ශ්‍රී.ල.නි.පය ඉර හද පවතින තුරු පවතින පක්ෂය | දිනමිණ

ශ්‍රී.ල.නි.පය ඉර හද පවතින තුරු පවතින පක්ෂය

දේශපාලන පක්ෂයක උපත ඕපපාතික හෝ ස්වයංජාත හෝ නොවේ. පක්ෂයක් බිහිවන්නේ ඉතා දිගු කාලීන හා සංකීර්ණ සමාජ ආර්ථික හා දේශපාලනික සංසිද්ධි මාලාවක ,ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස සමාන අදහස් දැක්මක් මෙන්ම උදාර අරමුණු වලින් පිරිපුන් පිරිසකගේ මූලිකත්වයෙනි.

1946 වසරේ මුල් වකවානුව වන විට ලාංකික දේශපාලනයේ ගාමක බලවේගය වූ ලංකා ජාතික සංගමයට එවකටරට තුල මොරා නැගෙමින් තිබූ දේශපාලන සමාජීය මෙන්ම ආර්ථික නැඹුරුවීම් මධ්‍ය යේ තවදුරටත් සමස්ත ලාංකික ප්‍රවාහයට නායකත්වය සැපයීමට අපහසු බව විචක්ෂණ දේශපාලන දැක්මක් හා බුද්ධියකින් යුතුවූ පසුකාලීනව නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති වරම් ලබන ඩී.එස්. සේනානායකයන්ට අවබෝධවිය.

සියළු ජනකොටස්වලට සෙවනදිය හැකි දේශපාලන ව්‍යාපාරයක් බිහි කර ගැනීමේ උත්සාහයේදී ජාතික සංගමයට ආදේශකයක් ලෙස සෑම දේශපාලන බලවේගයකටම නව පක්ෂයට එකතු වීමට ඉඩහසර ලැබෙන අයුරින් සිය ව්‍යාපෘතිය දියත් කිරීමට ඩී.එස් ඇතුළු දේශපාලන වශයෙන් මුහුකුරාගිය නායකයෝ මැනවින් වග බලාගත්හ. මෙහිදි ඒවන විට සිංහල මහාසභාවට නායකත්වය සැපයු එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරණායක ශ්‍රීමතානන්ද සේනානායකයන්ගේ අදහසට එකගත්වය පළ කිරීමද සුවිශේෂී දේශපාලන ආදර්ශයක් විය.

ඩී.එස්.සේනානායකගේ අභිමතය අනුව එක්සත් ජාතික පක්ෂය යනුවෙන් බිහිවන නව දේශපාලන පක්ෂය එතැන් පටන් ඉතා කෙටි කාලයක් තුළ මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂය බවට පත්වන්නේය. ඩී.එස් එහි සභාපතිවරයා වශයේන් පත්වන අතර එස්.ඩබ්.ආර්.ඩී. උප සභාපතිවරයෙක් ලෙස පත්වන්නේය.

පැවති දේශපාලන ආර්ථික හා සමාජීය යථාරථයන්ට අනුගතව බිහිවන එම පක්ෂය ඉතා සිමිත කාලයක් තුළදි ලංකාවේ ප්‍රබලතම දේශපාලන ප්‍රවාහය ලෙස පත්වන අතර ශ්‍රී ලංකාවට නිදහස උදාවන්නේද එක්සත් ජාතික පක්ෂය පාලන සමයේදීය.

මුලදී ශ්‍රී ලාංකික දේශපාලන ගමන්මගේ එ.ජා.ප යට විකල්පීය ලෙස ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක කලඑළි දැක්මක් දක්නට නොවු අතර එතැන් පටන් මූලික දේශපාලන ධාරාව විකාශණය වූයේ එ.ජා.ප හා ඊට විකල්ප දේශපාලන ප්‍රවාහයන් වශයෙනි. නමුත් ශ්‍රි ලාංකික දේශපාලන අවකාශයේ ලංකා සමසමාජ පක්ෂය හා ලංකා කොමුයුනිස්ට් පක්ෂ ඇතුළු වාමාංශික පක්ෂ කිහිපයක් එක්සත් ජාතික පක්ෂයට විකල්ප දේශපාලනයක යෙදුනද ඊට විකල්ප ප්‍රධාන ශක්තිමත් දේශපාලන ධාරාවක් නොපැවතිණ. කෙසේ නමුත් මේ සියළුම වාමාංශික පක්ෂ “පොදු සතුරා” යන සංකල්පය යටතේ පසු කාලීනව කදවුරුගත වුවුද 1951 දී එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායකයන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගන්නා තුරුම එ.ජා යට විකල්පීය ලෙස ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට ඉහත කිසිදු දේශපාලන බලවේගයකට හැකිවන්නේ නැත.

මේවන විට රට තුළ මෝදුවෙම්න් තිබු දේශපාලන සමාජයීය, ආර්ථික හා සංස්කෘතිකමය මෙන්ම අධ්‍යාත්මික යථාර්තය විසින් ඉල්ලා සිටි විප්ලවීය පෙරළියට මුල පුරමින් 1951 සැප්තැම්බර් 20 ඉරුදින කොලඹ නගරශාලාවේදී ඇස්.ඩබ්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මංගල මහා සභාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවිය.

