ආණ්ඩුව රේල් පාරේ සෙල්ෆි ගැහුවා | දිනමිණ

ආණ්ඩුව රේල් පාරේ සෙල්ෆි ගැහුවා

චමීර පෙරේරා
කැඳවුම්කරු වමේ කේන්ද්‍රය

සම්මුතිවාදී ආණ්ඩුවේ වර්ෂ දෙකක පාලන කාලය පිළිබඳ සිවිල් සංවිධාන දරන අදහස කුමක් ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පමා වීම, ව්‍යවස්ථා සංශෝධනයට විවිධ පැතිවලින් එල්ලවන විවිධ චෝදනා ආදිය ජනතාව වටහාගත යුත්තේ කෙසේ ද? වැනි වත්මන් දේශපාලනයේ වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා අද එහා ඉවුරට එක් වේ.

* ජනවාරි අට ජනතාවට පොරොන්දු වූ දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආණ්ඩුවට අවුරුදු දෙකක් පිරෙද්දි හිතෙන්නෙ කුමක් ද?

ජනවාරි අට සිදුවුණ දේශපාලන පරිවර්තනය තුළ ජනතාව බලාපොරොත්තු වූ දේශපාලන ප්‍රතිසංස්කරණ කියන කාරණය යටපත් වීම බරපතළ කාරණයක්. ව්‍යවස්ථා වෙනස කියන කාරණයට වඩා, ජනතාවට අවශ්‍ය වුණේ දේශපාලන ප්‍රතිසංස්කරණ. මේ දේශපාලන ප්‍රතිසංස්කරණය කියන කාරණය වත්මන් ආණ්ඩුව තුළ පසු බැස තිබෙන තත්ත්වයක් අපට පෙනෙනවා. යුක්තිය ඉටු කර ගැනීමේ මහජන අභිලාෂයට එයින් යම්තාක් දුරකට බලපෑම් එල්ල වෙලා තියෙනවා. සමස්තයක් විදිහට බැලුවම දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගත වූ වසර දෙකහමාර තුළ යහපාලන ආණ්ඩුවේ පිළිවෙත සම්බන්ධයෙන් වාමාංශිකයන් විදිහට සහ ජනවාරි අට දේශපාලන පරිවර්තනයට දායක වූ පුරවැසි ව්‍යාපාරයේ සාමාජිකයෙක් විදිහට සෑහීමකට පත් වෙන්න බෑ.

* නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ ප්‍රමුඛ අරමුණ ඉටු නොවනු ඇතැයි ඇතැම් දේශපාලනඥයන් පෙන්වා දෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

ඉහතින් කිව්වා වගේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන කාරණය දේශපාලන ප්‍රතිසංස්කරණයන්ට අයිති එකක්. දකුණේ දේශපාලන ප්‍රතිසංස්කරණයන්ට අනුව ප්‍රධාන බලාපොරොත්තුවක් වුණේ 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිධුරය වෙනස් කිරීම සම්බන්ධයෙනුයි. ඒ පිළිබඳ දිගින් දිගටම වාමාංශික ව්‍යාපාරයට මෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන පුරවැසියන්ට විවේචන තිබුණා. මහින්ද රාජපක්ෂ පාලන තන්ත්‍රය තුළ විධායක ජනාධිපතිධුරය කියන කාරණය ඉතාම නරක තැනකට ගමන් කරලා තිබුණා. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක විධායක ජනාධිපති අසහාය පාලකයෙක් බවට පරිවර්තනය වුණා. එදා විධායක ජනාධිපතිධුරය සම්බන්ධයෙන් විවේචන එල්ල කරපු තිස්ස විතාරණ සහෝදරයා වැනි අය අත්දෙකම උස්සලා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කළා. ඒ නිසා විධායක ජනාධිපතිධුරය ගැන රටට කෑ ගහලා කියපු වමේ ව්‍යාපාරයේ සුජාත භාවයට බරපතළ ප්‍රශ්නයක් මතු වුණා.

