මහවැලි ජන හද ගුවනට නැංවුව ප්‍රජා ගුවන් විදුලිය | දිනමිණ

මහවැලි ජන හද ගුවනට නැංවුව ප්‍රජා ගුවන් විදුලිය

මෙරට සුවිශේෂීය සංවර්ධන ව්‍යාපෘතියක් වූ මහවැලි කඩිනම් ව්‍යාපෘතියේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා පැවැති කතිකාවතකදී සංවර්ධන පණිවිඩ ප්‍රජාව අතරට ගෙනයාම හා මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහාත්, මහවැලි ප්‍රජාව සංවර්ධන ක්‍රියාවලියට හවුල් කර ගැනීමට ඔවුන් පෙලඹවීමට හා සවිබල ගැන්වීමට මහවැලි ප්‍රජාවට ආමන්ත්‍රණය කළ හැකි සන්නිවේදන මාධ්‍යයක අවශ්‍යතාවයක් පැන නැඟුණි. ගුවන් විදුලිය ජනතාව වෙත යා හැකි ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් නිසාත්, ප්‍රජාවට පහසුවෙන් පරිහරණය කළ හැකි මාධ්‍යයක් නිසාත් ගුවන් විදුලි සන්නිවේදන මෙවලම් උපයෝගීකොටගෙන මෙම කාර්යය පලදායී ලෙස ඉටුකර ගැනීම සඳහා මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කේන්ද්‍රීයකොටගෙන යුනෙස්කෝ අත්දැකීම් හා විශේෂඥ මඟපෙන්වීම ගුවන් විදුලි සේවාවක් ලෙස 1981 වසරේදී මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ස්ථාපිත කරන ලදී.

සමාජ ශක්තියට ගුවන් විදුලි තරංග

මහවැලි ප්‍රජාව ඉලක්කකොට ස්ථාපිත කරන ලද මහවැලි ප්‍රජා ගුවන් විදුලි සේවා‍ෙව් සංකල්ප හා අරමුණු අතර මහවැලි සංවර්ධන කලාපවල පදිංචිවූ ජනපදිකයන්ගේ ආර්ථික - සාමාජීය හා සංස්කෘතික කටයුතු නංවාලීමට හා සංවර්ධන ක්‍රියාදායමයට හවුල් කර ගැනීමට ඔවුන් දැනුවත් කිරීම හා පෙලඹවීම, ඔවුන් සතු සංස්කෘතික උරුමයන් රැකගැනීම, ප්‍රජාව සතු දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම, ප්‍රජා ගැටලුවලට විසඳුම් ලබාදීමට හා ප්‍රජා අවශ්‍යතා ඉටුකරදීමට ආධාරකයක් වීම, ප්‍රජාවගේ භෞතික සංවර්ධනය මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනය, මාධ්‍ය භාවිතයෙන් ඈත්ව සිටින ප්‍රජාව මාධ්‍ය භාවිතයට හුරුකිරීම, ප්‍රජාවගේ හඬ අවදි කිරීම ආදිය විණි. මහවැලි ප්‍රජා ගුවන් විදුලියේ ප්‍රථම උපදේශකවරයා වූයේ ඩෙන්මාර්ක් ගුවන් විදුලි ශිල්පි නාලිකාවේ ප්‍රධානියා වූ නූඩ් එබර්සන් මහතාය. මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියේදී මහවැලි සංවර්ධන කලාපවලට ගොස් ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් පිළියෙල කළේ ද ඔහුය.

