සාමූහික වගකීම | දිනමිණ

සාමූහික වගකීම

මේ දිනවල ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ උණුසුම් අයුරින් කථාබහට ලක්වන තවත් වැදගත් මතෘකාවක් බවට සාමූහික වගකීම පත්ව ඇත. හේතුව සාමූහික වගකීම කඩ කළාය යන චෝදනාව යටතේ අධිකරණ සහ බුද්ධශාසන යන අමාත්‍ය ධුර දෙකෙන් විජයදාස රාජපක්‍ෂ ඉවත් කිරීමට අගමැතිවරයාගේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ උපදෙස් මත ජනාධිපතිවරයා පියවර ගැනීමය. සමහරු එය දකින්නේ යහපත් දෙයක් ලෙසය. තවත් සමහරු එය දකින්නේ අයහපත් දෙයක් ලෙසය. විජයදාස රාජපක්‍ෂ හිටපු අමාත්‍යවරයා කියන්නේද තමන් කෙළින් සහ විවෘතව කථාකළ නිසා අමාත්‍ය ධුරවලින් පන්නා හැරිය බවය.

දේශපාලන සමාජයක් තුළ සිදුවන මෙවැනි සිදුවීම් අරභයා ඉහත දැක්වූ ආකාරයට පක්‍ෂ විපක්‍ෂ අදහස් ඉදිරිපත් වීම සාමන්‍ය දෙයකි. හේතුව මෙවැනි සිද්ධීන්වල දී පැමිණිලිකරුවන් මෙන්ම විත්තිකරුවන්ද තමන්ගේ නිර්දෝෂීභාවය, තමන්ගේ සාධාරණභාවය හා යුක්තිසහගතභාවය ඔප්පු කිරීම සඳහා අදහස් ඉදිරිපත් කරන බැවිනි. මේ හේතුවෙන් විජේදාස රාජපක්‍ෂ හා සම්බන්ධ දේශපාලන සංසිද්ධිය අතිශය ආන්දෝලනාත්මක දෙයක් බවට මේ වනවිට පත්ව ඇති අතර මේ හා සම්බන්ධව මතුවී ඇති මූලිකම ගැටලූව වන්නේ කවුද හරි යන්න නිශ්චිතව හඳුනා ගැනීමට තරම් පිටිවහලක් සිද්ධිය අරභයා ඉදිරිපත් වී ඇති අදස් උදහස්වලින් ලබා ගැනීමට නොහැකි වීමය.

මෙම සිද්ධිය නිවැරදිව තේරුම් ගැනීම සඳහා අවධානය යොමුකළ යුතු මූලික කරුණු දෙකකි. එකක් සාමූහික වගකීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්නය. දෙවැන්න විජේදාස රාජපක්‍ෂ හිටපු අමාත්‍යවරයා විසින් සැබෑ ලෙසම සාමූහික වගකීම කඩකළාද යන්නය.

සාමූහික වගකීම යනු කැබිනට් ආණ්ඩුක්‍රමය තුළ විධායක බලතල ක්‍රියාවට නැංවීමේ වගකීම පැවරුණ කැබිනට් මණ්ඩලය සම්බන්ධව අදාළ වන ඉතාම වැදගත් දේශපාලන සංකල්පයකි. කැබිනට් ආණ්ඩුක්‍රමයක දේශපාලන විධායකය වන අගමැති ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය එක්කෝ බ්‍රිතාන්‍යයේ සිදුවන ආකාරයට පත්විය හැක. නැතිනම් වර්තමාන ලංකාවේ පත්වන ආකාරයට සිදුවිය හැක. මේ කුමන ක්‍රමයකට පත්වූවද ඔවුන් ක්‍රියාකළ යුත්තේ සාමූහික වගකීමේ සිද්ධාන්තයට අනුවය. මෙයින් අවධාරණය කරන්නේ යම් කැබිනට් අමාත්‍යවරයෙක් කැබිනට් මණ්ඩලය ගන්නා සමහර තීරණවලට පෞද්ගලිකව එකඟ නොවූවද එම තීරණය ගැනීමේ දී එකඟතාව පළකළා නම් ඉන් පසුව එයට පටහැනිව කථාකිරීම හෝ ක්‍රියාකිරීම නොකළ යුතු බවය.

එමෙන්ම එම තීරණයට ප්‍රසිද්ධියේ සහයෝගය දෙමින් එය ක්‍රියාවට නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය සමඟ සාමූහිකව ක්‍රියාකළ යුතු බවය. වෙනත් ආකාරයනට කියනවා කැබිනට් මණ්ඩලය අවසාන වශයෙන් තීරණයක් ගත් පසු සෑම කැබිනට් අමාත්‍යවරයෙකුම එම තීරණයට බැඳී සිටින බවය. නමුත් තීරණ ගැනීමට ප්‍රථමයෙන් අදාළ කරුණ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කිරීමේ දී පෞද්ගලික මතය ප්‍රකාශ කරමින් ඕනෑ නම් එම තීරණවලට විරුද්ධ වීමට සෑම කැබිනට් ඇමතිවරයෙකුටම අයිතිය තිබේ.