* වත්මන් ආණ්ඩුව බලයට විත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. ඒ තුළින් විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා වෙලා නේද?

ඇතැම් අය ව්‍යවස්ථාවක් නොගෙනෙනවා යැයි චෝදනා කළාට, මේ ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයකට ගියා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ මහජන ජයග්‍රහණයක්. 1978 බිහි කළ විධායක ජනාධිපතිධුරය අද තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නෑ. අද ජනාධිපතිධුරයක් තිබෙනවා. හැබැයි ඒක එදා ජේ. ආර්. ජයවර්ධන හෝ මහින්ද රාජපක්ෂ ගෙනා විධායක ජනාධිපතිධුරය තරම් භයානක නෑ. කොහොම නමුත් එක්තරා ආකාරයකට අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ යම්කිසි ජයග්‍රහණයක් ලබා ගෙන තිබෙනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ, බරපතළ දේශපාලන අරගලයකින් ලබා ගත් ජයග්‍රහණයක්. එදා ඒක වළක්වන්න තරම් ශක්තියක් පාර්ලිමේන්තුවට තිබුණා වුණත් මහජන පිබිදීම, ජනවාරි අට ව්‍යාපාරයේ සජීවී භාවය, මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ මැදිහත් වීම, පුරවැසි සංවිධානවල මැදිහත් වීම සහ ජනපතිවරයාගේ කැපවීමත් එක්ක මහජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට අවශ්‍ය පසුබිම හැදුණා.

* ඔබ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මේ තරමින් පමණක් සිදුකිරීම ප්‍රමාණවත් කියල ද?

නෑ. මින් එහාට ගිය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. නමුත් විශේෂයෙන්ම සිහි තබා ගත යුත්තේ, මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් තුළ පරාජිත මහින්ද රාජපක්ෂ පාර්ශ්වයන්ට හා ඒ රාජකීය පවුලට නැවත වතාවක් බලය අත්පත් කරගැනීමට නොහැකි නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි. මම බොහොම පැහැදිලිව කියනවා, අපි පරාජය කළ බලවේගය සුළු පටු බලවේගයක් නෙවෙයි.

ඒ අයට අවස්ථාවක් ලැබුණොත් කුමන හෝ ආකාරයකින් බලය ලබා ගන්න උත්සාහ කරයි. ඒ අයට පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි වෙනස් කරන්න හැකි මූල්‍යමය ශක්තියක් තියෙනවා. එවැනි පිරිසකට නැවත බලය අල්ලා ගැනීමට පාර නොකපන ව්‍යවස්ථාවක් අපට අවශ්‍යයි. අපේ අවධානය බලය බෙදීම කියන කාරණයට යොමු කරන්න ඕන. ජනවාරි අට ජයග්‍රහණය කියන්නේ පුරවැසි ජයග්‍රහණයක්. ජාතිකවාදී භීතිය පරාජය කළ ජනතාවට මේ රටේ දේශපාලනයේ පාර්ශ්වකරුවන් වීමට අවශ්‍ය යි. ඒ වගේම තමයි ඔවුන්ට මැතිවරණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි.

* නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවත්, විධායක ජනපතිධුරය එලෙසම තිබිය යුතු බවත් ශ්‍රිලනිපය තුළින් මත පළ වෙනවා, ඒ අතරම 2020 ජනාධිපතිවරණයට වත්මන් ජනපතිවරයා ඉදිරිපත් වෙනවා කියලත් කියනවා?