එබර්සන් මහතා මහවැලි ප්‍රජා ගුවන් විදුලියට බඳවාගත් ප්‍රථම සන්නිවේදන කණ්ඩායම අමතා කීවේ මහවැලි සංවර්ධන ක්‍රියාවලියේ අරමුණු සාර්ථක කරගැනීමට මහවැලි ප්‍රජා ගුවන් විදුලිය සක්‍රීය ලෙස දායකවිය යුතු බවත්, ප්‍රජාව තමන්ගේ ජීවන තත්ත්වය නංවාගැනීමට තමන්ම මූලිකව කටයුතු කළ යුතු බව හා අනුන් හෝ රජයෙන් කරනා තුරු බලා නොසිට තමන්ට කළ හැකිදේ කිරීමට ප්‍රජාව දැනුවත් කරන ලෙසය. තවද මහවැලි ප්‍රජාවගේ ගැටලු නිසි ලෙස අවබෝධකරගෙන ඒවාට විසඳුම් ලබාදීමට හා ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරදීමට අතරමැදියකු ලෙස මහවැලි ප්‍රජා ගුවන්විදුලිය කටයුතු කළ යුතු බවය. තවද සාම්ප්‍රදායානුකූලව ජන කණ්ඩායම්වලට සංවර්ධන පණිවිඩ ගෙනයාමේදී හා බිම්මට්ටමේ ප්‍රජාව සංවර්ධන ක්‍රියාවලියට හවුල්කර ගැනීමට දැනුවත් කිරීමේ හා පෙලඹවීමේ ක්‍රියාවලිය තුළදී ඔවුන්ගේ සාම්ප්‍රදායානුකූල ගති ස්වභාවය සැලකිල්ලට ගත යුතු බව ද ඔහු කියා සිටියේය.

යුනෙස්කෝ ආයතනය මහවැලි ප්‍රජා ගුවන් විදුලි සන්නිවේදකයින්ට තම කාර්ය භාරය සාර්ථකව ඉටු කිරීම සඳහා දේශීය හා විදේශීය වැඩමුළු මඟින් මනා පුහුණුවක් ලබාදුන් අතර ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සඳහා දේශීය හා විදේශීය සම්පත්දායකයින්ගේ සහභාගීත්වයෙන් වරින්වර වැඩමුළු ද ‍පවත්වන ලදී. මහවැලි ප්‍රජා ගුවන් විදුලිය මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ අරමුණු වූ කෘෂිකාර්මික සංවර්ධනය, බලශක්ති උත්පාදනය, රැකියා සම්පාදනය, ගංවතුර පාලනය, ජනාවාසකරණය ආදිය පිළිබඳව හා ඉන් අත්වන ප්‍රතිලාභ පිළිබඳවත් මහවැලි ප්‍රජාව දැනුවත් කරමින්, මහවැලි ප්‍රජා ගුවන් විදුලිය මහවැලි සංවර්ධන ක්‍රියාවලියට සක්‍රීය ලෙස දායක විය.

මහවැලි ප්‍රජා ගුවන් විදුලියේ කාර්ය භාරය ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සුවිශේෂීය දායකත්වයක් ලැබුණු අතර, ග්‍රාමීය සන්නිවේදනයට නව ප්‍රවේශයක් ලබාදෙමින් මහවැලි ප්‍රජා ගුවන් විදුලි මයික්‍රෆෝනය මහවැලි ප්‍රජාව අතට පත් කළේය. මහවැලි ප්‍රජා ගුවන් විදුලි සේවා, මහවැලි සංවර්ධන කලාපවල ස්ථානගත කිරීම නිසා මහවැලි ප්‍රජාවට මහවැලි ප්‍රජා ගුවන් විදුලි සේවාවලට පහසු ප්‍රවේශයක් තිබුණි. මහවැලි සංවර්ධන කලාප ආශ්‍රිතව, එනම් මහවැලි ‘එච්’ කලාපය ආශ්‍රිතව මහඉලුප්පල්ලමේද, මහවැලි ‘සී’ කලාපය ආශ්‍රිතව ගිරාඳුරුකෝට්ටේද, මහවැලි ඉහළ කලාපය ආශ්‍රිතව කොත්මලේද, මහවැලි ‘බී’ කලාපය ආශ්‍රිතව පොළොන්නරුවේ අරලගංවිල ද මහවැලි ප්‍රජා ගුවන් විදුලි සේවා ස්ථාපිත කරන ලදී.