එවකට ලාංකික දේශපාලනයේ නියැළී සිටි බර්නාඩ් අලුවිහාරේ, සී.ආර්. බෙලිගම්මන, ජෝර්ජ් ආර් ද සිල්වා, සී.පී ද සිල්වා, ඇන්තනි ජේ.ඇම්. ද සිල්වා,පී. ද කුලරත්න, ස්ටැන්ලිද සොයිසා , බාන්ස් රත්වත්තේ, තමරාකුමාරි ඉලංගරත්න, ඩී.ඒ.රාජපක්ෂ, ඩබ්.ඒ.ඩී රාමනායක, ඒ.පී. ජයසූරිය, ඒෆ්.ආර් ජයසූරිය, ඪි.එම් පණ්ඩිත ගුණවර්ධන, ඩී.ඒ.සමරසිංහ, එච්. නිශ්ශංක, ටී.බී.තෙන්නකෝන්, බද්යුද්දීන් මහමුද්, ඒ.එම් .මාකර්, සී.ඒ.එස්.මරික්කාර්, එම්.ස්වාමිනාදන්, එස්. නඩරාජා ආදී කිර්තිමත් පෞරුෂයන් රැසකගේ ඒකාබද්ධ කැදවීමකින් පැවැත්වු එම සම්මේලනයේදී පිහිටුවාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක නායකයා ලෙස ඇස්.ඩබ්. ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතානන් පත්වූ අතර ලේකම් ලෙස බර්නාඩ් අළුවිහාරේ මහතා පොදු සම්මතයෙන් පත්කෙරිණ. ප්‍රචාරක ලේකම් ලෙස එච්. ශ්‍රී නිශ්සංක මහතා පත්කරගත් අතර එදිනම පක්ෂයේ නිල සලකුණ ලෙස අත ලකුණත් පක්ෂ වර්ණය ලෙස නිල් පාටත් ලෙස තීන්දු කෙරිණ.

එම වකවානුව තුල වර්ධනය වෙමින් පැවතුන දේශපාලන යථාර්තය විසින් ඉල්ලා සිටි අන්ත වාමාංශයටත් දක්ෂිණ අන්තවාදයටත් විකල්ප වූ දේශජ වූ මැදුම් පිළවතක් අනුගමනය කරන පීඩිත ජනකොට්ඨාශයන්ගේ අපේක්ෂාවන් මූර්තිමත් කරන ශ්‍රී ලාංකික ජාතියේ අපේක්ෂාව වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එසේ බිහිවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට දේශපාලන සන්දර්භය තුළ තිර ලෙස පෝෂණය වන්නේ එහි ආරම්භයේ සිටම පැහැදිලි දැක්මක් වැඩපිළිවලක් එයට නායකත්වය සැපයු සුජාත නායකයන් සතු වූ නිසාය.

“ මේ අභිනව පක්ෂය ගැන යමක් කිව යුතුය. අපේ පක්ෂය සමාජවාදී ප්‍රජාතන්ත්‍රි පක්ෂයක් බවත් සියල්ලටම සාධාරණය වන අතර දුගීව වෙසෙන බහුතර ජනතාවට අප රටේ ජාතික ධනයෙන් දිය හැකි උසස්ම ජීවන තත්වයන් සැලසීම අපේ පරමාර්ථය වන හෙයින් එය සමාජවාදී වන්නේය” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරමින් බණ්ඩාරනායක මහතා විසින් සිදු කළ උක්ත ප්‍රකාශය නව පක්ෂයේ ගමන්මග සැකෙවින් හදුන්වාදීමකි.

ආරම්භක සාමාජිකයෙකු වූ ටී.බී.ඉලංගරත්නයන් “සිය යුගයක ගමන” ග්‍රන්ථයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදින්වූයේ පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක ඒකාධිපති බලය නොඉවසන ප්‍රජාතන්ත්‍රීය මහජන පක්ෂයක් ලෙසය.

මීට වසර 67 කට එපිටදී වුව අද පවතින දේශපාලන වටපිටාවට හාත්පසින්ම වෙනස් ජාත්‍යන්තර දේශපාලන පරිසරයක් තුළ නව පක්ෂය පිහිටුවාලීමේ දී නායකත්වය ලාබාදුන් බණ්ඩාරනායක ශ්‍රීමතානන් ඇතුළු පක්ෂයේ පරිණත නායකයෝ පක්ෂයේ ඉදිරි අනාගතයටත් මනාව ගැලපෙන සේ සමස්ත ජගත් ප්‍රජාවම දිනාගත හැකි ආකාරයේ සවිමත් තිරසාර විදේශ ප්‍රතිපත්තියක් ආරම්භයේදිම පක්ෂයට හදුන්වා දුන්හ.

.මැද මාවතේ දේශපාලන පක්ෂයක් ලෙසින් ඇරඹි ශ්‍රී.ල.නිපය පක්ෂයේ නිර්මාතෘ හා නායක ඇස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ දිරිමත් නායකත්වය යටතේ 1956 වන විටසග වෙද ගුරු කම්කරු පංච මහා බලවේ ගයන්ගෙන් සවිමත් ශ්‍රී ලංකාවේ දැවැන්තම දේශපාලන බලවේගය බවට පත්විය. පක්ෂයේ නිර්මාතෘවරුන් පක්ෂයට ලබාදුන් ශක්තිමත් හා නිවරදි නායකත්වය පක්ෂයට මෙම ජවසම්පන්න ගමන්මග හෙළිපෙහෙළි කලේය.

