කිසිම රණවිරුවකුට අත තියන්න ලොව කිසිවකුට ඉඩතබන්නේ නෑ | දිනමිණ

කිසිම රණවිරුවකුට අත තියන්න ලොව කිසිවකුට ඉඩතබන්නේ නෑ

 

සම්මුතියෙන් නව දේශපාලන සංස්කෘතියක් බිහි වුණා

* මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාව ජනවාර්ගික සහයෝගීතාව තහවුරු කළා
* රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ලෝක නායකයන්ගේ සහාය
* ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළා
* යුද විරුවන්ගේ අභිමානය තහවුරු කරනවා

ශ්‍රීලනිප 66 වැනි සංවත්සරයේ දී ජනපති කියයි

එල්.ටී.ටී.ඊ. මුදල් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධානවල අතකොලුවක් වී කිසිදු අවස්ථාවක වීරෝදාර රණවිරුවන් පාවා නොදෙන බවත් හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට පමණක් නොව මෙරට කිසිවකුට හෝ අත තැබීමට ලෝකයේ කිසිවකුට තමා ඉඩ නොතබන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ(3) බොරැල්ල කැම්බල් පිටියේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වන සංවත්සරය අමතමින් අවධාරණය කළේය. ජාත්‍යන්තරය හමුවේ කුමන ආකාරයේ බලපෑම් අභියෝග ආවත් මේ රට නිදහස් කරගැනීමට කටයුතු කළ රණවිරුවන් ජාත්‍යන්තරය හමුවේ ආරක්ෂා කිරීමේ මූලික කාර්යය ඉටුකර අවසන් බවත් ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් එල්ලවී තිබූ චෝදනාවලින් ඔවුන් බේරාගෙන අවසන් බවත් ජනාධිපතිතුමන් කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66වැනි සංවත්සර සම්මේලනය පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (3) බොරැල්ල කැම්බල් පිටියේ දී විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරු, ආසන සංවිධායකවරු ඇතුළුව රටපුරා පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිති, ආසන බලමණ්ඩල නියෝජනය කරමින් මෙම පිරිස කැම්බල්පිටියට පැමිණ සිටියහ.

එමෙන්ම තමන් සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවූයේ සංගීත පුටු තරගයකට ඉදිරිපත්වීමට හෝ විනෝදයකට නොවන බව ද 66 වෙනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන්ම දිනය දේශප්‍රේමීන් හා ජාති හිතෛශීන් සමඟින් සැමරීමට ලැබීම පිළිබඳ තමා සතුටු වන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස ශක්තිමත් කරනවා සේම සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, ධීවර, රණවිරු සියලු බලවේග එක්වූ ශක්තිමත් පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගොඩනඟන බව ද ජනාධිපතිතුමා මෙහි දී අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උගතුන්ගෙන් මෙන්ම බද්ධිමතුන්ගෙන් සැදුම් ලත් පක්ෂයක් විය යුතුවා මෙන්ම ආගමික නායකයන්ගේ උපදෙස් සහ අනුශාසනා අනුව කටයුතු කරන, එසේම බණ්ඩාරනායක මැතිතුමා සහ මැතිණිය ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන දේශපේ‍්‍රමි, ජනතාවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස ගොඩනැගිය යුතු බව ද ජනාධිපතිතුමා මෙහි දී අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ඇති බවට අද ඇතැමුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චෝදනා කළ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව සම්මුතිවාදී ආණ්ඩුවේ ගමන් මඟ ආරම්භ නොකළේ නම් ආර්ථික සම්බාධක මෙන්ම ජාත්‍යන්තරයෙන් එල්ලවූ චෝදනාවලට රටක් ලෙස අපට මුහුණදීමට නොහැකි වන බව ද ජනාධිපතිතුමා මෙහි දී අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂය මේ රටේ ජනාධිපති ධූරය සඳහා තෝරාගනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාවීම හේතුවෙන් එම සම්මුතිවාදී ආණ්ඩුවට වඩා සහයෝගීතා ගමනක් යාමට හැකිවූ බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සර උත්සවයට සහභාගීවන ලෙස සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා පත් යොමු කළ විට එක්සත් ජාතික පක්ෂය සමඟ සිටින තාක් කල් පක්ෂය සමඟ එක් නොවන බවට නිකුත් කර තිබූ ප්‍රවෘත්ති නිවේදනය පිළිබඳ ද මෙහි දී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ රටක් අභියෝගවලට මුහුණදුන් විට එම අභියෝගවලින් රට නිදහස් කර ගනිමින් රට ඉදිරියට ගෙන යාම සඳහා දේශපාලන, ජාති, ආගම්, භාෂා බේදයකින් තොරව සියලුදෙනා එක්වූ බවට ලෝක ඉතිහාසයේ සාක්ෂි සාධක රැසක් ඇති බවයි.

දූෂණය, වංචාව, අක්‍රමිකතාව සහ පවුල්වාදය දේශපාලනයෙන් ඉවත්විය යුතු අතර බලය, බලය ශක්තිමත් කිරීම සඳහා නොව රටේ සහ ජනතාවගේ යහපත සඳහා භාවිත කළයුතු බවත්, බලයට පත්වීම සහ බලයෙන් ඉවත්වීම සෑම විටම ජනතා අභිලාසය අනුව සිදුවිය යුතු බවත් මෙහි දී සඳහන් කළ ජනාධිපතිතුමා මන්ත්‍රීවරයෙක්, ජනාධිපතිවරයෙක් කිසිසේත් බලයේ සාධකය නොවන අතර බලයේ ප්‍රධාන සාධකය පොදු මහජනතාව බව ද කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසය පුරා පැමිණියේ දුෂ්කර ගමනක් බව ද සිහිපත් කළ ජනාධිපතිතුමා එය අනාගත ජයග්‍රහණය කරා සූදානම් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙන යාම සඳහා ඒකරාශිවන ලෙස තමා සියලු පාක්ෂිකයන්ට ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මින් සහ හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම මැති ඇමැතිවරු සහ පාක්ෂිකයන් විශාල පිරිසක් මීට එක්ව සිටියහ.

ස්වර්ණා විජේකෝන්, රක්ෂණ ශ්‍රියන්ත සහ උපාලි කරුණාරත්න

  

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...