2020 ජනපතිවරණය ගැන ජනපතිවරයා නිශ්චිත ප්‍රකාශයක් කරලා නෑ. ශ්‍රීලනිපයේ බොහොමයක් පිරිස්, ජනවාරි අට පරිවර්තනයට පස්සේ මේ ආණ්ඩුකරණයට ඇතුළු වුණ අය. යම්කිසි විදිහකින් දැන් පවතින ජනාධිපතිධුරය අහෝසි කරලා, පාර්ලිමේන්තුවට බලය දුන්නොත්, ඉදිරියට ඒමේ හැකියාව තියෙන පුද්ගලයා කවුද? අද ජනපතිවරයා සමග ඉන්න ශ්‍රීලනිප මන්ත්‍රීවරු අභිබවා ඉදිරියට එන බලවේගය මහින්ද රාජපක්ෂ බලවේගය නෙවෙයිද. ඒ විදිහට මහින්ද රාජපක්ෂ මහතා බලයට ආවොත් අනෙක් පිරිසගේ ඉරණම මොකක් වෙයි ද. මෙතැන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සියලු දෙනාම මේ කාරණය සාකච්ඡාවට ගත යුතුයි, වගේම සියලු පාර්ශ්ව සමඟ එකඟතාවයකට පැමිණිය යුතුයි. 2020 තරගයට මහින්ද රාජපක්ෂ මහත්තයා ආවොත් එතුමා පරාජය කළ යුත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා හා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සුසංයෝගයෙන්මයි.

* මහින්ද රාජපක්ෂ මහත්තයාට එහෙම චෝදනා කළාට, වසර දෙකක් යන්නට මත්තෙන් ආණ්ඩුව තුළ දූෂිතයන් සැරිසරණව කියලයි ඔවුන් පෙන්වා දෙන්නේ?

මේ හැම කාරණයක්ම ආණ්ඩුව සැහැල්ලුවකට ගත්තා. මේක මම දකින්නේ ආණ්ඩුවේ නායකයන් රේල් පාරේ සෙල්ෆි ගැහැව්වා වගේ වැඩක්. සෙල්ෆි ගගහා ඉද්දි දන්නෙම නැතිව තමන්ගේ එකෙක් යටවෙලා ගියා. ආණ්ඩුව මේ කාරණය බරපතළ විදිහට ගත්තෙ නෑ. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ආණ්ඩුවේ කෙනෙක්ම මේකට බිලිවුණා. අපි කියන්නේ අල්ලස් පැත්තකට දාන්න, මිනී මැරුම් ගැන ඇයි හොයන්න බැරි වුණේ.

ආණ්ඩුව පැත්තෙන් දේශපාලන නායකත්වයක් නොමැති වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා සාර්ථකව දේශපාලනය කරනවා. ඔහුට අභියෝගයක් තියෙනවා, අද ඔහුගේ පවුලේ උදවිය ඉන්නේ ගිනිගොඩක. මේකෙන් බේරෙන්න නම් ඔහු කොහොම හරි දේශපාලනය කරන්න ඕන. ජනවාරි අට පැරදිලා කන් කඩාවැටිලා ගිය මහින්ද රාජපක්ෂ මහත්තයා මාස තුන හතර යනකොට පන්සල් ගානේ යනවා. කාලය අරගෙන මොකුත් නොවෙන තැන ඔහු බලවේගය හදා ගත්තා. අද ආණ්ඩුවට වෙලා තියෙන්නේ, ආණ්ඩුවේ ඉන්න අය එළියට දාන්නයි. මේකෙන් වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාට දේශපාලනය කරන්න අවස්ථාවක් ලැබීම.

* චෝදනාවලට අනුව දූෂිතයන්ට දඬුවම් නොදෙන්න හේතුව මොකක්ද?

අද වෙලා තියෙන්නේ, මේ දූෂිත හොර කල්ලිය, තමන්ගේ පිරිස ඉස්සරහට ගිහින් කියනවා, අපි දූෂණ කළේ නෑ, මිනී මැරුවේ නෑ, වංචා කළේ නෑ කියලා. මම ඊයේ පෙරේදා දැක්කා නාමල් රාජපක්ෂ මහත්තයා තවමත් කියනවා තාජුඩින් මැරුණේ රිය අනතුරකින් කියලා. හැබැයි එහෙම කියන්නේ එයාලගේ අය ඉස්සරහට ගිහින්. අපි ඉස්සරහට ඇවිත් එහෙම කියන්න එන්නෙ නෑ. අද අපි දේශපාලනය කරන්නේ එවැනි පිරිසක් එක්ක. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පිරිසට අති විශාල මනෝ ව්‍යාධියක් තියෙනවා. මේකට කරන්න තියෙන්නේ ආණ්ඩුවේ යාතුකර්මය කරන එකයි. එතකොට ප්‍රශ්නය ඉවරයි.

* ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබියදීත් එවැනි දූෂිතයන්ට එරෙහිව කටයුතු කරන්න බැරි මොකද කියන චෝදනාව එල්ල වෙනවා නේද?

පැහැදිලිවම දුටුව කාරණය තමයි, ජනතා අධිකරණය ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහත්තයා පරාද වෙලා ඉවරයි. අසාහය බලයක් තිබුණ කෙනෙක්ව ලක්ෂ හතරහමාරකින් පරාජය වුණා කියන්නේ ඔහු ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ජනතාව දැනගෙන හිටියා රාජපක්ෂ පවුලේ කල්ලිය හා වටේ හිටපු පිරිස කරපු දේ.

දැන් තියෙන්නේ මේක ජනතාවට ඔප්පු කරලා පෙන්වන එක නෙවෙයි නීතිය හමුවට ගේන එකයි. ශ්‍රීලනිප යේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එතුමාගේ ස්ථාවරය, තහවුරු කර ගන්නනම් මේ වංචනිකයන්ට දඬුවම් දෙන්න ඕන. මේ කාරණය ශ්‍රීලනිපයට තියෙන අභියෝගයක්. අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු අනෙකුත් පක්ෂවලටත් අභියෝගයක්. මේ දේ හරියට කළේ නැත්නම් යහපාලන ආණ්ඩුව ද්‍රෝහී වැඩක් කළා කියලා ජනතාව කියන්න පුළුවන්. මේ කාරණයෙන් වෙන්නේ දිනාගත යුතු පාර්ශ්වයන් දිනාගැනීම අනතුරකට ලක්වීම හා ජනවාරි අට පරිවර්තනයට දායක වූවන් කන් කඩන් වැටිලා ආතක් පාතක් නැති තත්ත්වයකට පත්වීම. ඒ නිසා මේ කාරණය අපට භයානක බරපතළ ප්‍රශ්නයක්.

* වත්මන් ආණ්ඩුවේ චෝදනා එල්ලවූවන්ට දඬුවම් ලැබෙමින් තියෙනවා. එහෙම වෙන්නේ, යහපාලනය තියෙනවා කියන්න ද?

යහපාලන ආණ්ඩුවක් තිබුණ නිසා තමයි මහ බැංකුවේ සිදුවුණ මූල්‍ය වංචාව හෙළිදරව් වුණේ. අද ඔබ මගෙන් අහන මේ ප්‍රශ්නය අහන්න හරි ලැබුණේ යහපාලන ආණ්ඩුව නිර්මාණය කළ පරිසරය නිසයි. මීට පෙර කාටද පුළුවන් වුණේ ග්‍රීක් බොන්ඩ් එක ගැන කතා කරන්න, ඒ වගේම තමයි කාටද පුළුවන් වුණේ පර්පචුවල් ට්‍රෙෂරීස් එක ආරම්භ කළේ කවුද කියලා කතා කරන්න. මේ ආණ්ඩුවෙත් ප්‍රශ්නයක් තියෙනවා.

වංචාවට මුල් වුණ සමාගම ආරම්භ කරපු අය නීතිය ඉදිරියට ගේන්නෙ නෑ. ඒ සමාගමට අවසර බලපත්‍රය දෙන්නේ අජිත් නිවාඩ් කබ්රාල් කියන හිටපු මහ බැංකු අධිපතිවරයා. ඔහුගේ සහෝදරිය ඒ සමාගමේ අධ්‍යක්ෂ ධුරයක ඉන්නවා. ඔවුන් එදා මිලියන 300කින් තමයි ගිවිසුම් අත්සන් තැබිම ආරම්භ කළේ. ඊට මාස තුන හතරකට පස්සේ ඔවුන්ගේ ආදායම සියයට හාරසියයකින් විතර වැඩි වෙනවා. එදා තිබුණ ඒ පරිසරය ගැන කවුරුත් කතා නොකළේ ඇයි? 2013 ඉදලා මේ ප්‍රශ්නය ගලා ගෙන ආවා.