එවකට එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමතිවරයෙකු වු එස්.ඩබ්. ආර්.ඩී බණ්ඩාරනායක මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන්ගැනීමේ පෙරළිකාර දේශපාලන තීරණයේ ප්‍රථිඵලයක් ලෙස බිහිවු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළමුවෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණදුන්නේ 1952 වසරේදීය. එම මැතිවරණයේ දී පක්ෂය ආසන 9ක් දිනාගත් අතර බණ්ඩාරනායක මහතා විපක්ෂ නායක තනතුරට පත්විය

ආරම්භක මැතිවරණ ජයග්‍රහණයෙන් ලත් උද්දාමයෙන් යුතුව 1956 පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය නායකත්වය යටතේ මහජන එක්සත් පෙරමුණ (ම.එ.පෙ) නමින් වන නව පෙරමුණක් පිහිටුවා ගනු ලබන්නේ එවකට ඉතා ප්‍රලබ එක්සත් ජාතික පක්ෂයට සාර්ථකව මුහුණ දීම සදහාය. එම නව දේශපාලන ව්‍යාපාරයේ අනෙකුත් පාර්ශව කරුවන් වූයේ සිංහල භාෂා පෙරමුණ හා විප්ලවකාරි ලංකා සම සමාජ පක්ෂයයි. මෙම දේශපාලන ව්‍යාපාරයේ එක් ප්‍රධාන සටන් පාඨයක් වුයේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමයි.

මෙම මැතිවරණයේදී දක්නට ලැබුණ සුවිශේෂි සංසිද්ධියක් වුයේ මහජන එක්සත් පෙරමුණ එවකට පැවති ප්‍රබලම වාමාංශික පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂය සමග නිතරග ගිවිසුමකට එළඹීමයි.

එම මැතිවරණයේදි මහජන එක්සත් පෙරමුණ ආසන 51 ක් දිනාගනිමින් විශිෂ්ඨ ජයක් අතකරගත් අතර ලංකා සම සමාජ පක්ෂය ආසන 14 ක් හිමිකරගත්තේය.

බණ්ඩාරනායක රජය සැබවින්ම පොදු ජනතාවගේ රජයක් විය. පක්ෂය වටා රොක්වු පංච මහා බලවේගයේ අපේක්ෂාවන් සපුරාලමින් ජනතා සුබ සිද්ධියට හේතු වූ නැවුම් සේවාවන් රාශියක් වහ වහා දියත් කලේය. 2500 සම්බුද්ධ ජයන්තිය සැමරුම මහත් උත්කර්ෂයෙන් යුතුව සමරනු ලැබීය. පොරොන්දුවු පරිදි විදේශ කදවුරු ජනතාව සතුවිය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කරමින් දෙමළ භාෂා විශේෂ විධි විධාන පනත ක්‍රියාත්මක කරමින් දෙමළ භාෂාව කතාකරන ජනතාවට ද සාධාරණය ඉටු කළේය. අද ගොවියා ආරක්ෂාකරමින් කුඹුරු පනත නීතිගත කෙරුණි.

දේශිය කලාකරුවන්ට අතහිත දීමටත් දේශිය කලාවන් නගා සිටුවීම සදහාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව පිහිටුවා ලනු ලැබිය. වයස අවුරුදු 18 සම්පූර්ණ කල යෞවන යෞවනියන්ට සර්ව ජන ඡන්ද බලය හිමිකර දෙනු ලැබීය. වාරාය හා බස් ජනසතු කරමින් ජනාතවට අතිශය සංවේදී සේවාවන් විප්ලවීය අයුරින් ජනතාකරණය කලේය.

සමාජවාදී නැඹුරුවකින් හෙබි බණ්ඩාරනායක මහතා කම්කරු අයිතීන් රැසක් දිනා දෙමින් මැයි දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කලේය.

එහෙත් මහජන එක්සත් පෙරමුණු රජයේ ප්‍රගතිශීලි ගමන නොඉවසු ප්‍රතිවිරුද්ධ බලවේග බණ්ඩාරනායක මහතාගේ ගමන් මග අහුරා දැමීමට හැකි හැම සැහැසිකමක්ම කලේය. ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා නිදහස අවභාවිතයේ යොදවමින් විරුද්ධ පාක්ෂිකයින් විසින් විවිධ වර්ජන රැළි නිර්මාණය කොට දියත් කලේය. එදත් අද මෙන්ම වර්ජනයක් පසු පස තවත් වර්ජනයක් පැවැත්වුණි. වර්ජනයක් නැති දවසක් නැති දවසක් නොවීය.

ප්‍රතිගාමීත්වයේ අනවරත අවහිර බාධාකිරීම් මධ්‍ය යේ වුවද බණ්ඩාරනායක මහතා ජනතාව වෙනුවෙන් වූ සිය දේශපාලන කැපවීම වඩ වඩාත් දිරිමත් ව ඉදිරියට ගෙනයනු දරගත නොහැකි වු දේශද්‍රෝහි බලවේග එතුමා ඝාතනය කිරීමට සැලසුම් කලේය.

1959 සැප්තැම්බර් 25 වනදා චීවරධාරියකු විසින් බණ්ඩාරනායක මහතාට වෙඩිතබා ඝාතනය කලේ සමස්ත ජාතියම සෝ සයුරේ ගිල්වමිණි.ඊට පසුදින එතුමා සදහටම ජාතියෙන් සමුගත්තේය.