එසේම සාකච්ඡා අවසානයේ දී යම් අමාත්‍යවරයෙකුගේ මතයට පටහැනි වන තීරණයක් කැබිනට් මණ්ඩලය ගතහොත් එහි දී විරුද්ධ මතය දැරූ අමාත්‍යවරයාට අනුගමනය කළහැකි විකල්ප ක්‍රියාමාර්ග දෙකක් තිබේ.

එකක් තමන්ගේ පෞද්ගලික මතය කැබිනට් මණ්ඩලයේ සාමූහික මතය වෙනුවෙන් කැප කොට එය වෙනුවෙන් පෙනී සිටීමය. දෙවැන්න අමාත්‍ය තනතුරින් ඉල්ලා අස් වී ඒ ගැන ජනතාවට ප්‍රසිද්ධියේ හෙළිකිරීමය. ඉල්ලා අස් නොවුණ හොත් කැබිනට් තීරණය ආරක්‍ෂා කිරීමට අමාත්‍යවරයා අත්‍යන්තයෙන්ම බැඳී සිටී. යම් හෙයකින් එවැනි තීරණයකට එරෙහිව විරුද්ධ පක්‍ෂය විසින් ආණ්ඩුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළහොත් එයට විරුද්ධව ආණ්ඩුව සමඟ එක්වෙමින් ඡන්දය ප්‍රකාශ කිරීමද සාමූහික වගකීම යටතේ අමාත්‍යවරුන් බැඳී සිටින අනෙක් බන්ධනය වේ.

මෙයින් පෙනී යන්නේ සාමූහික වගකීම සිද්ධාන්තය යටතේ අමාත්‍යවරුන් හැසිරිය යුත්තේ සහ ක්‍රියාකළ යුත්තේ ඉතාම දැඩි ඒකාග්‍රතාවක් හා එක්සත්භාවයක් යන මූලධර්ම පදනම් කරගෙන බවය. ඉතාම කෙටියෙන් කියනවා නම් එම හැසිරීම කළ යුත්තේ දොන් නම් දොන් නැතිනම් සිමන් නම් යන න්‍යායට අනුවය. දොන් සිමන් යන ද්විත්ව චරිත එකම අවස්ථාවක දී රඟපෑමට සාමූහික වගකීමේ සිද්ධාන්තය යටතේ තරාතිරම කුමක් වූවද කිසිම අමාත්‍යවරයෙකුට හිමිකමක් නොමැත.

මෙම සිද්ධාන්තය කඩ කරන්නේ කවරෙක්ද එක්කෝ ඔහු කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්විය යුතුය. නැතිනම් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විසින් ඔහු අමාත්‍ය ධුරයෙන් පන්නා හැරිය යුතුය.

කැබිනට් ආණ්ඩුක්‍රමය තුළ සාමූහික වගකීමේ සිද්ධාන්තයට මෙයාකාර වැදගත් කමක් දී තිබෙන්නේ ඇයිද යන ප්‍රශ්නය මෙහි දී මතු වේ. මේ සම්බන්ධයෙන් බලපා තිබෙන එක් හේතුවක් වන්නේ කැබිනට් රහස් ආරක්‍ෂා කිරීමට ඇති අවශ්‍යතාවයයි. මේ අනුව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කරන කරුණු ඉතාම දැඩි රහස්‍යභාවයකින් ආරක්‍ෂා කිරීමට කැබිනට් අමාත්‍යවරුන් අත්‍යන්තයෙන්ම බැඳී සිටී. කුමන හේතුවක් නිසාවත් එම කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හෝ වෙනත් අය සමඟ සාකච්ඡා කිරීම නොකළ යුතුය යන්න රහස්‍යභාවය ආරක්‍ෂා කිරීම හා බැඳී පවතින අනෙක් සම්ප්‍රදායන් වේ. තවත් හේතුවක් වන්නේ අමාත්‍ය මණ්ඩලයේ සාමූහික ශක්තිය හා එක්සත්භාවය පවත්වා ගෙනයාමට ඇති අවශ්‍යතාවයයි.

සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලයක් තුළ මෝඩයින් මෙන්ම ප්‍රාඥයින්ද උගතුන් මෙන්ම නූගතුන්ද සියල්ල දත් අය මෙන්ම කිසිත් නොදන්නා අයද තරුණයින් මෙන්ම මහල්ලන්ද සිටිය හැක. සාමකාමී අය මෙන්ම ප්‍රචණ්ඩකාරීන්ද සිටිය හැක. විවිධ දේශපාලන අදහස් උදහස් දරන අය සිටිය හැක.