මහවැලි ‘සී’ කලාපය ආශ්‍රිතව ගිරාඳුරුකෝට්ටේ මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ස්ථාපිත කිරීම සඳහා යුරෝපා ආර්ථික ප්‍රජාවේ හා මහවැලි අධිකාරියේ අනුග්‍රහය ලබාදුන්නේ එවකට මහවැලි අමාත්‍යවරයාව සිටි ගාමිණී දිසානායක මහතාය. මහවැලි ඉහළ කලාපය ආශ්‍රිතව කොත්මලේ මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ස්ථාපිත කිරීමට කොරියන් රජයෙන් ලද කාර්මික උපකරණ උපයෝගී කර ගනු ලැබූ අතර මහවැලි අධිකාරියේ අනුග්‍රහය ලබාදුන්නේ එවකට මහවැලි අමාත්‍යවරයාව සිටි ගාමිණී අතුකෝරළ මහතාය.

මහවැලි ‘බී’ කලාපය ආශ්‍රිතව පොළොන්නරුවේ, අරලගංවිල ‘පුලසිතිරාවය’ නමින් මහවැලි ප්‍රජා ගුවන් විදුලි සේවාවක් ස්ථාපිත කළේ එවකට මහවැලි අමාත්‍යවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චින්තනයක් අනුවය. ඒ සඳහා මහවැලි අධිකාරියේ අනුග්‍රහ‍ය ද ලබාදුන්නේය. එතුමාට මහවැලි සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව පුළුල් දැක්මක් මෙන්ම මෙම ‍ෙස්වාව පවත්වාගෙන යාමේ දිගුකාලීන සැලසුමක් ද තිබිණි. ශ්‍රව්‍ය මාධ්‍ය පමණක් නොව දෘෂ්‍ය මාධ්‍යය ද එක් කිරීමට අදහස්කර තිබිණි. නමුත් ගුවන් විදුලි ප්‍රතිපත්ති සම්පාදකයන්ට මහවැලි ප්‍රජා ගුවන් විදුලි සංකල්ප හා අරමුණු පිළිබඳව නිසි අවබෝධයක් නොතිබීමත්, නිලධාරිවාදයත් නිසා ප්‍රජා ගුවන් විදුලි සේවා අකර්මන්‍ය විණි. 2001 වසරේ මා විශ්‍රාමගන්නා විට මෙම මහවැලි ප්‍රජා ගුවන් විදුලි සේවා සියල්ල ද සක්‍රීයව පැවතුණි.

මහවැලි කලාපවල මහවැලි ප්‍රජාවගේ ජීවනෝපාය කාෂිකර්මය වූ නිසා කෘෂි සන්නිවේදනය මහවැලි ප්‍රජා ගුවන් විදුලියේ ප්‍රධාන සංන්නිවේදන ඉසව්වක් විණි. රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට දේශීය කෘෂිකර්මාන්තයේ වැදගත්කම හා දේශීය කෘෂිකර්මාන්තයේ වටිනාකම පිළිබඳ මහවැලි ගොවි ප්‍රජාව දැනුවත් කරමින් ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීමට හා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා මහවැලි ගොවි ප්‍රජාවට කෘෂි දැනුම, කෘෂි තොරතුරු, කෘෂි පණිවිඩ ආදිය ලබාදෙමින් හා ගොවි අවශ්‍යතා ඉටුකරදීමට ආධාරකයක් වෙමින් මහවැලි ප්‍රජා ගුවන් විදුලි‍ය ගොවි ගුවන් විදුලියක් ලෙස ක්‍රියා කළේය.

