බිනර පොහොය | දිනමිණ

බිනර පොහොය

රාජකීය පණ්ඩිත මැදගම පඤ්ඤාරතන හිමි

ලෝකවාසී බෞද්ධයන්ට බිනර පුන් පොහොය දිනය ඉතා සුවිශේෂිය. එයට හේතු වන්නේ කාන්තා මහණදම නැතහොත් භික්ෂුණිභාවයට (භික්ෂුණි සාසනයට) අවසරය ලැබු‍ෙණ් බිනර පොහොය දිනයේදී නිසාය. මහා ප්‍රජාපතී ගෝතමිය විසින් මහණවීම සඳහා කිහිප අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප විය. පසුව ආනන්ද හිමියන්කේ මැදිහත්වීමෙන් අවසරය ලබාගැනීමට හැකි විය. මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් පන්සියක් දෙනා මෙහෙණි සස්නට ඇතුළු වූයේ බිනර පොහොය දිනයේදීය. ඒ සමඟම උපසම්පදාවද මෙහෙණින් වහන්සේට උරුම විය. තවද අෂ්ටගුරු ධර්ම පැනවීමට සිදුවූයේද බිනර පුන් පොහෝ දිනමය.

පුරුෂ පක්ෂයට පමණක් සසුන් දොර විවර වීම නිසා ඔවුන්ගේ බිරින්දෑවරුන් වැන්දඹු තත්ත්වයකට පත්වීම නිසාද පුරුෂ පක්ෂය හා සමාන බුද්ධියක් කාන්තාවට ඇතැයි යන මතය බුද්ධ ධර්මය පිළිගත් නිසාද කාන්තාවන්ට පැවිද්ද නොලැබීම බුදු සමයේ සමානාත්මතාවයට කැළලක් වීම නිසාද කාන්තාවනට සසුන් දොර විවර විය. මෙම පොහොය ද අයත් වන්නේ වස් කාලයටය. බිනර පොහොය දිනයේදී බොහෝ විහාරස්ථානවලට වස් පින්කම් සිදුවේ.

බිනර පෝදා පැනවූ අෂ්ට ගුරු ධර්ම

1.උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුවද එදිනම උපසම්පදාව වූ භික්ෂුවකට වැඳුම් පිදුම් කළ යුතුය.

2. භික්ෂුන් නැති පෙදෙසක භික්ෂුණිය වස් නොවැසිය යුතුය.

3. භික්ෂුණිය අඩ මසකට වරක් භික්ෂූන් වහන්සේ වෙත පැමිණ අවවාද ලබාගත යුතුය.

4. වස් අවසානයේදී භික්ෂු - භික්ෂුණි උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතුය.

5. යම් වරදක් සිදුකළ භික්ෂුණියක් වෙතොත් ඇය සය මසක් භික්ෂූන්ට සහ භික්ෂුණීන්ට ආවතේව කළ යුතුය.

6. වසරක් සාමණේර තත්ත්වය හික්මවීමෙන් පසු භික්ෂු පිරිසක් ඉදිරියේදී උපසම්පදා ලැබිය යුතුය.

7. කිසිම දෙයකට භික්ෂුණිය භික්ෂුවකට බැන නොවැදිය යුතුය.

8. භික්ෂුවකට භික්ෂුණිය කිසිවිටකත් අවවාද නොකළ යුතුය.

 

ජයන්ති කුරේ


නව අදහස දක්වන්න

Or log in with...