සිපගන්න දර්ශන රඟපාන්නෙ නෑ | දිනමිණ

සිපගන්න දර්ශන රඟපාන්නෙ නෑ

සචිනි අයේන්ද්‍රා

වස්සාන සිහිනය චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ඇය, අත්දැකීම් සපිරි රංගන ශිල්පිනියකි. දශක එක හමාරක රංගන අත්දැකීම් මෙන් ම, දේශීය සහ අන්තර්ජාතික මට්ටමෙන් ශිල්පීය දැනුම ද එකරැස් කර ගනිමින් සිටින ඇය, සචිනි අයේන්ද්‍රා ය. පසුගිය වසරේ, සහ මේ වසරේ ද ලෝක ප්‍රාසාංගික කලා ශුරතාවලිය ජය ලබා සිටින ඇය, හෙට දවසේ තිරය මත සටහන් වීමට නියමිත ඇගේ රංගන කටයුතු පිළිබද අප හා කතාබහක යෙදුනි.

* පසුගිය මාසයේ ඔබ අමතක නොවන ජයග්‍රහණයකට හිමිකම් කිව්වා. ඒ පිළිබඳ කතා කළොත්?

මම ලෝක ප්‍රාසාංගික කලා ශූරතාවලියට සහභාගි වුණා. ක්‍රීඩාවට ඔලිම්පික් තරග පවත්වනවා වගේ ප්‍රාසාංගික කලාවටත් ලෝකයේ ශූරතාවක් තියෙනවා. මේ සඳහා රටවල් 62ක තරගකරුවන් 1200ක් තරග වැදුනා. පළමු වතාවට මම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පසුගිය වසරේ මේ තරගාවලියට සහභාගි වෙලා, පදක්කම් තුනක් දිනුවා. මේ අවුරුද්දෙත් මම එම තරගාවලිය නියෝජනය කරමින් පදක්කම් තුනක් දිනා ගත්තා.

මෙහි රංගනය,ගායනය,නර්ථනය හා නිරූපණය යන අංශ තුනෙන්ම තරග පැවැත්වෙනවා. මම නියෝජනය කළ රංගන තරගය තුළ, සම්භාව්‍ය නර්ථනය, නූතන නර්ථනය, විනෝදාත්මක රංගනය, නාට්‍යමය රංගනය, නිරූපණය සහ රූපවාහිනී රංගනය යනුවෙන් අංශ හයක් තියෙනවා. මම ඒ අංශ හයෙන්ම තරග කළා. සියලු ම තරගකරුවන් තරග කිරීමට පැමිණ සිටියේ ඔවුන්ගේ පෞද්ගලික පුහුණු කරුවන් සමඟයි. ශ්‍රී ලංකාවේ තවමත් රංගනය හදාරන්න පාසලක් නැති නිසා, බොහෝ අය මේ දේ ගැන දැනුම්වත් නැහැ.

* ඔබ පවසන්නෙ මෙවැනි තැන්වලදී අපේ රටේ කුඩා බව තව තවත් කැපීපෙනෙන වගක්ද?

පැහැදිළිවම. අපි ඉන්නෙ කොතනද කියලා වැටහෙන්නෙ මේ වගේ තැනකට ගියහමයි. ලෝක මට්ටමෙන් බැලුවහම අපි ඉන්නෙ දුප්පත්ම තැනක. චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන, රංගනය ගැන උපාධියක් හෝ ඩිප්ලෝමාවක් තියෙන අය අපේ රටේ දුලබයිනෙ. අපේ රටේ අධ්‍යක්ෂවරු චිත්‍රපට කරන්නෙ තමන්ගෙ කැමැත්ත නිසයි. ඒත්, ලෝකයේ ප්‍රාසාංගික කලාව කියන්නෙ සුපිරි මට්ටමේ ව්‍යාපාරයක්. එකී ව්‍යාපාරය උසස් තලයක පවත්වාගෙ යෑම සඳහා ඔවුන් හදාරනවා. විවිධ කැපවීම් කරනවා. පර්යේෂණ පවත්වනවා වගේම, ඒ සඳහා විශාල වශයෙන් මුදල් ආයෝජනය කරනවා.

ඒ රටවල නළු නිළියො අපේ නළු නිළියො වගේ ගෙදර ඉඳලා ගිහින් රඟපාන්නෙ නැහැ.හැම රංගන ශිල්පියකුටම, ශිල්පිනියකටම පුහුණුකරුවෙක් ඉන්නවා. ඔවුන් පූර්ණකාලීනව රංගන අභ්‍යාසවල නිරත වෙනවා. තමන් කරන චරිත පුහුණුවීමකින් තොරව රඟපාන්නෙ නැහැ. ඒ වගේම එම ශිල්පීන්ගේ රැකියාව රංගනය. එකී සේවය වෙනුවෙන් විශාල ගෙවීමක් ලබනවා.

