සිරිබරගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට | දිනමිණ

සිරිබරගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට

බෞද්ධ කතාවලට අනුව වසර හතයි මාස හතයි දින හතක් මව් කුස තුළ සිටීමට සීවලී මහ රහතන් වහන්සේට සිදුවිය. ඒ පෙර ආත්මයක කළ පවක විපාක දීමකි. අප මේ කතා කරන සිරිබරගම ආදර්ශ ගම්මානයද මහත් විලි රුදාවකින් පසු බිහි කළ දරුවෙක් මෙන් ජනතා අයිතියට පත්කිරීමට මාස විසි දෙකක කාලයක් ගතවිය. ඊටද යම් බලපෑමක් සිදුවූවා දැයි සිතේ.

කෙසේ වෙතත් මෙම ගම්මානය ඉදිකිරීමට මුල්ගල් තැබූ අවස්ථාවද කිසිවිටෙකත් අමතක නොවන්නේය. එදිනට ගම්මාන දෙකකට මුල්ගල් තැබීමට නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබුණ ද සොබාදහම අකාරුණික වී නොනවතමින් ඇද හැලෙන වැස්ස නිසා එම ගම්මාන දෙකම මඩ ගොහොරුවක් බවට පත්ව තිබිණ. අවසන් මොහොතේ එක් ගම්මානයක මුල්ගල් තැබීම පසු දිනයට නියම කරමින් සිරිබරගම ආදර්ශ ගම්මානයට මුල්ගල් තැබීමට ඉදිරි පැය භාගයක් තුළ පැමිණෙන බව දැන්විය.

එහෙත් අහස කලුවර කරමින් වැස්ස නැවත තදින් පටන් ගත්හ. අප අහසට ශාප කරමින් උත්සව කටයුතු පවත්වාගෙන යාමට සෙවිලි තහඩු තබා කුඩා ඉඩ කඩක් සකස් කර ගත්ත ද එම ස්ථානයට කෙසේවත් සමීප වීමට නොහැකි වන පරිදි එය මඩ ගොහොරුවක් වී තිබුණි. යම් අයෙක් එහි අඩිය තබා ඊළඟ අඩිය ඉදිරියට තැබීමට පා ඔසවනවිට කිලෝ දෙක තුනක මඩ පස් තට්ටුවක් සමඟ පාවහන්වල එතෙන්නේය. බෞද්ධ කතාවලට අනුව සුමේධ තවුසාගේ කතාව මෙහිලා සිහියට නැගේ. එහෙත් නියත විවරණ ලබන කෙනෙක් එහි සිටියේ නැත.

මේ නිසා අසල තිබූ වී මෝලකින් දහයියා කුඩු ගෝනි කිහිපයක්ම ගෙනැවිත් හලා ප්‍රවිෂ්ට වීමේ මාර්ගය සකස් කර ගත්හ. එම සිදුවීමත් සමඟ තවත් අකරතැබ්බයකට මුහුණදීමට සිදුවිය. මෙතෙක් උත්සවය පැවැත්වීමට සකස් කර ගත් ස්ථානයේ වහලට දමා තිබූ සියලුම සෙවිලි තහඩු අනපේක්ෂිතව පැමිණි මහා සුළඟකින් තහඩු ඈතට විසිවී ගියේය.

නැවත එම තහඩු එකලස් කර ගනිමින් ස්ථානය සකස් කර ගත් අතර කිසිදු අඩුපාඩුවක් සිදුනොවූ අයුරින් මුල් ගල් තැබීමේ උත්සව අවස්ථාව මහත් අභිමානවත් අයුරින් සැමරූහ.

