සීත මීදුම් සේල අඳින හුන්නස් ඇල්ල | දිනමිණ

සීත මීදුම් සේල අඳින හුන්නස් ඇල්ල

සතරඅතම වටකර ඇත්තේ නුබකුස සිපින තරමට උස් වූ කඳුශිඛර ය. උදෑසන නවය පහුවී ඇත ද, වැහි බීරුම පැතිරුණා සේ මුළු පරිසරයම අඳුරේ ගිලී ගොසින් ය. සීත මීදුම්පට තවමත් මෑත්වී නැත. පහළ බෑවුමේ පිහිටි සමහර කඳු මුදුන් වෙත හිරු කුමරුන් වැඩිය ද, ඇල්කඩුව වතුයාය වෙත ඇදෙන කඳු ගැටයට හිරු දෙව් වඩින්නට පමාවී ඇත. අපේ ගමනාන්තය වූයේ ඇල්කඩුව රාජ්‍ය වතුයාය වෙත යාම වුව ද, අතරමඟ දුටු ‘හුන්නස් ඇල්ල ‘ යැයි මඟ සලකුණු දක්වන නාමපුවරු දැකීමෙන්, යන ගමන අතරමඟ නවතා, හුන්නස් ඇල්ල වෙත යාමට අපි තීරණය කළෙමු.

සීතලෙන් සීතවුණු මුළු පරිසරයම නිහඬ ය. ඒ නිහඬතාව බිඳිමින් විටෙක නද කරන වළිකුකුළෙකි. තවත් විටෙක අතුපතර දිව යන්නේ දඬු ලේනෙකි. කරඳමුංගු, කරාබුනැටි, සාදික්කා, ගම්මිරිස් ඈ ලොවක් මවිත කළ අපේ කුළුබඩු වගා කරන වතු යායවල් මැදින් යනෙන ගමන, සිත අමන්දානන්දයෙන් පුරවාලයි. මහනුවර මාතලේ මාර්ගයේ කිලෝ මීටර් දහඅටක් ගොස්, වත්තේගමදී ඇල්කඩුව මාර්ගයට හැරී හුන්නස්ගිරි වතුයාය පසුකර කිලෝ මීටර් තුනක් පැමිණි තැන හුන්නස් ඇල්ලට ළඟාවීමට පුළුවන. මුහුදු මට්ටමෙන් මීටර් 1765ක් උසැති මේ දියඇලි කොමලිය, මීටර් 48ක් පමණ උස ය. ශ්‍රී ලංකාවේ දියඇලි අතර උසින් 54 වැනි තැනට පත්ව ඇත්තේ මේ දියඇල්ල ය.

මාතලේ සොඳුරු පුරවරය දක්වා ඇදෙන නකල්ස් කඳු පංතියේ මෙහා කෙළවර හුන්නස්ගිරියයි. මාතලේ කඳු පංතියේ එක කෙළවරක් වන මාතලේ දෙසින් පිහිටා ඇති හුන්නස්ගිරි කන්දෙන් ඇරැඹෙන ස්වභාවික දිය පාරවල් පහක් එකතුවී මහඔය ජලාශය නිර්මාණය වේ. එම ජලාශය ආශ්‍රය කරගෙන හුන්නස් ඇල්ල නිර්මාණය වන අතර, එහි ජලය ගලාගොස්, සුදු ගඟ නිර්මාණය වේ. එසේ නිර්මාණය වන මේ දියඇල්ල කෘත්‍රිමව සකස් කළ ඇල්ලක් ලෙස ජනතාව අතර ප්‍රකට ය.

මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක වෙන් කරන මායිම ලෙස ද සැලකිය හැක්කේ හුන්නස් ඇල්ල ය. මේ ප්‍රදේශ පුරා සංචාරක හෝටල් බොහොමයක් පිහිටා තිබේ. ස්වභාවික සුන්දරත්වය රිසි සේ විඳගන්නට කැමැති බෝදෙනා මේ පෙදෙස කරා යන අතර, එහිදී හුන්නස් ඇල්ල බැලීමට අමතක කරන්නේ ද නැත.