 කුඹුරු අස්වැද්දීමේ සිට අස්වැන්න අලෙවිය දක්වා වගාවට අදාළ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ උපදෙස්, තොරතුරු, පණිවිඩ, දැනුම ද, ජල කළමනාකරණය, නව තාක්ෂණය හා නව ගොවිතැන් ක්‍රම, තිරසර හා පරිසර හිතකාමී කෘෂිකර්මය, කෘෂිකර්මය සඳහා රජය කරනු ලබන ආයෝජන, කෘෂි කර්මාන්තය පිළිබඳ විද්‍යාත්මක දැනුම මෙරටට ගැළපෙන ලෙස යොදාගැනීම, ගොවි අත්දැකීම් හුවමාරුව, කෘෂිකාර්මික පිළිවෙත්, කෘෂි නිෂ්පාදනවල ප්‍රමිතිය හා ගුණාත්මක බව, ගංවතුර, නියඟය ආදී ගොවියාට මුහුණදීමට සිදුවන ස්වභාවික ව්‍යසන, වෙළෙඳපොළ තොරතුරු, ගෙවතු වගා ආදී කෘෂි ක්ෂේත්‍රයට අදාළ සියලු කරුණු කෘෂි වැඩසටහන්වල අන්තර්ගත විණි. තවද මෙම කාර්යය සඳහා මහවැලි සංවර්ධන කලාපවල නේවාසික කළමනාකරුවන් ඇතුළු අදාළ නිලධාරින්, කෘෂි ව්‍යාප්ති සේවා නිලධාරින්, කෘෂි විශේෂඥවරුන්ගේ සහයෝගය හා සහභාගීත්වය මහවැලි ප්‍රජා ගුවන් විදුලියට ලැබිණි.

ආකල්ප වර්ධනයට දායක වීම

මහවැලි ප්‍රජා ගුවන් විදුලිය පරිසර සන්නිවේදනය තුළ පරිසරයේ ඇති වටිනාකම හා වැදගත්කම පිළිබඳව මහවැලි ප්‍රජාව දැනුවත් කරමින් ඔවුන්ගේ පරිසර හිතකාමී ආකල්ප වර්ධනය කළේය. මහවැලි ප්‍රජා ගුවන් විදුලියේ පාරිසරික වැඩසටහන් තුළ පරිසරයට සංවේදීවීම හා ළෙන්ගතුවීම, පරිසරය රැකගැනීමට ප්‍රජා වගකීම හා යුතුකම්, පරිසර සම්පත් කළමනාකරණය, පාරිසරික සමතුලිතබව, පරිසර සංරක්ෂණය, මිනිස් ක්‍රියාකාරකම් හා ස්වභාවික ව්‍යසන නිසා සිදුවන පාරිසරික හානි, ජෛව විවිධත්වයේ වටිනාකම හා ජෛව විවිධත්වය රැකගැනීම, වන විනාශය, වන වගා, වන සංරක්ෂණය, පාරිසරික සම්පත් අධිපරිභෝජනය, පරිසරයට උචිත තාක්ෂණය, අලි මිනිස් ගැටුම, කැළිකසළ කළමනාකරණය, වගුරු බිම් ගොඩකිරීම, විවිධ පාරිසරික දූෂණ යටතේ එනම් ජල, වායු, ශබ්ද, ගොඩබිම්, ඝන අපද්‍රව්‍ය නිසා සිදුවන පාරිසරික හානි, පාරිසරික හානි අවමකරගැනීම ආදී විවිධ පාරිසරික කරුණු අන්තර්ගත වූ අතර පාරිසරික විනාශයන්ට හඬක් නගන ලදී.

බ්‍රිතාන්‍ය විදේශීය සංවර්ධන පරිපාලන ව්‍යාපෘතියේ අධ්‍යාපනික පාරිසරික වැඩසටහන මධ්‍යම පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් 90 දශකයේදී පාසල් ප්‍රජාව ඉලක්කකොට පාරිසරික වැඩසටහන් මාලාවක් පාසල් වෙත ගෙන ගිය අතර ඒ සඳහා මහවැලි ප්‍රජා ගුවන් විදුලියෙන් පූර්ණ මාධ්‍ය දායකත්වය සපයන ලදී. පරිසර හිතකාමී ළමා පරපුරක් බිහිකිරීමටත් පරිසරය පිළිබඳව ළමුන්ගේ ආකල්ප වර්ධනයටත් එම පාරිසරික වැඩසටහන් ඉවහල් වූ අතර පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තුළ රුක්රෝපණ, ගෙවතු වගා , කැළි කසළ කළමනාකරණය, පාසැල් භූමිය පවිත්‍රව හා අලංකාරව තබා ගැනීම, පෝස්ටර්, චිත්‍ර තරග ද අන්තර්ගත විණි.