* ජාත්‍යන්තර මට්ටමේ දිනුමක් අපේ රටට රැගෙන ආ ඔබට, පෙරලා අපේ රටෙන් ලැබුණු ඇගැයීම කොහොමද?

ලොකු ඇගැයීමක් ලැබුණෙ නැහැ. මේ වගේ ‍තරග ලෝකයේ පැවැත්වෙනවා කියලා අපේ රජයවත්, කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනාත් දන්නෙ නැහැ. තම තමන්ගේ දැනුම අනුවනෙ හැමදේම තීරණය වෙන්නෙ.

* ඒ අතරම පසුගියදා ඔබ තවත් චිත්‍රපට උළෙලක් නියෝජනය කළා. ඒ පිළිබඳ කතා කළොත්?

මීට සති දෙකකට පෙර මම කාම්බෝජයේ පැවැත්වුණු ඒසියා ෆැසිපික් චිත්‍රපට උළෙල ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කළා. එහිදී අපේ රටේ නිර්මාණත් ඉදිරිපත් කර තිබුණා.

*මේ අවස්ථා ඔබට උදාවන්නෙ රජයේ අනුග්‍රහයහ යටතේද?

එවැනි අනුග්‍රහයක් ලැබුණෙ නැහැ.මම මේ අවස්ථා සඳහා සහභාගි වුණේ, මගේ පෞද්ගලික වෙහෙස මහන්සියෙන් හා මගේ පෞද්ගලික ධනය වියදම් කරගෙනයි .

* මෑත කාලයේ ඔබ දායක වූ නිර්මාණ මොනවද?

මම අන්තිමටම වැඩ කළේ සේනක විජේසිංහගෙ 'මේඝ' චිත්‍රපටයේයි. එම චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය මාත්, ප්‍රධාන පිරිමි චරිතය සේනක විජේසිංහත් රඟපෑවා. සේනක විජේසිංහ කියන්නෙ මම ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලෙ ඉඳන්ම මගේ හොඳ හිතවතෙක්. ඔහුගේ හැම නිර්මාණයකටම මට ඇරියුම් කළා. එයින් සමහරක් නිර්මාණවලට මං දායක වුණා. තවත් නිර්මාණ කෙරුණෙ නැහැ. මෙවරත් සේනක අයියා ශ්‍රී ලංකාවට ඇවිත් කළ පළමු චිත්‍රපටය වන මේඝ සඳහා මට ඇරියුම් කළා.

* මේඝ හි ප්‍රධාන චරිතය ඔබ බාර ගන්නෙ මිත්‍රත්වය නිසාද?

හිතවත්කමයි, ඒ චරිතයට මම ගැළපීමයි යන කරුණු දෙක ම නිසා ඔහු මට ආරාධනා කළා. මම තිර රචනය බලලා, මම එම චරිතය මට ගැළපෙන නිසා මම ඒ චරිතය රඟපෑවා.

* හිතවතකුගේ නිර්මාණයක් ලැබුණත්, චරිතය ඔබට නොගැළපෙයි නම් ඔබ එය ප්‍රතික්ෂේප කරනවද?

අධ්‍යක්ෂවරු මට නොගැළපෙන චරිතවලට කතා කරලා නැහැ. සමහර දර්ශන මම කරන්න කැමැති නැතිනම්, එය වෙනස් කළ හැකි නම්, මම අධ්‍යක්ෂවරයා සමඟ ඒ ගැන කතාබහ කරලා වෙනස් කර ගන්නවා.

*චරිතයක් ඔබට ගැළපෙනවාද? එය ඔබ රඟපාන්න බාර ගන්නවාද? යන කරුණු තීරණය වෙන්නෙ කුමන සාධක පදනම් කරගෙනද?

චරිතයක් පිළිබඳ අපට විනිශ්චය කරන්න බැහැ. රංගන ශිල්පියකුට හෝ රංගන ශිල්පිනියකට ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන් වෙන්න ඕනැ. චිත්‍රපටයේ ප්‍රමිතිය මම තීරණය කරන්නෙ එහි අධ්‍යක්ෂවරයා, තිර රචනය හා එහි රඟපාන සෙසු නළු නිළියන් ගැන සොයා බැලීමෙනුයි.

* රංගන ශිල්පියකුට ඕනෑම චරිතයක් කරන්න පුළුවන් විය යුතුයි කියන ඔබ, චරිතයක වෙනස්වීම් බලාපොරොත්තු වෙන්නෙ ඇයි ?

සිපගැනීම් දර්ශන මම රඟපාන්නෙ නැහැ. සමහර නිර්මාණවල නිර්මාණයට අදාළ නොවන එවැනි දර්ශන තියෙනවා. එවන් මොහොතක එවැනි තැන් වෙනස් කරගත හැකිනම්, මම චරිතය බාර ගැනීම ගැන සලකා බලනවා. එකී දර්ශනය නිර්මාණයට අදාළ නම්, සමහර විට කරන්න ඉඩ තියෙනවා. ඒත්, මම මෙතෙක් නම් එවැනි දර්ශන රඟපාලා නැහැ.