මේ ප්‍රදේශය පුරාම තේ වතුවලින් අඩුවක් නම් නැත. වත්තේගම ආසන්න නගරය කරලෙන පිහිටා ඇති හුන්නස් ඇල්ලට ඉහළින් කෘත්‍රිමව සැකසූ කුඩා ජලාශයකි. ඒ වටා ස්වාභාවිකව පිහිටි කැළෑවක් දැකිය හැකි ය. මේ ප්‍ර දේශයේ වැඩිපුර ඇත්තේ පයිනස්, තේක්ක, ටුනා, රටදෙල්, කොස්, සයිප්‍රස්, උඩවැඩියා වැනි ශාක වර්ග ය.එවකට බ්‍රිතාන්‍ය ජාතික ඩර්ටි මිස්ටි නමැත්තා මේ ස්ථානයේ වාසය කර ඇති අතර, ඔහු සිය බිරිය වෙනුවෙන් මල් වත්තක්, පලතුරු වත්තක්, ගෝල්ෆ් පිටියක්, ජලාශයක් හා දිය ඇල්ලක් නිර්මාණය කළ බව ප්‍රචලිතව ඇත. එයට හේතුව සිය ආදරණීය බිරිය අසනීප තත්ත්වයේ පසුවූ බැවින්, ඇයට අවැසි මානසික සුවය, විවේකය, විනෝදාස්වාදය ඈ නෙක් සුවතා ලබාදීම ය.

එම පලතුරු වත්ත හා මල් වත්ත මේ වනවිට දැකිය නොහැකි අතර, කෘත්‍රිමව සැකසූ ජලාශයේ ජල පහරින් කෘත්‍රිම ඇල්ල නිර්මාණය වී ඇති බව පැවසේ. ඇල්ල ඉහළ කොටස මීටර් හයක් පමණ වන අතර, එම ඇල්ල විශාල ගල් පොකුණකට ඇදහැලේ. එම ජල තටාකය මීටර් 48කින් යුක්ත ය. ඉතාමත්ම පැහැදිලි දියෙන් යුක්තව නිලට නිලේ දිලෙන එම දිය දහරාව, සිසිලසෙන් යුක්ත ය. ගතටත් සිතටත් අපූර්ව සුවයක් සැලසීමට මේ දිය දහරට හැකි ය.

හෙක්ටයාර දෙකක භූමියේ පිහිටි මේ කෘත්‍රිම ජලාශයේ එවකට ට්‍රවුට් මත්ස්‍යයන් ඇතිකර තිබෙනමුත්, මේ වනවිට උන් වඳවී ගොස් තිබේ. මේ ස්ථානයට, ඈතින් පිහිටි ගැරඬි ඇල්ල දැකගත හැකි ය. එය සැබැවින් ම අපූරු දසුනකි.

මේ දියඇල්ලට ජලය රැගෙන එන හුන්නස්ගිරි කන්ද පිළිබඳ අපූරු ජනප්‍රවාදයක් ද ඇත. බුදුරජාණන් වහන්සේ සමනල කඳු මුදුනේ සිරිපා පිහිටු වීමට පෙර , එය හුන්නස්ගිරි කන්දේ පිහිටු වීමට සූදානම් වූ බවත්, ඒත් සමඟම යෝධ හූනෙක් හඬතැලූයෙන් එම පිහිටුවීම නොකළ බවත් එම ප්‍රවාද ය. එය දුටු මේ ප්‍රදේශයට අධිපති දෙවියන් යොධ හූනාගේ ගිරිය බැඳ ඇත. අදටත් මේ අවට ප්‍රදේශයේ ජීවත් වන හූනන්ට කෑ ගැසීමට නොහැකි බව ද එම කතාවට අනුව පැවසේ.

දැඩි නියං කාල උදා වූවද මේ ඇල්ල හිඳෙන්නේ නැති බවටද මතයක් ඇත. එයට හේතුව, ගම්බාර දෙවියන්ට හුන්නස්ගිරිය ආරක්ෂා කරන්න බාරදී ඇති නිසා බවට මතයක් පවතී.

එවැනි නියං කාලවල මධ්‍යම රාත්‍රියේදී කන්ද උඩින් ගම්බාර දෙවියන් වහන්සේ පන්දමක් රැගෙන යනු දිස්වන බවත්, එසේ දුටුවිට දින කිහිපයකින් ම වර්ෂාව ලැබෙන බවටත් ගම්මු විශ්වාස කරති.

මේ දියඇල්ල පිහිටා ඇති ස්ථානයේ කුඩා උද්‍යානයක් නිර්මාණය කර ඇති අතර, ස්ථානය අලංකාර ලෙස නිර්මාණය කර ඇත. මෙය කඳවුරු භූමියක් ලෙස භාවිත කළහැකි ය. මේ අවට ප්‍රදේශයේ කළු වඳුරා, රිලවා, මුගටියා, ඉබ්බා, උලමා, උකුස්සා, බස්සා මුව වැනි සතුන් දැකිය හැකි අතර, දියෙහි කුඩා මාළුන්ගෙන් ද ගහණ ය.

ඉරෝෂිණී දීපිකා 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...