ජනපතිගේ සභාපතිත්වය SLFPයට ශක්තියක් වුණා | දිනමිණ

ජනපතිගේ සභාපතිත්වය SLFPයට ශක්තියක් වුණා

මහ ලේකම් දුමින්ද දිසානායක

ලබන වර්ෂයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 67 වන සංවත්සරය පවත්වනුයේ ‘රටම හරි අතට‘ යනුවෙන් බව එහි මහා ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිවැරදි නායකත්වය දෙමින් පක්ෂයට ශක්තිමක්ව ඉදිරියට රැගෙන යාම පිළිබඳව ස්තුතිය පුදකරන බවද 2021 දක්වා රටේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවද ඇමැතිවරයා කීය.

දුමින්ද දිසානායක ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ(09) කොළඹ කැම්බල් පිටියේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරයට සහභාගි වෙමිණි. ‘ ජන බලය හරි අතය‘ යනුවෙන් මෙය පැවැත්විණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති දුමින්ද දිසානායක-

අපගේ මෙම සංවත්සරයට සුබ පැතීම සඳහා පක්ෂ විශාල ගණනාවක නායකයො මේ අවස්ථාවට සහභාගි වෙනවා. ඒ වගේම මේ අවස්ථාව සඳහා රටේ සෑම දිසාවකින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂියො අතිවිශාල සංඛ්‍යාවක් සහභාගි වෙනවා. මොවුන් රටේ තිබෙන සියලු ආගම්වලට, ජාතීන්වලට අයත්. ඒ වගේම මෙම ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතා ආදරය කරන පිරිසක් ලෙස හඳුන්වන්න පුළුවන්.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වූ අවස්ථාවේ පටන් පක්ෂය අඩුපාඩු හදා ගන්නා පක්ෂයක් බවට පත්වුණා. එමෙන්ම වර්තමානයට හා අනාගතයට ගැළපෙන පක්ෂයක් බවට පත් වුණා. දැන් නැවත සියලු බලවේගයන් පක්ෂය වටා එක්රැස් වෙමින් සිටිනවා. ඕනෑම රට වැසියෙකුට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්විය හැකියි. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් මෙම පක්ෂය නිර්මාණය කළේ සියලු ජාතීන්වල, සියලු ආගම්වල ජනතාව සඳහායි.

65 වන සංවත්සරය අප කුරුණෑගල පැවැත්වූවා. එහිදී අපි කීවෙ පක්ෂය හරි අතට කියා. මෙවර අප 66වන සංවත්සරය පවත්වන්නෙ ජන බලය හරි අතට කියා. ලබන වර්ෂයේ 67 වන සංවත්සරය අප පවත්වන්නෙ රටම හරි අතට කියායි.

ඉදිරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් අප මැතිවරණ ජයග්‍රහණය කරනවා. මේ වන විට ජනාධිපතිතුමාගේ උපදෙස් මත පක්ෂය ප්‍රතිසංවිධානය වෙමින් ඉදිරියට නිවැරදි මාවතේ ගමන් කරනවා. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පූර්ණ සහයෝගය ජනාධිපතිවරයාට ලබා දෙනවා. 2021 දක්වා මේ රටේ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අති විශාල ශක්තියක් තිබෙන බවද මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මෙහි රැස්වී සිටින අති විශාල ජනතාවගෙන් ඒ බව පෙනෙනවා.

අප අතීතයේ පක්ෂ ලෙස බැණ ගත්තා. ගහ ගත්තා. අතපය කඩා ගත්තා. වර්තමාන සමාජය මේවාට කැමැති නැහැ. උගත් තරුණ පරපුර කැමැති ප්‍රතිපත්තිමය දේශපාලනයට. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තරුණයන්ට නිවැරදි දේශපාලන දැක්මක් ඇතිකර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා-

ජන බලය හරි අතට යැවීමේ සාර්ථකත්වය කැම්බල් පිටියෙන් අපට අද පෙනෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතීතය අපගේ සාමාජිකයින් සැවොම දැනගත යුතුයි. මෙම පක්ෂය සිංහල ජනතාවගේ පක්ෂයක් පමණක් නොවෙයි. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් එදා මෙම පක්ෂය නිර්මාණය කළේ කිසිදු ජාතිවාදයකින් තොරවයි. ජනතාවගේ හදවත් ආකර්ෂණය කළ පක්ෂයක් බවට පත් කළා. ඒ වගේම මේ රටේ විශාල සමාජ පරිවර්තනයක් ඇති කළා. ලෝකයේ පැවැති සමාජ, ආර්ථික රටාවන් හදුනාගනිමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින් සමාජවාදී රටවල් සමඟ එක්වෙලා කර්මාන්ත ගණනාවක් ඇතිකළා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ කෘෂිකර්මය පෙරට ගෙන ආවා.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම පිළිබඳව බොහෝ දෙනකුගෙන් එදා විවේචන එල්ල වුණා. මම නම් එය හරි දෙයක් කියා සිතනවා. එදා තමයි ලෙන්දොර බින්දෙ. මේ නිසා ගමේ දුප්පත් දරුවන් විශ්වවිද්‍යාලයට ගියා. ඔවුන් දොස්තරවරුන්, ඉංජිනේරුවන් වුණා. මේ තත්ත්වය රටේ ඇතිවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පිං සිදු වෙන්න. මෙවැනි සුවිශේෂි සමාජ පරිවර්තනයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකර තිබෙනවා. ෆේස් බුක්, වෙබ් අඩවි භාවිත කරන තරුණ පරපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය නිවැරදි ඉතිහාස කතාව දැන ගත යුතුයි. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට තුළ විවිධ පර්වර්තන ඇතිකරමින් තරුණ පරපුර වෙනුවෙන් කළ සේවය ඔවුන් දැන ගත යුතුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන් මඟ දෙස බැලීමේදී එය පැමිණියේ ඉතා දුෂ්කර ගමන් මාර්ගයක බව ඕනෑම පුද්ගලයකුට වටහා ගත හැකියි. මෙහි නායකයන් ඝාතනයට ලක් වුණා. මෙහි නායකයන්ට එරෙහිව හමුදා කුමන්ත්‍රණ ඇතිවුණා. නායකයන් බලයෙන් පහ කිරීමට විවිධ ප්‍රතිගාමී බලවේගයන් ක්‍රියා කළා. පක්ෂය තුළම සිටි සාමාජිකයන් පක්ෂය දෙකඩ කරන්න උත්සාහ කළා. නැක්සලයිට් ආදී විවිධ චෝදනා කරමින් සාමාජිකයන් සිරගත කිරීම් සිදුකළා. නමුත් ඒ සියලු බලවේග ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විසින් ව්‍යර්ථ කරනු ලැබුවා. පරාජය කළා. සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලවත් මෙම පක්ෂය විනාශ කරන්න නොහැකි වුණා.

ඡායාරූප - සුලෝචන ගමගේ, සුදත් මලවීර

නව අදහස දක්වන්න