කෙසේ වෙතත් මේ වනවිට උදාගම් 40ක් ජනතා අයිතියට පැවරී ඇති අතර උදාගම් 446ක කටයුතු රටපුරා ක්‍රියාත්මක වෙමින් පවතී. ඉදිරි දෙවසරක කාලය තුළ ආදර්ශ ගම්මාන 2500 ක් ඉදිකිරීමට නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සැලසුම් කර ඇත. නමුත් සිරිබරගම ආදර්ශ ගම්මානය අනුපිළිවෙළට අනුව යමින් පළමු උදාගම්මාන 10 තුළ නිමවීමට තිබිණ. එහෙත් යම් යම් හේතුකාරණා මත අනපේක්ෂිත අයුරින් පමා විය.

කෙසේ වෙතත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතා අයිතියට පත් වන 16 වන ආදර්ශ ගම්මානය වශයෙන් සිරිබරගම සනිටුහන් වන්නේය.

එහෙත් එහි ඉදිවූ නිවාස 25 තුළ විසූ යම් යම් අයගේ පටු දේශපාලනයත් ශ්‍රම දායකත්වයට වඩා රජයෙන් සියලු දේ නිකම්ම ලබා ගැනීමේ මානසිකත්වයත් පමාවීමට වෙසෙසින් බලපෑහ. සමහර අවස්ථාවන්හි ඉඩම්ලාභියා නිවස ඉදිකිරීමට අත්තිවාරම් කැපීමට ලණු ඇද තිබූ අවස්ථාවන්හි යම් යම් අය තමන්ට ඉඩමක් නොලැබීමේ කෝපය විඳ දරා ගත්තේ ගසන ලද මායිම් කණු හා ලණු ඉවතට විසි කිරීමෙනි. මෙවැනි කනගාටුදායක සිදුවීම් මෙන්ම සමහර නිවාසලාභීන් කල් මැරුවේ රජයට කඩිනමින් මෙය නිම කර ගැනීමට අවශ්‍යතාවයක් තිබේ නම් රජය විසින්ම එය ඉටුකරනු ඇත යන ආකල්පය ඇතිවය.

මෙම ආදර්ශ ගම්මානය කල් ඇතිව නිම කිරීමේ අරමුණෙන් අධීක්ෂණය කරමින් සත්කාර ‍ෙස්වයේ යෙදුණු කළ එක්තරා ආයතනයක් තම පුද්ගලික මුදල් යොදවමින් සිමෙන්ති බ්ලොක් ගල් වැසිකිළි පෝච්චි හා අනෙකුත් ඉදිකිරීම් කටයුත්තට අවශ්‍ය අනෙකුත් උපාංග ලබාදෙමින් ආධාර උපකාර කළහ. නිවාස පොටි මඟින් කපරාරු කිරීම් කරමින් දායකත්වය ඊට ලබා දුන්හ.

මෙහි ඇති ඉතාමත් අනුවේදනීය කතාව වන්නේ එම ආයතනයේ යම් යම් අය එක්ව ශ්‍රමදානයෙන් යුතුව බිත්ති තීන්ත ගෑ අතර ඊට අවශ්‍ය බාල්දියක්වත් පින්සලක්වත් අවම වශයෙන් තීන්ත දියකර ගැනීමට අවශ්‍ය ජලය ලබාදීමටවත් සහායක් සමහර අයගෙන් නොලැබුණු අතර කිසිදු උපකාරයක් නොකර කුසීතව ඔවුන් එදෙස බලමින් සිටියහ.

එමෙන්ම අනු පවුල්වලට නිවාස හිමිවීම නිසා ඔවුන් මහගෙදර අතහැර දමා නව ජීවන රටාවක් ආරම්භ කිරීමටද ඔවුන් තුළ කැමැත්තක් නොවීය. යම් හෙයකින් මහගෙදරින් වෙන් වුවහොත් එය ඔවුනගේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇතිවන අතර එය වෙසෙසින් තම පොකැට්ටුවට දැනෙන බැවිනි. නමුත් රජයෙන් ණය මුදල කොටස් වශයෙන් ලබාගත් සමහර අය ද එසේ ලබා ගත් මුදල් ඉදිරි ඉදිකිරීම් කටයුත්තට යොදා නොගැනීමද පමාවට වෙසෙසින් බලපෑහ.

