අයහපත් මිත්‍රයා සමාජයට විසක් | දිනමිණ

අයහපත් මිත්‍රයා සමාජයට විසක්

 

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි

මෙලොව ජීවත්වන කිසිම පුද්ගලයකුට සමාජ ආශ්‍රයෙන් තොරව තනිව විසීමට නොහැකිය. එනිසා මිත්‍රත්වය ගොඩනඟා ගනිමින් ජීවත්වීමට මිනිසුන් නිරායාසයෙන්ම පුරුදු වේ. එහෙත් වර්තමාන සමාජයේ වෙසෙන මිනිස්සු මිත්‍රත්වය තුළින් තමන්ගේ ධනය, බලය සහ කීර්තිය වර්ධනය කර ගැනීමට පමණක් සිතයි. එයින් ඇතිවන්නේ එකිනෙකා අතර අර්බුදකාරී තත්ත්වයකි. එසේ හෙයින් බුදු දහමට අනුව සැබෑ මිත්‍රත්වය තුළින් පුද්ගලයකුගේ ජීවිතයට ලැබෙන අස්වැසිල්ල කොතෙක් ද යන්න පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමි සමග කළ ධර්ම සාකච්ඡාවකි.

ස්වාමීන් වහන්ස, බුදු දහමට අනුව මිත්‍රත්වය යනු කුමක්ද?

බුදුදහමට අනුව මිත්‍රත්වය යනුවෙන් හඳුන්වන්නේ මෛත්‍රිය, කරුණාව පදනම් කරගත් විශ්වාසදායී බැඳීමටයි. මිත්‍රත්වය සාමාන්‍ය මිනිසුන් අතර තියෙන බැඳීමට වඩා වැදගත් බැඳීමක්.

දෙන්නෙක් හෝ ඊට වඩා වැඩි පිරිසක් අතර ඇතිවන අවබෝධාත්මක, මුහුකුරා ගිය විශ්වාසනීය බැඳීමත් මිත්‍රත්වය යනුවෙන් හඳුන්වනවා. ඒ වාගේම පුද්ගලයකුගේ උසස් පැවැත්මක් සඳහා ඇසුරට අවශ්‍ය පුද්ගලයකු වශයෙනුත් මිත්‍රයාව හඳුන්වනවා. පුද්ගලයකුට තම දිවියේ වැදගත් දේ පළමුවෙන්ම මිත්‍රයාට ප්‍රකාශ කිරීමේ පුරුද්දක් තියෙනවා. ඒ තරමටම මිත්‍රයා විශ්වාසවන්තයෙක් බවට පත්වෙනවා. බුදු දහමේ සඳහන් කරන ආකාරයට කල්‍යාණ මිත්‍රයාට පුද්ගලයකුගේ රහස් රැකීමට හැකියාව තිබිය යුතුයි.

යහළුවා සහ මිත්‍රයා අතරත් වෙනස්කමක් තිබෙනවාද?

ඔව්, බුදු දහමෙහි යහළුවා යන්නට හඳුන්වන්නේ 'සහායකටයි'. යහළුවා එසේත් නැත්නම් 'සහායක' ‍කියලා හඳුන්වන්නේ පුද්ගලයකුට, ජීවත්වීම සඳහාත්, යම් යම් කාර්යයන් කරගැනීම සඳහාත් සහය වන පුද්ගලයාටයි.

මිත්‍රයා යනුවෙන් හඳුන්වන්නේ මෛත්‍රිය, කරුණාව, දැඩි විශ්වාසනීයත්වය පදනම් කරගත් බැඳීමක් ඇති පුද්ගලයාටයි. බුදු දහමට අනුව යහළුවා කියන වචනයට වඩා මිත්‍රයා යන වචනය උසස්. සමාජයේ ජීවත්වන සෑම කෙනෙකුටම මිත්‍රයෙක් වෙන්න බෑ. ඒ සඳහා යම් පුද්ගලයකුගේ සිතේ දැඩි මෛත්‍රියක්, කරුණාවක්, විශ්වාසනීයත්වයක් (රහසක් වුවත් සුරක්ෂිතකොට තබාගත හැකි) අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ.

