඩු කරගත් ලෝකයේ පළමු විධායක ජනාධිපති ලෙස ලෝක ඉතිහාසයට එකතුවිය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ හා ජනාධිපති මන්දිරයෙත් වියදම් 90% කින් කපාහරිමින් නාස්තිය, දූෂණය නතර කරන ආකාරය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීය.

ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම් සොරකම පිළිබඳ තමන්ගේම රජයේ අයට එරෙහිව ද පරීක්ෂණ කටයුතු ආරම්භ කරමින් හොරකම, දූෂණය ඉදිරියේ කිසිවෙකුට තමාගෙන් සමාවක් නැති බව ලෝකයටම ප්‍රදර්ශනය කළේය.

වරාය නගර ව්‍යාපෘතිය, හම්බන්තොට ගිවිසුම ඇතුළු රජයේ සියලු කටයුතුවලදී රටට හා ජනතාවට අහිතකර කිසිවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉඩ තැබුවේ නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපේ මව්බිමටත්, ජනතාවටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් දක්වන ආදරය, කරුණාව හා භක්තිය වෙනුවෙන් ද, එතුමාගේ සරල, සාමාන්‍ය, ආදර්ශමත් ජීවන චර්යාවට ද, දිවා රාත්‍රී වෙහෙස නොබලා රටට හා ජනතාව වෙනුවෙන් කරන කැපවීම වෙනුවෙන් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන ජාතික සම්මේලනය අප පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂයේත්, ශ්‍රී ලාංකිකයන්ගේත් ගෞරව ප්‍රණාමය හෘදයාංගමව හා භක්ත්‍යාදරයෙන් පුදකර සිටිමු.

ස්වර්ණා විජේකෝන්, රක්ෂණ ශ්‍රියන්ත, උපාලි කරුණාරත්න 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...