එහෙත් මෙවැනි අමිහිරි අසුන්දර සිදුවීම් පැවතිය ද බොහෝ දෙනෙක් තම නිවස ඉදිකිරීමේ කටයුත්ත නියමිත දිනයන්ට පළමුව එම ඉලක්කයන්ට ළඟාවූහ. එහෙත් කුසීත වූවන් එදෙස බලමින් සුසුම් ලෑහ. සිරිබරගම ඉඩම්ලාභීන් බොහෝදෙනෙක් තමන්ට රජයෙන් හිමි වූ කර්කශක ඉඩම් භූමියක් වූවද තම නිවසට අවශ්‍ය පරිදි එළවළු බෝග වවා ගැනීමට සමත් වූවන් මෙන්ම තම ගෙවත්ත අලංකරණය කරගත් අය ද වූහ.

ඔවුන් අහසට බැණ බැණ හෝ පොළවට බැණ බැණ හෝ සිටියේ නැත. ඊට අවශ්‍ය ධෛර්යය හා ශක්තිය මෙන්ම කැපවීම ඔවුන් තුළින් ඉස්මතු විණ.

සෑම ආදර්ශ ගම්මානයක්ම ජනතා අයිතියට පත්වනුයේ පානීය ජලය විදුලිය හා මංමාවත් ඇතුළු ජනතා අවශ්‍යතා සපුරා දීමට හැකිනම් පමණි. ඒ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නියමය විය.

එහෙත් යම්කිසි අවාසනාවකට සිරිබරගමට පානීය ජල ප්‍රශ්නයද ජනතා අයිතියට පත්කිරීමට පමාවීමට වෙසෙසින් බලපෑහ. පළමුව නළ ළිං මඟින් ජලය සැපයීමට අදහස් කළ ද එහි නිවාසවාසීන් තුළ ඊට කැමැත්තක් නොවීය. ‍ෙම් නිසා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සම්බන්ධ කරගෙන පානීය නළ ජලය ලබාදීමට හැකිවිය.

‍කෙසේ වෙතත් මෙසේ ඉදිවන සෑම ආදර්ශ ගම්මානයක් පිළිබඳවම අත්තිවාරමේ සිට ඉදිවීමේ කටයුත්ත හා අනිකුත් අවශ්‍යතා පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම් සෑම සතියකම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් පවත්වනු ඇත.

කෙසේ වෙතත් තම උපන් බිමේ බිම් අඟලකටවත් අයිතියක් උරුමයක් නොමැති පිරිසකට සිරිබරගම නම් ආදර්ශ ගම්මානය මඟින් පර්චස් 25ක භූමියක උරුමකරුවන් වූහ. අධිවේගී මාර්ගයක් ජාත්‍යන්තර වරායක් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ආසන්නව සිරිබරගම ආදර්ශ ගම්මානය මත්තල පිහිටා ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතා අයිතියට පත්වන 16 වන ආදර්ශ ගම්මානය සිරිබරගම වන්නේය.

නුදුරු අනාගතයේ දී ග්‍රාමීය තත්ත්වයෙන් වාණිජ නගරයකට ඉහළට ඇදෙන සිරිබරගම ආදර්ශ ගම්මානයේ භූමියේ වටිනාකම නිතැතින් ම ඉහළ අගයක් ගන්නේය. අද එහි සැබෑ උරුමකරුවන් බවට පත්වන ඔවුන් හෙට දිනයේ සැබෑම වාසනාවන්තයෝය. මෙම ජනතා අයිතියට පත්වීමත් සමඟ මෙම ලියුම්කරුද ඉන් සියුම් සතුටක් ලබන්නේය.

අමල් වික්‍රමතුංග

නව අදහස දක්වන්න