ප්‍රථම වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාල අර්බුදයකට මුහුණ දුන්නේය. මේ තත්වය යටතේ නව අගමැතිවරයා වශයෙන් විජයානන්ද දහනායක මහතා පත්විය. එහෙත් පක්ෂය තුළ සමගිය පවත්වාගැනීමට ඔහු අසමත් විය. අවසානයේ ඔහු ලංකා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක්ද පිහිටුවාගත්තේය.

අර්බුදකාරි තත්වයන් මධ්‍ය යේ වුව 1960 මාර්තු මාසයෙ පැවති වරණයට පක්ෂය මුහුණ දුන්නේය. බණ්ඩාරනායක ඝාතනය හේතුවෙන් පක්ෂයට සානුකම්පිත ඡන්ද ප්‍රමාණයක් ලැබුණද පැවති ඒ මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමිකර ගැනීමට නොහැකි විය. කෙසේ නමුත් අළුතෙන් බිහිවූ එක්සත් ජාතික පක්ෂ රජයද පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවීමෙන් බිදවැටිණ. එනිසා එම වසරේම ජුලි මාසයේදීද නැවතත් මැතිවරණයක් පැවැත්වීමට සිදුවිය.

විවිධ අවුල් වියවුල් මධ්‍ය යේ ආතුරවූ පක්ෂය සුවපත් කිරීමට මහත්වූ අභියෝග රාශියක් මධ්‍ය යේ වුවද ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපත් වූවාය. බොහෝ දෙනා ඇයගේ දේශපාලන දැනුම හා පරිණත භාවය ගැන ප්‍රශ්ණකරද්දී ඇය තුළ වූ නිසග නායකත්ව ගුණයත් බුද්ධියත් ජීවගුණයත් ප්‍රකට කරමින් පක්ෂයට අවශ්‍ය වු නායකත්වය සපයමින් එම මැතිවරණය මෙහයවූ සිරිමාවෝ මැතිණිය ශ්‍රී.ල.නි.ප යට විශිෂ්ඨ ජයක් අත්කරදුන්නාය.

ලොව පළමු කාන්තා අගමැතිණිය වීමේ ගෞරවය දිනා ගත් ඕ තොමෝ ස්වකීය ධුර කාලය තුළ ප්‍රගතිශිලි පියවර රාශියක් ගත්හ. දිවංගත බණ්ඩාරනායක මැතිතුමන්ගේ දේශපාලන දැක්ම හා භාවිතය ඉදිරියටම ගෙන ගිය ඇය පක්ෂය නැවතත් සුවිසල් ජනතා බලවේගයක් බවට පත්කලාය.

බණ්ඩාරනායක මහතාට එරෙහිව ක්‍රියාත්මත වූ එම බලවේගම සිරිමා මැතිණියටත් එරෙහිව අවි අමෝරාගත්තේය. 1962 ජනවාරී මාසයේදි ඇයගේ රජයට එරෙහිව හමුදාවේ හා පොලීසියේ ඉහළ නිළධාරීන් පිරිසක් විසින් දියත් කල හමුදා කුමන්ත්‍රණයට සාර්ථකව මුහුණ දීමට සමත්විය. ඇය එම කුමණ්ත්‍රණයෙන් ගැලවුණි.

කුමණ්ත්‍රණ වලින් අධෛර්යමත් නොවූ ඇය පක්ෂයත් රජයත් රැකගනිමින් 1964 දී ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමග සන්ධාන ගතවූවාය.

කිසිවකු අපේක්ෂා නොකල අන්දමට . පක්ෂයේ ප්‍රබල නායෙකයෙකු වු සී.පී.ද සිල්වා විසින් පක්ෂය කඩාගෙන යාම පක්ෂයට ඔරොත්තු නොදෙන්නක් විය. සී.පී.ද.සිල්වා ප්‍රමුඛ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමත් සමග රාජාසන කතාව පරාජය කිරීමට විපක්ෂයට හැකි වීමෙන් 1964 දෙසැම්බරයේදි ආණ්ඩුව බිදවැටිණ. කෙසේ වුවද සී.පී ද සිල්වා ගේ කල්ලියේ නික්මයාම ප්‍රතිපාක්ෂික බලවේග අපේක්ෂා කල විධියේ තීව්‍ර හානියක් පක්ෂයට සිදුකලේ නැත.

බාධක මැඩගෙන ඉදිරියටම යාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජානගත දේශපාලනයයි. නිවරදි දැක්මක් හා සවිමත් ප්‍රතිපත්ති රාමුවක් ඇති පක්ෂය පුද්ගල සාධක මත කඩාවැටේනේ නැත. 1965 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහිවුවද හත් හවුල් පාලනයක් වූ නිසා වැඩිකල් නොගොස්ම එය අවුලක්ම බවට පත්විය.

පක්ෂ අභ්‍යන්තරයේ වූ අවුල් වියවුල් නිරවුල් කරගනිමින් පක්ෂය නිවරදි මගෙහි මෙහෙවු සිරිමා බණ්ඩාරනායක මැතිනිය 1970 මැතිවරණයට මුහුණ දෙන්නේ නව පෙරමුණකට නායකත්වය දෙමිනි. එම මැතිවරණයට ශ්‍රී.ල.නි.ප, ල.ස.ස.ප. සහ ශ්‍රී. ල.කො.ප එක්ව සමගි පෙරෙමුණ හා එක්ව එම මැතිවරණයට තරග වැදුනි. සමගි පෙරමුණ ආසන 168 නි 116 ක්ම දිනා ගනිමින් 2/3 විශිෂ්ථ මැතිවරණ ජයක් අත්පත්කරගත්තේය. මැතිණිය නැවතත් අගමැතිණිය ලෙස පත්වූවාය.