බුදු දහමෙහි සඳහන් වන ආකාරයට යහපත් මිත්‍රයෙක් සතු ගුණාංග ‍කවරේද?

අප සමාජයේ යහපත් මිත්‍රයෝ වාගේ ම අයහපත් මිත්‍රයොත් ඉන්නවා. ඒ දෙගොල්ලෝ පිළිබඳව බුදුදහමෙහි සඳහන් කරලා තියෙනවා. අපට යම් අනතුරක් සිදුවුණහම අපිව එයින්‍ බේරාගැනීමට ඉදිරියට පැමිණෙන මිත්‍රයින්, එසේත් නැත්නම් මුදල් අගහිඟකමක්, ලෙඩක්, දුකක් පැමිණි විට අප වෙත පැමිණ උදව් උපකාර කිරීමට පැකිළෙන්නේ නැති මිත්‍රයින් දීර්ඝ කාලීනව ඇසුරු කිරීමට පුළුවන්.

තමන්ගේ රහසක් වුවත් කිසිදු බයක් නැතිව ප්‍රකාශ කළ හැකි මිත්‍රයින්, අප යම් දෙයක් සිදුකිරීමෙන් අපිටම අවැඩක් හෝ නින්දාවක් සිදු වේ නම්, එසේත් නැතිනම් අපි නොමඟ යන්නේ නම් අපිව යහපත් මට්ටමකට ගෙනඒමට කාරුණිකව උපදෙස් දෙන මිත්‍රයින්, දුකේදී අපිත් සමඟ දුක්වන - සතුටේදී අපිත් සමග සතුටුවන මිත්‍රයින්, වැරදි තවත් කෙනකු සමඟ නොකියන, මිත්‍රයාගේ ගුණ තවත් කෙනෙකු කියන විට ඒ පුද්ගලයාට දිරිදෙන යනාදී ගුණාංග, යහපත් මිත්‍රයෙකු සතුව පැවතිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.

සමහර පුද්ගලයින් වටා පිරිවර ජනයා බොහොමයක් ගැවසෙනවා. ඒත් ඒ සැවොම මිත්‍රයින් ලෙස පිළිගැනීමට පුළුවන් ද?

අප සමාජයේ දී දැක තිබෙනවා සමහර පුද්ගලයින් වටා පුද්ගලයින් අසීමිත ප්‍රමාණයක් ඒකරාශී වෙලා සිටිනවා. ඒත් ඒ සියල්ලෝම මිත්‍රයෝ නොවෙයි. මිත්‍රයෝ වශයෙන් බාහිරින් පෙනුණත් ඔවුන්ගේ අභ්‍යන්තරයේ පවතින ජීවිත විඥානයෙන් ඔවුන් මිත්‍රයෝ වෙන්නේ නෑ.

මේ සමාජයේ ජීවත්වන බොහොමයක් සාමාන්‍ය මිනිසුන් මිත්‍රත්වය ඇතිකර ගන්නේ තමන්ගේ පෞද්ගලික අරමුණු ඉෂ්ට කරගැනීමටයි. තමන්ගේ ධනය, බලය, කීර්තිය වර්ධනය කර ගැනීම සඳහා මිත්‍රත්වය ගොඩනඟා ගන්නා මිනිසුන් ගැඹුරු ජීවිත විඥානයක් ලබාගත්ත අය නෙමෙයි.

උසස් මිත්‍රත්වය කිසිමදාක පෞද්ගලික අරමුණු පසුපස හඹා යන්නේ නෑ. ඔවුන් සිතන්නේ 'මම නෙමෙයි අපි' කියලයි. ඒ වාගේම උසස් මිත්‍රත්වයෙන් නොපසුබස්නා ධෛර්යවන්තකම හා ජයග්‍රහණයන් හිමිකර ගන්න පුළුවන්.