එහෙම ඇවිත් අවසානයේ රවී කරුණානායක මහත්තයා සහ අදාළ පිරිස මේ කාරණයේ පැටළුණා. කොහොම වුණත්, දූෂණ වංචා හෙළිකර ගත්තේ, දේශපාලකයන්ගේ සද්භාවය නිසා නෙවෙයි. ජනවාරි අට වෙනස පැතූ මහජන බලවේගවල තිබුණ තෙරපුමට මේ ආණ්ඩුව සංවේදී වුණා. හැබැයි ආණ්ඩුව කල්මරමින්, නිද්‍රාශීලීව ගමන් කළ නිසා මීට කලින් දූෂණ චෝදනාවලට ලක් වූවන්ට දඬුවම් දෙන්න බැරි වුණා.

* එදා කඳවුරු බැඳපු වාමාංශික ව්‍යාපාරය, සාධාරණ සමාජය, පුරවැසි බලය, අලුත් පරපුර වැනි සංවිධාන වත්මන් ආණ්ඩුවේ ගමන සම්බන්ධයෙන් දකින්නෙ කොහොම ද?

මම හිතන්නේ, මූලික වශයෙන් එදා හිටපු පුරවැසි ක්‍රියාකාරීත්වය නැවත වතාවක් සක්‍රීය වෙන්න ඕන. ඒ ක්‍රියාකාරීත්වය දුර්වල වුණ නිසා තමයි ආණ්ඩුවට මේ කාරණා මඟහරිමින් කටයුතු කරන්න ලැබුණේ. ඇතැම් තැන්වලදී පුරවැසි ක්‍රියාකාරකම්වලත් දුර්වලතා තිබුණා. ඒ අයත් යම් යම් තැන්වලදි පාර්ශ්වකාර ස්වභාවයක් ගත්තා. මහ බැංකු සිදුවීමේ දී ඔවුන්ට මුලදීම ආණ්ඩුවට බලපෑම් කරන්න තිබුණා මේවා වහාම නවත්වන්න කියලා. ඒක පුරවැසි බලපෑමෙන් සිදුවුණේ නෑ.

ඒ නිසා තමයි දෙවැනි වතාවටත් මේ වංචාව සිදු වුණේ. පුරවැසි ව්‍යාපාරයට සම්බන්ධ සමහර පාර්ශ්ව හිතුවා, අපි පත්කරපු ආණ්ඩුවට එකවර ගහන්න හොඳ නෑ කියලා. ඒක නෙවෙයි කරන්න තිබුණේ, මේ දේශපාලනඥයොත් එක්ක එහෙම වැඩ කරන්න බෑ. ඔවුන් මේ නරකාදිය ඇතුළෙන්ම ආව අය.

ඔවුන් එක්ක ගැටෙන්න ඕන පුරවැසි බලයත් එක්ක. ඒක දුර්වල කරගත්තොත් ආණ්ඩුවට හිතුමතේ යන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ පුරවැසි ව්‍යාපාරයේ භූමිකාව නැවත අවශ්‍යයි. ඒ ව්‍යාපාර අකර්මන්‍ය වෙලා බෑ. නැවත වතාවක් අපට සාකච්ඡාවක් අවශ්‍යයි. හැට දෙලක්ෂය නිහඬ වුණා මිසක් මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟට ගියේ නෑ. පසුගියදා විහාරමහාදේවි උදා්‍යානයේ පැවැති සත්‍යග්‍රහය 62 ලක්ෂය නිහඬ නැති බව පෙන්නුම් කළා. ඒ නිසා මම ප්‍රගතිශීලී ජනතාවට, පුරවැසි ව්‍යාපාරවලට, වාමාංශික කඳවුරුවලට කියනවා, නැවත මේ රට නිවැරැදි මාවතට ගන්න ඉදිරියට එන්න කියලා.

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප - ගයාන් පුෂ්පික


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...