සමගි පෙරමුණු රජයට ද දේශපාලන අභියෝග වලින් අඩුවක් නොවීය. 1971 ජනාතා විමුක්ති පෙරමුණු කැරැල්ල සිරිමාවේ මැතිණිය මුහුණු දුන් බරපතලම අභියෝගය විය. එම කැරැල්ල මැඩ පැවැත්වීමේ දි ඇය දැක්වූ දේශපාලන පරිණත භාවය හා කෘතහස්තභාවය නිසා ඇය සැමගේ ගෞරවයටත් ආදරයටත් පත්විය.

1972 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් ශ්‍රී ලංකා ජනරජය පිහිටුවීම සමගි පෙරමුණු රජයේ සුවිශේෂී ජයග්‍රහනයකි. 1975 දී ලංකා සම සමාජ පක්ෂය සමගි පෙරමුණෙන් ඉවත්වීම තුළින් ඇතිවූ අර්බුදකාරීතත්වය මැනවින් පාලනයකර ගැනීමට අගමැතිණිය සමත් වූවාය. සෑම අභියෝගයක්ම නිසිලෙස කළමණාකරණය කරගත් ඇය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලය තුළ ඔසවා තබමින් 1976 දී නොබැදි ජාතීන්ගේ සමුළුව කොලඹදි අතිසාර්ථක අයුරින් පැවැත්වීම තුළින්ද ඉමහත් ගෞරවයක් දිනා ගත්තේය.

1977 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා වේදනාකාරි මැතිවරණය පරාජයක්ට මුහුණ දෙන්නේ ලාංකික ප්‍රගතිශිලි බලවේගයන්ගෙ අසමගිකම් නිසාවෙනි. එම මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය ආසන 140 දිනා ගනිමින් 5/6 ක පාර්ලිමේන්තු බලයක් හිමිකරගන්නේය. ශ්‍රී .ල.නි.ප ය ආසන 8 කට බැස්සේය.

විපක්ෂයේ භේද භින්න වීම් හමුවේ 1980 දි බණ්ඩරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය වසර 7කට අහිමිවන්නේය. 1988 දී මැතිණිය යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවුද පක්ෂයේ මෙන්ම අනෙකුත් මිතුරු බලවේගයන්ගේ අසමගිකම් මධ්‍ය යේ ඇය ප්‍රේමදාස මහතාට පරාජය වන්නීය.

සියළු බාධක හා පසුබැසීම් මධ්‍ය යේ වුවද ශ්‍රී ල නි ප ය සිය සුපුරුදු දේශපාලන ජීව ගුණය දක්වමින් පක්ෂයක් ලෙස එහි ගෞරවය හා අභිමානය රැකගන්නේය.

ප්‍රබල එක්සත් ජාතික පක්ෂ පාලන සමය තුළ දුර්මුඛව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සෙසු ප්‍රගතිශීලි බලවේග නැවතත් පිබිදීමට ලක්වන්නේ පොදුජන එක්සත් පෙරමුණ ( පො.එ.පෙ) බිහිවිමත් සමගය. 1993 දී දකුණු පළාත් සභාවේ බලය ලබාගැනීමත් සමගම නැවතත් දේශපාලන ජය මගට අවතීර්ණ වන ශ්‍රී.ල.නි.ප ජයග්‍රහණ කූටප්‍රාප්තිය සිදුවන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය 1994 අගෝස්තු ජනාධිපතිවරණය ජයගැනිමත් සමගය. ඊට පෙර බස්නාහිර පළාතේ මහ ඇමතිවරිය ලෙසද පත්වන ඇය 1994 අගෝස්තු මැතිවරණයෙන්පසු ඇය අගමැතිවරිය ලෙසද කටයුතු කලාය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වය යටතේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව තාක්ෂණයෙන් රට ඉදිරියට ගෙනයාම සදහා විශාල සේවාවන් රැසක් ගෙනගියේය. අධ්‍යාපන ක්ෂේත්‍රයතුළත් කෘෂිකාර්මාන්ත , කර්මාන්ත , සන්නිවේදන, ප්‍රවාහන ආදි ක්ෂේත්‍ර රැසක් තුළින් රට ඉදිරිය කරා ගෙන යාමට පක්ෂය සමත් විය.

එවකට උතුරේ මෝරා නැගෙමින් තිබු බෙදුම්වාදි සන්නද්ධ නැගිටිම ට මුහුණදීම සදහා අපගේ හමුදා ශක්තිමත් කරමින්ම ජාතික ගැටළුවට සාමකාමි විසදුමක් තුළින් දේශපාලන විසදුමක් සදහා ප්‍ර වේශයක් ද ඇය විසින් දරණු ලැබූවද රුදුරු ත්‍රස්තවාදීන් දිගින් දිගටම ආයුධ බලය මතම විශ්වාසය තැබිම නිසා එකී සාම ප්‍රයත්නයන්තුළින් අපේෂිත අරමුණ ජයගැනිමට අපහසු විය.