මිනිස්සු කියන ජාතිය අතර ඉක්මනින්ම ගැටුම් ඇතිවෙනවා. අධ්‍යාත්මික වශයෙන් ගැඹුරු ජීවිත විඥානයක් නැති බාල චරිත ලක්ෂණ සහිත මිනිස්සුන්ට එක්වීම සහ වෙන්වීම කියලා කියන්නේ සාමාන්‍ය ‍දේවල්. උදාහරණයක් විදිහට සමාජශාලාවලට යන කාන්තාවන්, පිරිමින් රාත්‍රියේදී සාමුහිකව කාලා, බීලා, නටලා, ගයලා, විනෝද වෙලා පසුදින වෙන්වෙලා යනවා. ඔවුන් තමන්ගේ මිත්‍රත්වයන් තුළින් ගොඩනඟා ගන්නේ තණ්හාව, ආශාව, රාගය, ලෝභය යනාදී දේවල්. ඒ නිසා විශාල පිරිසක් රැස්ව සිටි පමණින් ඒ සියල්ලන්ම තමන්ට පක්ෂපාතී වන්නේ නැහැ. සැබෑ මිත්‍රයින් ලෙස හඳුනාගැනීමේදී නිවැරැදි අවබෝධයත්, අධ්‍යාත්මික ශික්ෂණයත් තිබීම වැදගත්.

යහපත් මිත්‍රයින් ඇසුරු කිරීම මඟින් පුද්ගලයා සාර්ථක වනවා සේම, අයහපත් මිත්‍රයින් මඟින් පුද්ගලයා පරිහානියට පත්වන්නේ කවර ආකාරයටද?

සත්තිකුම්භ ජාතක කථාවෙන් බුදුරජාණන් වහන්සේ මේ බව මනාව පැහැදිලි කර දේශනා කළා. අයහපත් මිත්‍රයා කියලා කියන්නේ සමාජයට විෂබීජයක්. කරන්නේ, කියන්නේ නරක දේවල්. එම පුද්ගලයාගේ සම්පූර්ණ ක්‍රියාවලියම අයහපත්. කොතරම් ධනයෙන්, බලයෙන්, කුලයෙන් උසස් වුවත් සමාජ ආශ්‍රයට අයහපත් පුද්ගලයා එතරම් සුදුසු වන්නේ නෑ.

යහපත් මිත්‍රත්වය පුද්ගලයෙකුගේ ජීවිතය සාර්ථක කර ගැනීමට කොතරම් බලපානවාද?

යහපත් මිත්‍රත්වය නිසි අයුරින් තෝරාගන්න පුළුවන් නම් ඉතා සුළු කාලයකින් මානුෂීය සංවර්ධනය ඇතිකර ගන්න පුළුවන්. එක් දවසක් ආනන්ද හාමුදුරුවෝ බුදුර‍ජාණන් වහන්සේට ප්‍රකාශ කළා.

බුදු දහමෙන් අඩක් පමණක් කල්‍යාණ මිත්‍රත්වය මත රඳා පවතින බව, එහෙත් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කර සිටියේ සමස්ත බුදු දහමම කල්‍යාණ මිත්‍රත්වය මත රඳාපවතින බවයි. ශ්‍රේෂ්ඨ දෙයක් ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත්. බුදු දහමට අනුව බුදුරජාණන් වහන්සේ තමයි සමස්ත බෞද්ධ සමාජයේ සිටිනා උත්තරීතරම කල්‍යාණ මිත්‍රයා. බුදු දහමෙහි සඳහන් කරලා තියෙනවා ඕනෑම පුද්ගලයෙක් ආශ්‍රය කරන්න ඕනේ තමන්ට වඩා උසස් ගුණාංග තිබෙන පුද්ගලයින් බව. එසේ නැත්නම් තමන්ගේ ගතිගුණවලට සමාන ගතිගුණ තිබෙන පුද්ගලයින්ව ආශ්‍රය කළ යුතුයි. කිසිදු ලෙසකින් බාල චරිත ලක්ෂණ ඇති පුද්ගලයින්ව ආශ්‍රය නොකළ යුතුයි.

පුද්ගලයෙකුගේ ජීවිතයේ දිගු කාලීන අර්ථ සම්පන්න ජීවිතයකට මූලික අඩිතාලම දැමීම සඳහා යහපත් මිත්‍රයෙකුගෙන් සිදුවන බලපෑම වැදගත් බව බුදුරදුන් සඳහන් කරලා තිබෙනවා.

සටහන-මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න