*'මේඝ' හැරුණහම, ඉදිරියේදී ඔබගේ රංගනය හමුවන නිර්මාණ මොනවද?

මීට අමතරව මම රංගනයෙන් දායක වූ තව චිත්‍රටපට දෙකක් තියෙනවා. ඒවා ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. එකක් සංජය නිර්මාල්ගෙ 'ස්වර' කියන චිත්‍රපටය. අනෙක් එක, නලින් මාපිටියගෙ 'තානාපතිලාගේ ගෙදර' කියන චිත්‍රපටය. ටෙලි නාට්‍ය ගත්තොත්, බූඩි කීර්තිසේනගෙ 'රූමස්සල' කියන ටෙලි නාට්‍ය.

* ඔබේ වැඩි නැඹුරුව සිනමාවටද?

මට වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ සිනමාවෙන්. හොඳ ටෙලි නාට්‍යයක් ලැබුණොත් මම ඒකට සම්බන්ධ වෙනවා. මෑත කාලයේ ලැබුණු එවැනි නිර්මාණයක් තමයි බූඩි කීර්කිසේනගේ රූමස්සල.

* ඔබ රිදී තිරයේ හෝ පුංචි තිරයේ නමක් රඳවාගෙන සිටින, එහෙත් නිතරම නොදකින නිළියක් කිව්වොත්, ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

ඒක මම හිතලා කරන දෙයක් නෙමෙයි. මට ඇරියුම් දහයක් ලැබුණොත්, එයින් එකක් දෙකක් බාර ගන්නවා. මගේ වෘත්තිය රඟපෑම වුණත්, ආදායම පැත්තෙන් මම මේ මතම යැපෙන්නෙ නැති නිසා, මට මේ කාලයේ විවේකයෙන් ඉන්න ඕන කියලා හිතුණොත්, වැඩ බාර නොගෙන ඉන්න නිදහස තියෙනවා.

* එවන් පසුබිමක් ඔබට තියෙන්නේ,ඔබ ව්‍යාපාරික බිරියක් වීම නිසාද?

එහෙම නෙමෙයි. මම කරන වැඩවලින් මට යැපෙන්න ඕන මුදල ලැබෙනවා. එක වැඩක් කළත් මට යැපෙන්න ප්‍රමාණවත් මුදල ලැබෙනවා.

* ඒ කියන්නෙ ඔබ අධික මිලක් අය කරන නිළියක් කියන එකද?

මම මුදල් ගැන ලොකුවට බලන කෙනෙක් නෙමෙයි. යම් නිර්මාණ කරුවෙක් අඩු වියදමකින් නිර්මාණයක් කරනවා නම්, මම ඒ ගැන සලකා බලනවා. ඒත්, ක්ෂේත්‍රයේ අපට ගෙවීම් සිදු වන මට්ටමක් තියෙනවනෙ. මම දැන් අවුරුදු 12ක් 13ක් තිස්සෙ රංගනයේ යෙදෙනවා. ක්ෂේත්‍රයේ වැඩිපුර මුදලක් ලබන ශිල්පිනිය මම කිව්වොත් හරි.

* මෙතෙක් රඟපෑ චරිත අතර විශේෂ මතක ඔබ තුළ ඉතිරි කළ චරිත මොනවද?

මගේ වාසනාවට මට ලැබුණ හැම චිත්‍රපටයක්ම එකිනෙකට වෙනස්. මේ හැම චිත්‍රපටයක් ගැනම මට කියන්න දෙයක් තියෙනවා. මගේ පළමුවැනි චිත්‍රපටය වස්සාන සිහිනය. අවුරුදු දාහතරකට පස්සෙ අදටත්, දවසකට වතාවක් හරි කවුරු හරි ඒ ගැන කතා කරනවා. ප්‍රසන්න ජයකොඩිගෙ සංකාරා නිර්මාණයෙත් මට ලැබුණෙ වෙනස්ම චරිතයක්. ඒ වගේම මෑත කාලය ගත්තොත් සිරි පැරකුම් තමයි මගේ පළමුවැනි නපුරු චරිතය.

* ඔබගේ රංගනය පිළිබඳ අපේ රටේ ලැබුණු ඇගැයීම් ගැන සෑහීමකට පත්වී සිටිනවාද?

අපේ රටේ අයගේ දැනුම හා අත්දැකීම එක්ක ඒ අයට කරන්න පුළුවන් උපරිම දේ තමයි ඒ අය කරන්නෙ. මට පසුගිය අවුරුද්දෙ හොලිවුඩ් වල නිර්මාණයකටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. එහෙම කියලා ඒ මට්ටමෙන් අපේ රටේ ඇගැයීම් ගැන බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

 

ධම්මිකා සුරංජි
පතිරණ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...