පසුම්බියට තට්ටු කරන හර්බල් මිථ්‍යාව | දිනමිණ

පසුම්බියට තට්ටු කරන හර්බල් මිථ්‍යාව

අපේ රටේ තරම් ශාකසාර (Herbal) භාවිතා කරන රටක් ලෝකෙ වෙන කොතැනකවත් නැතුවා විය හැකිය. ඒ තරමටම ශාකසාර අඩංගු බොහෝ දේවල් අපේ වෙළෙඳ පොළ ආක්‍රමණය කර ඇත. ඇත්තටම ඔය කියන තරම් මේ දේවල්වල ශාකසාර අඩංගු වෙලා තිබේද යන්න බරපතළ ගැටලුවකි.

විවිධ බීම වර්ග, සබන්, ෂැම්පු, ඖෂධ, බාම්, හිසගල්වන තෙල් මෙන්ම විවිධ ආයුර්වේද නිෂ්පාදන රැසකම ශාකසාර අඩංගු බවට ප්‍රචාරය කරමින් පාරිභෝගික ජනතාවට අලෙවි කෙරේ. කාන්තා රූසපුව වඩා ඔපවත් කිරීම සඳහාය කියමින් වෙළෙඳ පොළට එන සබන්, පුයර, ක්‍රීම් වර්ග බොහොමයක කොහොඹ, කෝමාරිකා, කහ, කොකුම්, මුකුණුවැන්න, වෙනිවැල්ගැට, සුදුහඳුන්, සුවඳ කොට්ටන්, සැවැන්දරා වැනි ශාකසාර අඩංගු කර නිෂ්පාදනය කර ඇති බවට මෙම නිෂ්පාදනවල ඇසුරුමෙහි සඳහන් කර ඇත.

දවටනයේ සඳහන් කර ඇති ආකාරයට මෙම රූපලාවණ්‍ය ද්‍රව්‍යවල මේ කියන දෑ අඩංගු කර නිෂ්පාදනය කර ඇතිද යන්න පරීක්ෂා කර ඇත්තේ කවුද? නියම ප්‍රමිතියට නියම මාත්‍රාවට මෙම ශාකසාර අඩංගු බවට ප්‍රමිති සහතික නිකුත් කළ ආලේපන වර්ග මොනවාද? වෙළෙඳ පොළේ ඇති කිසිදු ආලේපයක ප්‍රමිති සහතිකය දක්නට නැත.

පාරිභෝගිකයා ගොනාට අන්දවා මෙවැනි ප්‍රමිතින්ගෙන් බාල භාණ්ඩ අලෙවි කිරීම සදාචාරාත්මකද? ඔය කියන ආකාරයට ශාකසාර අඩංගු කර මේවා නිපදවනවා නම් මේ රටේ තණකොළ ගහක්වත් ඉතිරිවිය නොහැකිය. අද වනවිට බොහෝදෙනෙක් ශාකසාර නිෂ්පාදනවලට දැඩි ඇල්මක් දක්වති. එවැනි නිෂ්පාදනවලට වෙළෙඳ පොළේද වැඩි ඉල්ලුමක්ද පවතී. එම තත්ත්වය තේරුම්ගත් කූට වෙළෙන්දෝ ශාකසාර අඩංගු බවට ප්‍රචාරය කරමින් ප්‍රමිතියෙන් බාල නිෂ්පාදන පාරිභෝගිකයන්ට අලෙවි කර තම මඩිය තර කර ගනිති. තවදුරටත් පාරිභෝගිකයා රැවටීම සඳහා අදාළ අංශ ඊට ඉඩ දෙනවාද?

පාරිභෝගික කටයුතු අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව දැන් වෙළෙඳ පොළට නිකුත් කර ඇති ශාකසාර අඩංගු යැයි පවසන නිෂ්පාදන සියල්ල දැඩි පරීක්ෂාවකට ලක් කළ යුතුය. එවිට මේවායේ සත්‍ය වශයෙන්ම ඔය කියන ශාකසාරයන් අඩංගු වී තිබේ දැයි සැකහැර දැන ගත හැකිය.

පාරිභෝගිකයන් රවටා මෙලෙස කිසිදු ප්‍රමිතියක් නැති භාණ්ඩ මිලදී ගෙන පාවිච්චි කිරීමෙන් පාරිභෝගිකයා බලාපොරොත්තු වන ප්‍රතිඵල නොලැබෙයි නම් ඊට වගකියන්නේ කවුද?

සමහර විට ප්‍රමිතියෙන් තොර ආලේප වර්ග භාවිතයෙන් සමේ විවිධ සංකූලතා ඇතිවීමට ඉඩ ඇත. නිසි වෛද්‍ය උපදෙස් නොමැතිව මේවා ගැල්වීමෙන් පාරිභෝගිකයාට පාඩු දෙකක් සිදුවෙයි. හර්බල් මිථ්‍යාවට රැවටී කිසිදු ප්‍රමිතියක් නැති භාණ්ඩ මිලදී ගැනීමෙන් මුදල් නාස්තිවීමත් අසාත්මිකතා ඇතිවීමෙන් ශරීර සෞඛ්‍යයට හානි සිදුවීමත් ඒ පාඩු දෙකයි.

විවිධ ආලේපන ගැල්වීමෙන් අසාත්මිකතාවන්ට ලක්වී කාන්තාවන් මියගිය අවස්ථාද වාර්තා වෙයි. විශේෂයෙන් හිස කෙස් කළු කරන ආලේපන (Hair Dye) අසාත්මිකතාවයන්ට ලක්වීම වැඩි වශයෙන් සිදුවන්නකි.

එබැවින් හර්බල් මිථ්‍යාවෙන් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා සෞඛ්‍ය අංශ මීට වඩා ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.

රත්නසිරි පතිරණ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...