බ්‍රිතාන්‍යයේ ස්වභාවික සම්පත් හා පරිසර ලෝක ගුවන් විදුලි සේවාවේ ප්‍රධානී මයිකල් පික්ස්ටොක් මහතා 90 දශකයේදී මහවැලි ප්‍රජා ගුවන් විදුලි සන්නිවේදකයින් විවිධ පාරිසරික කරුණු පිළිබඳව දැනුවත් කිරීම සඳහා පාරිසරික වැඩමුළු පවත්වන ලදී. ඔහු මා සමඟ මහවැලි ප්‍රජා ගුවන් විදුලි සේවාවලට මෙන්ම ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වන රුහුණු, රජරට, කඳුරට සේවා නිරීක්ෂණ චාරිකාවලට යාමේදී අවට පරිසර පද්ධති නිරීක්ෂණය කොට, ඉඩම් අවධිමත් ලෙස භාවිතය නිසා සිදුවන පාරිසරික හානි - කඳු පෙදෙස්වල අස්ථාවර බෑවුම් මත නිවාස හා මහාමාර්ග ඉදිකර තිබීම හා කඳු නායයෑමට ඇති සම්භාවිතාව - මෙරට සුන්දර හා ආකර්ෂණීය පරිසර පද්ධති රැකගැනීමේ වැදගත්කම, කසළ කළමනාකරණය සොබාදහමින් ලැබී ඇති වටිනා සම්පතක් වූ පරිසරය රැකගැනීමට ප්‍රජාව පෙළ ගැසිය යුතු බව ආදිය පිළිබඳව කරුණු දැක්වූ අතර එම කරුණු මුල්කොටද පාරිසරික වැඩසටහන් තුළින් ප්‍රජාව පරිසර සංරක්ෂණය සඳහා දැනුවත් කරන ලදී.

මහවැලි ප්‍රජා ගුවන් විදුලිය අධ්‍යාපන සන්නිවේදනය තුළින් විධිමත් හා අවධිමත් අධ්‍යාපනික වැඩසටහන් ප්‍රචාරය කළ අතර, විධිමත් අධ්‍යාපනික වැඩසටහන් පාසල් ප්‍රජාව ඉලක්ක කළ අතර, අවධිමත් අධ්‍යාපනික වැඩසටහන් මඟින් ප්‍රජාවට විවිධ ක්ෂේත්‍ර පිළිබඳව දැනුම හා අවබෝධය ලබාදෙන ලදී. සෞඛ්‍ය සන්නිවේදනය තුළින් දේශීය මෙන්ම බටහිර වෛද්‍ය ක්‍රම ආශ්‍රිතව නිරෝගී දිවිපැවැත්මක් සඳහා වෛද්‍ය උපදෙස්ද ලෙඩ රෝග නිවාරණය හා විවිධ ලෙඩ රෝගවලට ප්‍රතිකාර පිළිබඳව ද වෛද්‍යවරුන් රෝගීහු දැනුවත් කළහ. තවද ඉපැරණි බෙහෙත් වට්ටෝරු - අත්දැකීම් හා පාරම්පරික ඥානය උපයෝගී කරගෙන රෝගීන්ට ප්‍රතිකාර කරන ග්‍රාමීය වෙද මහතුන්ගේ ඉසිවර වෙදකම් පිළිබඳව තොරතුරුද සෞඛ්‍ය වැඩසටහන්වල අන්තර්ගත විණි. ප්‍රජාව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරුකිරීමට දේශීය හා බහිර වෛද්‍යවරුන්ගේ වෛද්‍ය උපදෙස් බෙහෙවින් ඉවහල් විය.

ආගමික සන්නිවේදනය තුළින් දැහැමි දිවිපෙවෙතක් ගත කිරීමට සදහම් ආකල්ප ප්‍රජාවගේ සිත් සතන් තුළ ජනිත කිරීමට හා සදහම් දැනුමෙන් ප්‍රජාව පෝෂණය කිරීමට සදහම් පණිවිඩ, දැහැමි සංකල්ප - බොදු සිතුවිලි ආදියද ඇතුළත් ආගමික වැසඩටහන්ද ධර්ම දේශනා හා පිරිත් දේශනාද මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ප්‍රචාරය කොට ඇත.

