බීරළු ගොතන්නී ගාල්ලේ තනුජා | දිනමිණ

බීරළු ගොතන්නී ගාල්ලේ තනුජා

ඈත අතීතයේ පටන් ම නැන්දම්මා සහ ලේලිය අතර ගැටුම් පැවැතිය ද, ගාල්ලේ පදිංචි තනුජා, ජීවිතය ජය ගත්තේ තම නැන්දම්මාගේ ගුරුහරුකම් නිසා ය.ඇය මේ වනවිට ජීවිතය සාර්ථකව ගොඩනඟා ගෙන ඇත්තේ, ගාල්ල මාගල්ල ප්‍රදේශයේ සිටිනා ප්‍රකට බීරළු රේන්ද නිර්මාණ ශිල්පිනියක් බවට පත් වෙමිනි.

"විවාහ වුණාට පස්සේ මහත්තයාගේ අම්මගෙන් තමයි මම බීරළු රේන්ද නිර්මාණ කරන්න ඉගෙන ගත්තේ. මම මීට අවුරුදු 50 කට පෙර බීරළු රේන්ද නිර්මාණ කරන්න පටන් ගත්තා.මගේ අම්මත් ඉස්සර බීරළු රේන්ද නිර්මාණ කළා. අම්මාගෙනුත් මම බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ වුණත් , මම වෘත්තීමය වශයෙන් බීරළු රේන්ද කලාවට අවතීර්ණ වුණේ මගේ සැමියාගේ අම්මගේ ගුරුහරුකම් ලබාගෙනයි. මගේ යටතේ බීරළු රේන්ද ගොතන කාන්තාවන් 25 දෙනෙක් ඉන්නවා. මම ඔවුන්ට නුල් දීලා, රේන්ද අර ගන්නවා.

මගේ යටතේ රේන්ද ගොතන කාන්තාවන්ගෙන් සමහරු මාසෙට රු. 7000- 8000 විතර ආදායමක් ලබා ගන්නවා. සමහරු රු. 2000 වගේ ආදායමකුත් බලා ගන්නවා. ඒ කොහොම වුණත්, බීරළු රේන්ද කලාව මඟින් ගාල්ලේ ජීවත් වන රැකියා නොමැති බොහෝ කාන්තාවන්ට ආදායම් මාර්ග ලැබිලා තියෙනවා.

මම මේ ස්වයං රැකියාව කළ මුල් කාලයේ දී හම්බ කළේ රු. 10,000- 15,000 ක් වගේ මුදලක්. ඒත් , දැන් මම මාසයකට රු 40,000-50,000 ක් වගේ මුදලක් උපයනවා."

මුලදී විඳි දුක් සෝතැවුල් පසු කාලීනව සතුටක් බවට පත් වන්නේ පුද්ගලයකුගේ උත්සාහය සහ කැපවීම මඟින් ය . ඒ බව තනුජාගේ දිවියෙන් ද සනාථ වේ.

"මම නිර්මාණය කරන්නේ මේස රෙදි, කුෂන් කවර, වෙඩින් සාරි, බෑග්, පර්ස් වගේ දේ. මම වැඩිහිටි බීරළු රේන්ද ගවුමක් රු.1500කටත්, ළමා ඇඳුමක් රු.850කටත් අලෙවි කරනවා. බීරළු රේන්ද මඟින් නිර්මාණය කළ මංගල සාරියක් රු. 25,000 කට වගේ විකුණන්න පුළුවන්. මට ඒ වගේ සාරියක් නිර්මාණය කරන්න මාස එක හමාරක් විතර යනවා.

අපට සරිලන වෙළෙඳ පොළක් නැතිකම, දැනට තියෙන ලොකුම ගැටලුවක්.අපේ ආදායම් මාර්ග වැඩි වෙනවා නම් , අපේ යටතේ වැඩ කරන කාන්තාවන්ගේ මාසික අදායමත් වැඩි වෙනවා. එහෙම වුණහම, ඒ කාන්තාවන් වෙනත් රැකියා හොයා ගෙන යනවා. මම නම් කියන්නේ අපට විදේශීය වෙළෙඳ පොළ විවෘත වෙනවා නම් හොඳයි කියලයි. එහෙම වුණහම අපට බීරළු රේන්ද කලාවට මීට වඩා දෙයක් කරන්න පුළුවන්. මගේ මේ ව්‍යාපාරය නිසා මගේ පවුලේ ආර්ථික මට්ටම ස්ථාවර කර ගන්න හැකි වුණා. ඒ වගේ ම මම කාන්තාවන් කිහිප දෙනෙක්ගේ ජීවිත ස්ථාවර කර දීලත් තිබෙනවා.

දැන්නම් බීරළු රේන්ද ගොතන අය අඩුයි. පිටරටවලින් විවිධ බීරළු රේන්ද ගෙන්වනවා. ඒ නිසා මේ රැකියා ක්ෂේත්‍රය නුදුරු අනාගතයේදීම පරිහානියට පත් වෙයි කියලා මගේ හිතේ බියක් තියෙනවා."ඇය පවසන්නී ය.

මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න