2001 දී ශ්‍රී.ල.නි.ප ප්‍රධාන පොදු ජන එක්සත් පෙරමුණු පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වූ අතර එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිවන්නේය. 2004 මුලදි පොදු ජන එක්සත් පෙරමුණු හා ජනතා විමුක්ති පෙරමුණ එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය ( එ.ජ.නි.ස) පිහිටුවාගන්නා ලද අතර එම මැතිවරණ පරාජයත් සමග එළඹෙන 2005 ජනාධිපතිරණය සදහා පක්ෂ අපේක්ෂකයා තොරාගැනීමේදි නැවතත් පක්ෂය තුළ මතගැටුමක් ඇතිවන නමුත් පක්ෂයේ බහුතර මතයට ගරු කරමින් චන්ද්‍රිකා මැතිණිය මහින්ද රාජපක්ෂ මහතා ට පක්ෂ නායකත්වය හිමිකර දී එම ජනාධිපති මැතිවරණ යේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කෙරුණි. 2005 නොවැම්බරයේදි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වන්නේය.

මේවන විට සමස්ත ශ්‍රී ලාංකික සමාජයම විනාශය කරා ගෙන ගිය දශක තුනක් තිස්සේ ජන ජීවිතය අවුල්කලා වූත් රණවිරුවන් දහස් ගණනක් බිළිගත්තාවූත් රටේ ඉතා වටිනා ජීවිත මෙන්ම අහිංසක මිනිසුන් දහස් ගණනක් බිලිගත්තාවුත් ලෝකයේ අති භයානක ත්‍රස්තවාදීන් විසින් ජනිත කුරිරු යුද්ධය ශ්‍රී ලංකා මාතාවගෙන් සදහටම තුරන්කිරීමේ ගෞරවය හිමවන්නේ ද මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. එහිදි යුද්ධය යුද්ධයෙන් අවසන් කිරීමේ පාඩම ලොකයාට උගන්වන්නේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යයි.

යුද්ධය නිමා කිරීමේ අතිශය ගෞරවාන්විත ජාතික මෙහෙවර සදහා කෘතවේදී වන ශ්‍රී ලංකික ජනතාව 2010 ජනාධිපතිවරණයේදීද ශ්‍රි.ල.නි.ප. නායක මහින්ද රාජපක්ෂ මහතා දෙවන වරටත් ජනාධිපති තනතුරට පත්කරන්නේය.

නමුත් 2010 දී බලයට පත්වන රජයට ඉතා කෙටි කලක් තුලදි විවිධ චෝදනා එල්ලවන්නට ආරම්භවිම බහුතර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ කණස්සල්ලට හේතුවිය. බණ්ඩරනායකවරුන්ගේ කාලයේ සිට පක්ෂය තුළ පැවති ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවණතාවයන් එන්න එන්නම හීන වන්නට පටන් ගැනීමත්, පක්ෂය තුළ පවුල් හා කණ්ඩායම් වල අධිකාරී ප්‍රවණතාවයන් පැණනැගිමත් පක්ෂයේ සෑම ස්ථරයක් තුළම විශාල කලකිරීමක් මෙන්ම මන්දෝත්සාහි බවක් ඇති කලේය.ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පක්ෂය තුළ දක්නට ලැබුණේ අධිපතිවාදයයි. මෙම තත්වයන් තුළ පාක්ෂිකයන් තුළ කලකිරීම් එන්න එන්නම උත්සන්න විය.

පක්ෂය තුල එවැනි පසුගාමී වර්ධනයන් සිදුවෙමින් පවතාන් අතරතුර අප මව්බිම අතිශය අභියෝගාත්මක වූත් තීරණාත්මක වූත් අතිශය බියකරු අවර සමාජ සංසිද්ධීන් හා ප්‍රවණතා රැසකට අභිමුඛව සිටියේය. දශක තුනකට ආසන්නව පැවතියාවු බිහිසුන බෙදුන්වාදි යුද්ධයේ නිමාවත් සමග අප ජාතිය මුහුණ දුන්නාවු දැවැන්ත අභියෝග කිසිවකට සාර්ථකව මුහුණ දීමට අපි අසමත්ව සිටියෙමු. වසර කිහිපයක් තිස්සේ අපරට තුළ වර්ධනය වෙමින් පැමිණි සියළු ආකාරයේ අර්බුද 2014 අවසන් භාගය හා 2015 මුල් වකවානුව වන විට පිපිරෙන්නට ආසන්නවූ මහා ජාතික අර්බුදයක් සමාජ ආර්ථික හා දේශපාලන ව්‍යසනයක් බවට පත්ව තිබිණ.

යුද්ධයත් සමග වැලළිගිය සියළු ආකාරයේ මිනිස්කම් යලි දල්වනවා වෙනුවට සකලවිධ අමනකම් විසින් සමස්ථ සමාජයම ආතුර බවට පත්කොට තිබිණ. නීතිය පරයා අවනීතියත්, මානව දයාව වෙනුවට බලකාමය හා ධනකාමයත් සත්‍යයය හා සදාචාරය වල්වැදි මිථ්‍යාව , වංචාව හා බොරුව සමාජගතවී සමස්ත සමාජ දේහයම අසාධ්‍ය ලෙස රෝගාතුර විය.