මහවැලි ප්‍රජා ගුවන් විදුලිය සංස්කෘතික සන්නිවේදනය තුළින් ‍ප්‍රෞඪ ශ්‍රී ලාංකේය සංස්කෘතිය පිළිබඳ තොරතුරු හා මහවැලි කලාපවල සංස්කෘතියේ විවිධ අංග එළිදැක්විණි. ජනශ්‍රැතියේ විවිධ අංග මහවැලි ප්‍රජා ගුවන් විදුලි වැඩසටහන්වල අන්තර්ගත වූ අතර එමඟින් සුවිශේෂ‍ීය සංස්කෘතික උරුමයන් සුරැකීමට මහවැලි ප්‍රජා ගුවන් විදුලිය දායක විණි. ජනශ්‍රැතියේ විවිධ අංග වූයේ ජන කවි - ජන කථා - ජන ගායනා - ජන යාතු කර්ම - ජන කලා ශිල්ප - ජන ක්‍රීඩා - ජන වෙදකම - ජන ඇදිහිලි හා විශ්වාස - ජන වත් පිළිවෙත් - ජන චාරිත්‍ර වාරිතු - ජන ප්‍රස්ථා පිරුළු - ජන උත්සව - ජන සන්නිවේදනය - ජන නාටක - ජන තේරවිලි - ජන බස - ජන ආචාර සමාචාර - ජන සූප ශාස්ත්‍ර ආදියයි. මහවැලි කලා කෙත අස්වද්දමින් ප්‍රජාවට රසඥතාවය හා විනෝදාස්වාදය ලබාදුනි. කලා කුසලතා එළිදැක්වීමට හා නිර්මාණශීලි හැකියාවන් ඉදිරිපත් කිරීමට - මහවැලි පූජාවට හා ඔවුන්ගේ දූ දරුවන්ට මහවැලි ප්‍රජා ගුවන් විදුලියෙන් අවස්ථාව ලැබිණි.

මහවැලි ප්‍රජාවගේ සංස්කෘතියේ හර පද්ධතිය වැඩසටහන් තුළින් පිළිබිඹු විණි. සෞන්දර්යාත්මක කලා භාවිතයට ප්‍රජාව හුරුකිරීම සඳහා මහවැලි ප්‍රජා ගුවන් විදුලිය කලා රසාංග ඇතුළත් වැඩසටහන් ඉදිරිපත් කරන ලදී. උඩරට - පහතරට - සබරගමු නර්තන සම්ප්‍රදායන් පිළිබඳ විවිධ තොරතුරුද වැඩසටහන්වල අන්තර්ගත විණි. මහවැලි ගම්මානවල සංස්කෘතික උරුමයන් මතුපරපුරට දායාද කිරීමට හා සංරක්ෂණය කිරීමට මහවැලි ප්‍රජා ගුවන් විදුලිය මහවැලි ප්‍රජාව දැනුවත් කරන ලදී.

සංවර්ධන සන්නිවේදනය තුළින් සංවර්ධන ක්‍රියාවලිය හා බැඳුණු ප්‍රජා වගකීම සම්බන්ධව ප්‍රජාව දැනුවත් කරමින් සංවර්ධන අරමුණු සාර්ථක කරගැනීමට සංවර්ධන ක්‍රියාවලියට දායකවීමට අවැසි මූලික දැනුම හා පසුබිම සකස් කරදීමට මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ක්‍රියා කළේය. ග්‍රාමීය සංවර්ධන කටයුතුවලදී පැන නැගි අභියෝග හා ගැටලු නිරාකරණය කර සම්මුතියකට ඒම සඳහා මහවැලි ප්‍රජා ගුවන් විදුලිය වේදිකාවක් විණි. තවද ග්‍රාමීය සංවර්ධනයට ග්‍රාමීය ප්‍රජාව හවුල්කර ගැනීමට හා ඒ තුළින් ඔවුන්ගේ ශ්‍රමය පමණක් නොව ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලියට අවැසි මූලික හරයන් ඔවුන්ගෙන් උකහා ගැනීමට අති හැකියාව පිළිබඳව අදාළ ආයතන හා බලධාරින් දැනුවත් කෙරිණි.