ආගමික අන්තවාදීන් මෙන්ම නිරාගමිකවාදීන්ද අන්ත වාර්ගිකවාදීන් මෙන්ම ජාතික සංහිඳියාව අගය කරන අයද විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට පක්‍ෂ අය මෙන්ම එයට විරුද්ධ දේශමාමකයින්ද සිටිය හැක. ඕනෑම අවස්ථාවක කැබිනට් මණ්ඩලයක් ගොඩ නැ‍ඟෙන්නේ ඉහත දැක්වූ ආකාර විසංවාදී අදහස් උදහස්වලින් යුත් පුද්ගලයන්ගෙනි. මෙයාකාරයට කැබිනට් මණ්ඩලයක් තුළ පවතින විවිධත්වය යටපත් කර ගනිමින් ආණ්ඩුව පවත්වා ගෙනයාමට අවශ්‍ය ඒකීයත්වය ගොඩ නඟන්නේ කෙසේද? මේ සඳහා ඇති එකම උපාය මාර්ගය සාමූහික වගකීමේ සිද්ධාන්තයයි.

සාමූහික වගකීමේ සිද්ධාන්තය ආරම්භ වන්නේ සහ වර්ධනය වන්නේ කැබිනට් ආණ්ඩුක්‍රමය හා සම්බන්ධ මූලික ආණ්ඩුක්‍රම සම්ප්‍රදායක් ලෙසය. කැබිනට් ආණ්ඩුක්‍රමය ඉදිරියට පැමිණීමේ දී සමහර රටවල්වල එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අන්තර්ගත කොට රටේ මූලික නීතිය මගින්ම ආරක්‍ෂා කරන වැදගත් දේශපාලන සිද්ධාන්තයක් බවට පත්කර තිබෙන ආකාරයද දැකිය හැක. ලංකාවේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (1) සහ 42 (2) වගන්ති නිදසුන්ය. 42 (1) වගන්තියේ දැක්වෙන ආකාරයට; ‘‘ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේය’’. 42 (2) වගන්තියේ දැක්වෙන ආකාරයට; ‘‘අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට හා පිළිතුරු බැඳීමට බැඳී සිටින්නේය’’.

ඉහත දැක්වූයේ සාමූහික වගකීමේ සිද්ධාන්තය හා සම්බන්ධ න්‍යායාත්මක තත්ත්වයයි. මීළඟට සළකා බැලිය යුත්තේ විජයදාස රාජපක්‍ෂ හිටපු අමාත්‍යවරයා විසින් මෙම මූලධර්මය කඩකර තිබෙනවාද යන්නය. ඔහු පිළිබඳ ප්‍රශ්නය මතුවන්නේ හම්බන්තොට වරාය චීන සමාගමකට බදුදීමට කැබිනට් මණ්ඩලය සාමූහිකව ගත් තීරණයට ඔහුද කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක්ව සිටිමින් අනුමැතිය දී පසුව එම තීරණය විවේනය කරමින් අදහස් ප්‍රකාශ කිරීමට පටන් ගැනීම හේතුවෙනි. ඔහුගේ එම ප්‍රකාශ ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරභාවයට පමණක් නොව රටේ ආර්ථික සංවර්ධනය උදෙසා ආණ්ඩුව ක්‍රියාවට නැංවීමට අපේක්‍ෂා කරන ප්‍රතිපත්ති වලටද ඉතාමත්ම අහිතකර ආකාරයෙන් බලපෑ බව අමුතුවෙන් කිවයුතු නොවේ.

ඔහු ප්‍රකාශ කරන සමහර අදහස් සබැවින්ම සත්‍ය වන්නේ නම් මේ රටට විදේශීය ආයෝජකයින් ගෙන්වා ගැනීම කිසිසේත්ම ලෙහෙසි හා පහසු කාර්යයක් නොවනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වන වගන්තිය ගැන (මෙය ඔහුට වැර දී ඇත. නිවැරදි වගන්තිය 157 ය) ඔහු කරන සඳහන නිදසුන්ය. කෙසේවූවද විජයදාස රාජපක්‍ෂ හිටපු ඇමතිවරයාගේ කියුම් කෙරුම් සහ දේශපාලනික හැසිරීම ෙදස බලන විට පෙනී යන්නේ ඔහු විසින් බරපතල ලෙස සාමූහික වගකීමේ සිද්ධාන්තය කඩකර ඇතිවා පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන වගන්තියද කඩකර ඇති බවය. එමනිසා අමාත්‍ය තනතතුරුවලින් ඔහු ඉවත් කිරීම කිසිසේත්ම අසාධාරණ ෙහා් අයුක්ති ෙහා් සහගත ක්‍රියාවක් වන්නේ නැත.

සැබැවින්ම අසාධාරණ සහ අයුක්ති සහගත වන්නේ විජයදාස රාජපක්‍ෂ හිටපු ඇමතිවරයා කළ වරද එයාකාරයටම කරන අනෙක් ඇමතිවරුන්ටද එම දඬුවම එයාකාරයෙන්ම නොදීමය. එසේ නොකර ආණ්ඩුව පවත්වා ගෙන යාමට නොහැකි වන බව ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද අවශ්‍යයෙන්ම තේරුම් ගත යුතුය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...