තෙලෙන් බැදපු කඩේ කෑම කන්නෙ බලාගෙනයි | දිනමිණ

තෙලෙන් බැදපු කඩේ කෑම කන්නෙ බලාගෙනයි

වෙළෙඳ පොළේ මුරුක්කු වැනි ගැඹුරු තෙලේ බඳින ලද ආහාර රැසක්ම දැකිය හැකි ය. කටට රසට මේවා ආහාරයට ගත්තට,මේවයේ ගුණාගුණ පිළිබඳ ඔබ මොහොතකටවත් සිතුවාද ?

තෙලෙන් බදින ලද ආහාර මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු වන්නේ, ඒවා බදින්නට ගත තෙල් වර්ගය සහ බදින ආකාරය පිළිබඳ ය. බැදීමට සුදුසු වන්නේ,අන්සැටුරේටඩ් ෆැටී ඇසිඩ් අඩංගු (අසංතෘප්ත මේදය) එළවළු තෙල් නොවේ. මේවායින් බැදීම සිදු කිරීමේදී, මුක්ත ඛණ්ඩක සෑදෙන අතර , ඒවා පිළිකාකාරක බව ඔබ දන්නවාද? මෙවිට සෑදෙන ට්‍රාන්ස් මේදය ද පිළිකා ඇති කරන බව සොයාගෙන ඇත. මේ නිසා, මෙවැනි ආහාර බැදීමට සුදුසු වන්නේ පිරිසුදු පොල්තෙල් බව වගකීමෙන් කිව යුතු ය.එසේ නැතිව එළවළු තෙල් නොවේ. එසේ ම , එක් වරක් බදින ලද තෙල් නැවත නැවත භාවිත කිරීම ද කිසිසේත් සුදුසු නොවේ. ඒවා ද සිරුරට අහිතකර ය.

වෙළෙඳ පොළේ තිබෙන බදින ලද අහාර, ඒවායේ නැවුම් ස්වභාවය(crispy) ඒ ආකාරයෙන්ම කාලයක් පුරාවට රැක ගැනීම සඳහා,ඒවා බැදීමට ගන්නා උණු තෙල්වලට ප්ලාස්ටික් එකතු කරන බව සොයාගෙන තිබේ. ඒ කෙසේද යත්, තෙල් සහිත තාච්චියට හෝ භාජනයට ආහාර බැදීම සදහා දැමීමට පෙර, ප්ලාස්ටික් බෝතලයක් වැනි ප්ලාස්ටික් ද්‍රව්‍යක් එක්කර දිය වීමට හරියි. ඉන් අනතුරුව ආහාර බැදීම සිදු කෙරේ. මෙලෙස ප්ලාස්ටික් බැදුණු විට, ඒවායින් ඩයොක්සින් නමැති ද්‍රව්‍ය නිපද වේ.

මේවා ඉතා විෂ සහිත බැවින්, පිළිකා, ගලගණ්ඩය,ස්නායු රෝග වැනි සිරුරේ වෙනත් අවයවවල විවිධ රෝග වැළඳීමට ඇති ප්‍රවණතාව ඉතාමත්ම වැඩි බව විද්‍යාඥයෝ පවසති. එම නිසා, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ට පැවරී ඇති විශේෂ වගකීමක් වන්නේ, වෙළෙඳසල්, ආහාර භෝජනාගාර, මුළුතැන්ගෙවල් පරීක්ෂා කර, එවැනි වංචා සහගත හා අපරික්ෂාකාරී ආහාර නිෂ්පාදනාගාර වටලා, ප්‍රමිතියකින් යුතු ආහාර වෙළෙඳ පොළට එවීමට කටයුතු කිරීම ය. එමඟින්, පාරිභෝගිකයා විනාශකාරී රෝග පීඩාවලින් මුදා ගැනීමට හැකි ය. එම නිසා,වෙළෙඳ පොළේ, පදික වේදිකාවේ ඇති ප්‍රමිතියකින් තොර බදින ලද ආහාර මිලදී ගැනීමේදී පරෙස්සම් විය යුතු ය.

කුඩා ළමයින්ට, දකින දකින වෙලාවට, ඉල්ලන පමාවෙන් මේවා අරන් දීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු ය. ළමයින් පමණක් නොව, වැඩිහිටියන් ද මේවා ආහාරයට ගැනීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු ය. ඒ වෙනුවට දේශීය පලතුරු, එළවළු මිලදී ගැනීමට පුරුදු වී, වස විස අඩංගු ආහාරවලින් දුරස් වීමට පියවර ගන්න.

 

යශෝදා

 

තොරතුරු
වෛද්‍ය ඩබ්. ඩබ්. එස්. ඩබ්. සී . ප්‍රනාන්දු
ආහාර හා පෝෂණ විශේෂඥ
පවුල් සෞඛ්‍ය කාර්යාංශය


නව අදහස දක්වන්න

Or log in with...