යුතුකම් ඉටුකළ මිතුෙරක්

ගුවන් විදුලි කලාවේ ප්‍රමිතිය රැකගැනීම සඳහා ගුණාත්මක හා උසස් රසවින්දනයක් ඇති වැඩසටහන් ප්‍රජාව වෙත ගෙනයාම සඳහා ගුවන් විදුලි කලාව ප්‍රගුණ කළ ප්‍රජා ගුවන් විදුලි මාධ්‍යවේදීහු වෙහෙසුණහ.

මහවැලි අධිකාරිය මහවැලි ප්‍රජාවට ඉටුකරනු ලබන සේවා හා කාර්ය භාරය පිළිබඳව මහවැලි ප්‍රජාව දැනුවත් කළ අතර මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකරු ඇතුළු නිලධාරින්ගේ සහභාගීත්වයෙන් වූ වැඩසටහන් තුළින් මහවැලි ජනපදිකයන්ට බලපාන ගැටලුවලට විසඳුම්ද මහවැලි ප්‍රජාව වෙත ගෙනයාමට මහවැලි ප්‍රජා ගුවන් විදුලිය සන්නිවේදන මාර්ගයක් විණි. විවිධ ප්‍රදේශවලින් පැමිණි නව ජනාවාසවල පදිංචි වූ නව ජනපදිකයින්ට අන්තර් පුද්ගල සන්නිවේදනයන් පවා නොමැතිව සිටි නිසා ඔවුන්ගේ සන්නිවේදන අවශ්‍යතා ඉටුකිරීම හා අන්තර් පුද්ගල සබඳතා ඇතිකර ගැනීමටත්, මහවැලි ශිෂ්ටාචාරයට ඔවුන් හැඩගැස්වීමටත් මහවැලි ප්‍රජා ගුවන් විදුලිය උපකාරි විණි.

90 දශකය අග භාගයේදී මෙරට මහවැලි ප්‍රජා ගුවන් විදුලියේ සාර්ථකත්වය පිළිබඳ විමසා බැලීමට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී විදේශීය නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති වැඩමුළුවකට මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකරුවන් ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරින්ද විද්වතුන්ද සහභාගී වූ අතර එහිදී එක්දින සම්මන්ත්‍රණය අවසානයේදී නිගමනය වූයේ මහවැලි ප්‍රජා ගුවන් විදුලිය තම කාර්ය භාරය සාර්ථකව ඉටුකර ඇති බවය. මෙහිදී සඳහන් කරුණු අතර ප්‍රජාවට දැනගත යුතු දේ - අත්හල යුතු දේ - වෙනස්විය යුතු ආකල්ප - හැසිරීම්, ඒ සඳහා පෙලඹවීම් මෙන්ම උගත යුතු දේ පිළිබඳව ග්‍රාමීය සමෘද්ධිමත්භවේ හැඩරුව නිසි පරිදි ලබාදීමේ වගකීමෙන් හා යුතුකමින් මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ක්‍රියාකොට ඇති බවය.

මහවැලි කලාපවල වෙසෙන වත්මන් පරම්පරාවේ කාලීන අවශ්‍යතාවයන්ට සරිලන පරිදි හා මහවැලි ප්‍රජාවගේ හඬ යළි අවදිකිරීමටත් මහවැලියේ ප්‍රචාරණය සඳහාත් මහවැලිය සමඟ බද්ධව සිටි මහවැලි ප්‍රජා ගුවන් විදුලියට යළි ජීවය ලබාදිය හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. මහවැලි ප්‍රජා ගුවන් විදුලියෙන් නිසි පල ලබාගැනීමට නම් එය පුනර්ජීවනය කළ යුතු වන්නේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කළමනාකාරීත්වයක් තුළින් බවද කිවයුතුය.

කොල්වින් ජයවීර
විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනලරාල්
(ප්‍රාදේශීය හා මහවැලි ප්‍රජා ගුවන් විදුලි සේවා)
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

නව අදහස දක්වන්න