සකලවිධ අකටයුතුකම්, අසාධාරණකම් හා නොපනත්කම් ඉදිරියේ ඒවාට එරෙහිව හඩක් නැගීමට නැගීසිටිමට සවිමත් ප්‍රබල පෞරුෂයක් සහිත කිසිදු සම්ප්‍රදායික හෝ පිළිගත් දේශපාලන ව්‍යාපාරයක් පක්ෂයක්, නායකයෙක් හෝ කණ්ඩායමක් ඉදිරිපත් නොවු යුගයක ජනතාව තුළින්ම ජනිත වූ ජන අරගලයකට නායකත්වය සදහා සුදුසු ජන සම්මත නායකයෙකුගේ ආගමනය හෙවත් සම්ප්‍රාප්තිය එවකටවු සමාජ අපේක්ෂාව විය.

එවකට පක්ෂයේ මහ ලේකම් වූ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිවකුත් බලාපොරොත්තු නොවූ අයුරින් 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමතුළින් පක්ෂය නැවතත් විශාල අභියෝගයකට මුහණදුන්නේය.

කෙසේ නමුත් අප පක්ෂය තුළ කාලාන්තරයක් තිස්සේ වර්ධනය වූ ජාතිවාදි ප්‍රවණතාවයන් නිසාවෙන් බණ්ඩාරනායක යුගයේ සිට පක්ෂය සමග අත්වැල් බැදගත් සුළු ජාතික කොටස් අපව අත්හැර යාමත් රටේ සියළු ප්‍රජාතන්තුවාදි බලවේග හා සිවිල් සමාජ ප්‍රජාව අපෙන් ඈත්විමත් නිසා 2015 දි ශ්‍රී.ල.නි.ප ය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා නොපැතූ පරාජයකට ලක්විය.

අනතුරුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතල පසුබෑමකට ලක්වන්නේය. එකම වසරක් තුල වාර්තාගත ලෙස දෙවරක්ම මැතිවරණ පරාජයන්ට මුහුණ දෙන්නේය.

නමුත් විශාල පසුබැසීමකට ලක්වීමට ගිය පක්ෂය නැවත හිස ඔසවන්නේ වෙනත් බලවේගයන් තුළින් බලයට පත් පක්ෂයේ මහ ලේකම් ලෙස ඉතා දීරිඝ කාලයක් පක්ෂය වෙනුවෙන් කැපවුන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඉල්ලීමට ගරුකරමින් පක්ෂ සභාපතිත්වය ලබාගැනීමත් සමගය.

එක්සත් ජාතික පක්ෂය ඇතුළු තවත් බලවේග කිහිපයක් සමග එක්ව සම්මුතිවාදි සහජීවන ආණ්ඩුවක් පිහිටුවාලමින් ලංකාදේශපාලන ඉතිහාසයේ එතකේ නොපැවති අළුත් දේශපාලන සංස්කෘතියක් හදුන්වා දිමට මෛත්‍රීපාල සිරිසේන මැතිදුන් සමත්විය.

නමුත් සම්මුතිවාදි ආණ්ඩුවක් තුළ ගොනු වුවද ශ්‍රී.ල.නි.ප ය තුළ පැන නැගි ගැටළුකාරීතත්වයන් සමනය වූයේ නැත. එයට හේතු වූයේ පෙර සිටි ජනාධිපතිවරිය වු චන්ද්‍රිකා මැතිණිය විශ්‍රාම ගියද මහින්ද රාජපක්ෂ මහතා එසේ කිරීමට සූදානම් නැති වීමයි.

අර්බුද , මතගැටුම් හා හැරයාම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අළුත් අභියෝග නොවේ. සී. පී.ද සිල්වා ගේ පලායාමේ සිට අනුර බණ්ඩාරනායක - මෛත්‍රීපාල සිරිසේන, මෙන්ම ඇස්.බි. ජී.එල් මහින්ද විජේසේකර ඇතුළු නෙක කල්ලි කණ්ඩායම් පක්ෂය හැර ගිය ද එම අර්බුදයන් ඉතා කෙටි කාලයක් තුළදි සමනය කරගැනිමට පක්ෂය සමත්විය.

වත්මන් ගැටළුකාරීතත්වය ට හේතූවි ඇත්තේ පුද්ගල කේන්ද්‍රීය ගැටළු මිස කිසිදු දේශපාලන පදනමකින් යුතු මතගැටුමක් නොවේ. අද සැබැ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ වගකීම හා යුතුකම වන්නේ පවතින ජාතික හා ජාත්‍යන්තර තත්වයන් මනාව අවබෝධ කරගෙන 21 වන සියවස ට ඔබින නවින දේශපාලන බලවේගයක් පක්ෂය තුළින් බිහිකර ගැනිමයි.

කිසිදු ඡන්ද පදනමක් නැති ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්ද මත යැපෙන සුළු පක්ෂ කිහිපයක් පක්ෂය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීම සදහා වර්ගවාදි ප්‍රාථමික මතවාද වපුරවමින් ශ්‍රී.ල.නි.පය විනාශය කර ගෙන යාමට දරණ උත්සාහය පක්ෂය හමුවේ ඇත බරපතල අභියෝගයකි.

අද දවසේ රට හමුවේ ඇති ජාතික හා ජාත්‍යන්තර අසීරු වර්ධනයන් හමුවේ පක්ෂයට බණ්ඩාරනායකවරුන් හදුන්වා දුන් ප්‍රජාතන්ත්‍රවාදි මූලධර්ම වලට නතුව මැද මාවතේ දේශපාලනය තුළින් සුළු ජාතිකයන් දිනාගත හැකි නායකයෙක් දැන් ශ්‍රී ලංකා නිදහස් පකක්ෂයට හිමිව ඇත.

එතුමාජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතාය. ඔහුට රදල මූලාශ්‍රයන් නැත. සම්ප්‍රදායික ප්‍රදේශිය දේශපාලන පවුලකින් පැවත එන්නෙක්ද නොවේ. එතුමා නියොජනය කරන්නේ ධනපති පන්තියක් හො ධනපති සමාජයක් හෝ නාගරික මධ්‍යම පන්තිය හෝ නොවේ.

මෛත්‍රීපාල සිරිසේන ජනධිපතිතුමා අයිතිවන්නේ පංච මහා බලවේගයට අයත් සම්ප්‍රදායික ගොවි ජනාතාවටත් නොවන ගොවි ජනපද ප්‍රජාවටය. මෛත්‍රීපාල ජනාධිපතිතුමා පක්ෂයේ නිර්මාතෘවරුන් අපේක්ෂා කල වර්ගයේ පක්ෂයේ සුජාත උරුමක්කාරයෙකි. පක්ෂයේ පහළම ස්ථරයේ සිටි කැපකිරීම තුළින් පක්ෂයේ ඉහළටම පැමිණි සැබෑ නායකයෙකි.

අද බොහෝ පාර්ශවයන්ට ගැටළුව වී ඇත්තේ තමන්ගේ පවුලට ගෝත්‍රයට පෙළපතට හිමිව තිබූ පක්ෂ නායකත්වය ගොවි ජනපද පුත්‍ර යෙකුට හිමිවීමයි. පක්ෂය බිහිකල බණ්ඩාරනායකවරුන් දුටු සිහිනයන් අද සැබෑවී ඇත.

මෙම වර්ධනයන් ඉවසාදරාගත නොහැකි විවිධ වංචා, දූෂණ, ඝාතන හා අපරාධ වලට චූදියන් බවට පත්ව සිටින ඊනියා ඒකාබද්ධ විපක්ෂය නමින් කල්ලි ගැසී ඇති අවස්ථාවාදින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම අහිංසක පාක්ෂිකයන් ද නොමග යවමින් සිදුකරන්නේ පක්ෂය වටා ජනාතාව ගොනු කිරීමට නොවේ. ඔවුන්ට අවශ්‍ය වි ඇත්තතේ වරක් නොව දෙවරක්ම ජනතාව විසින් ප්‍රතික්ෂේප කල මහින්ද රාජපක්ෂ හා එම පවුල නැවත බලයට පත්කරගිනිමින් සිය පාපතර දේශපාල අමනකම් වසාගැනීමයටයි.

එසේම අහිංසක ගම්බද ශ්‍රී ලංකාකාරයා තුළ ඇති එ.ජා.ප විරෝධය දඩමීමා කරගනිමින් ඔවුන් නොමග යවමින් ඡන්ද මංකොල්ලයක් සදහා නිර්ලජ්ජී වෑයමක නියුක්තව සීටි. මේ සියල්ලම පරාජය කිරීම ද ඉදිරියේ ඇති අභියොගයකි.

66 වන පක්ෂ සැමරුම සදහා සූදානම් වන ජනාධිපතිතුමා ඇතුළු පක්ෂ නායකත්වය හමුවේ ඇති අභියෝගාත්මක වගකීම හා යුතුකම වන්නේ පක්ෂය හා පාක්ෂිකයන් මේ දේශපාලන අමනයන්ගෙන් බේරාගැනීමයි.

පක්ෂයේ දීර්ඝ කාලින ඉතිහාසය තුළ පක්ෂයට මුහුණු දීමට සිදුවූ සෑම සියළු අභියෝගයක්ම අර්බුදයක්ම විසදාගැනීමට කලින් කලට පත්වූ පක්ෂනායකත්වයන්ට හැකිවූවා සේම වත්මනේ පක්ෂය හමුවේ ඇති ගැටළු සාර්ථකව විසදාගෙන පක්ෂය තිබුනාටත් වඩා ප්‍රබල තත්වයකින් ඉදිරියට ගෙනයාමට ඇවසි දේශපාලන පරිචය, පරිණතභාවය මෙන්ම දැක්මද මෛත්‍රීපාල සිරිසේන ජනධිපතිතුමා සතුව ඇත. 66 වන පක්ෂ සමුළුවේන් නව ජවයක් ලබන එතුමා පක්ෂය හමුවේ ඇති අවස්ථාවාදීන් විසින් ඇතිකර ඇති අර්බුදය ඉතා කෙටි කාලයක් තුළදි සමනයකරගන්නා බව අපි තරයේ විශ්වාස කරමු.

අතිගරු ජනාධිපතිතුමාගේ උපන් දිනට අපගේ 66 වන පක්ෂ සැමරුම යෙදී තිබිමද දෛවොපගත ආනන්දයකි. එතුමාට සුබ උපන් දිනයක් හෘදයාංගමව පතමින් අනාගත අභියෝග සදහා පක්ෂය නිවරදි මග ගෙන යාමට එතුමාට යෝධ ශක්තිය, බලය හා ජවය ලැබෞවායි ප්‍රාර්ථනය කරමි.

ෂාන් විජය ලාල් ද සිල්වා
ප්‍රධාන අමාත්‍ය - දකුණු පළාත 

නව අදහස දක්වන්න