අන්‍ය ආගමිකයන් හා විවාහ වීම; පාවුලුතුමාගේ විවරණය | දිනමිණ

අන්‍ය ආගමිකයන් හා විවාහ වීම; පාවුලුතුමාගේ විවරණය

කොරින්ති නුවර නා නා විධ ජන වර්ග ජීවත් වූහ. මේ නගරය රෝමයේ අධිරාජ්‍යයක් වූ අකයියාවේ අගනුවර විය. දියුණු වෙළහෙළෙඳාමත් ප්‍රෞඪ සංස්කෘතියත් ගැන කීර්තියක් ඉසිලූ මේ නගරය අපචාරය පිළිබඳ අපකීර්තියක් ඉසිලීය. මෙකී නගරයේ කිතුනු සභාවක් පිහිට වූයේ පාවුලු තුමාය. අනතුරුව එකී සභාව වෙත විවිධ ජනයා ඉදිරිපත් කළ ගැටලුවලට පාවුලු තුමා දුන් පිළිතුරු “කොරින්තිවරුන් වෙත පාවුලු තුමා යැවූ පළමු වන හසුන” නැමැති ලිපියෙන් විවරණය වෙයි.

එහි ඇති දෑ කියවන විට ක්‍රිස්තුතුමන් මොන තරම් මානව හිතවාදී යන්න පිළිබඳ සිතා ගැනීම අපහසු නැත. මන්දයත් පාවුලු තුමා අතින් ලියැවුණේ එතුමා ක්‍රිස්තුතුමන් වෙතින් අත්දුටු දෑය. පාවුලු තුමා ගෙන ගියේ උන්වහන්සේගේ පණිවුඩයය.

මේ හසුනේ එක් තැනක “කිතුනු - කිතුනු නොවන විවාහ” ගැන පාවුලු තුමා ලියා ඇත. ඒ මෙසේය.

“යම් සහෝදරයකුට කිතුනු නොවන භාර්යාවක් සිටී නම්, ඈ ඔහු සමඟ වාසය කිරීමට කැමැති නම්, ඔහු ඇය දික්කසාද නොකරේවා. එසේම යම් ස්ත්‍රියකට කිතුනු නොවන ස්වාමි පුරුෂයෙක් සිටී නම් ඔහු ඈ සමඟ වාසය කිරීමට කැමැති නම්, ඈ ඔහු දික්කසාද නොකරේවා.”

ඊට හේතු වශයෙන් පාවුලු තුමා කියා සිටින්නේ කිතුනු නොවන බිරිය හෝ ස්ත්‍රිය පිළිබඳ දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වී සිටින බවය. සැබැවින්ම විවාහය යනුම කැපවීමය. ඒ කැපවීම නොමැති කල, විවාහයේ ඇතිවන්නේ අඬදබර හා කලකෝලහලයි. අන්‍යාගමිකයකු කිතුනුවකු හා විවාහ වන්නට තීරණය කිරීමම ඔහුගේ හෝ ඇයගේ ඇති කැපවීම ආරම්භයේදීම ඉතා ප්‍රබල ලෙස කෙරෙන ප්‍රකාශ වීමකි. පාවුලු තුමා මෙහිදී ප්‍රකාශ කරන්නේ අන්‍යාගමික පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් කිතුනු ස්ත්‍රියක හා පුරුෂයකු සමඟ විවාහ වීම යනු දෙවියන් වහන්සේ වෙනුවෙන්ද ඔවුන්ගේ කැපවීම ප්‍රකාශ කරන බවය.

මෙහිදී කිතුනු ස්වාමි පුරුෂයා හෝ භාර්යාව ඔවුන්ගේ සහකාරිය හෝ සහකාරිය පිළිබඳ වඩාත් කැපවිය යුතු බව අපගේ අදහසය‍. මන්දයත් ආරම්භයේදීම ඔවුන් සිය කැපවීමේ හැකියාව ප්‍රදර්ශනය කර ඇති බැවිනි. එමෙන්ම ඔවුන්ගේ මූලික මානව පරිසරය නොහොත් ආගමික සංස්කෘතිය හා ඔවුන්ගේ සිතුම් පැතුම් පිළිබඳද කිතුනුවා වෙත මනා අවබෝධයක් හා අධ්‍යයනක් තිබිය යුතුය. මේ වටහා ගැනීම මූලිකව සිදු වූ අන්‍යාගමික බිරියගේ හෝ ස්වාමි පුරුෂයා කැපවීම අඛණ්ඩව රදා පවත්වාගනු ඇත‍. ඒ රදා පවත්වා ගැනීම වූ කලී පවුල තුළ ආදරය, සාමය, සතුට නොනැසී පවත්වා ගැනීමට ප්‍රධාන හේතුවකි. එය එසේ විය යුතුය.

මිනිසා ස්වභාවයෙන්ම එකිනෙකාට වෙනස්ය. කිසිම පුද්ගලයකු තව කෙනකුට සියයට සියයක් සමාන වන්නේ නැත‍. එක් එක් ආගම්වලින් දෙන පණිවුඩය එනම්, මානව දයාව ඇතුළු සාමයේ හා සහජීවනයේ පණිවුඩය සමාන වුවද ඒ ආශ්‍රිත වූ සංස්කෘතික ක්‍රියාකාරකම් එකිනෙකට වෙනස්ය. බොහෝ මිනිස්සු ආගම ධර්මයේ ඇති යථාර්ථයන් සමාන බව නොදැන ආගම්වල ඇති බාහිර වත්පිළිවෙත් ගැන අපහාස උපහාස කර ගනිති; යුද්ධ කරති. ධර්මයක යථාර්ථය නොදන්නේ නම් විවාහයේදී සිදුවන්නේද මේ විනාශයමය. එබැවින් කිතුනු හා කිතුනු නොවන විවාහයකදී ඔවුනොවුන් සිය ආගම ධර්මයන් ගැන මනා අවබෝධයකින් සිටීම වැදගත්ය.

පාවුලු පියතුමාගේ ලිපියේ මෙලෙසද සඳහන්ය.

“එහෙත් කිතුනු නොවන විවාහකයා වෙන් වන්නට කැමැති නම්, වෙන් වේවා. මෙවැනි අවස්ථාවල කිතුනු සහෝදරයා හෝ සහෝදරිය හෝ විවාහ බැම්මෙන් බැඳී නැත. දෙවියන් වහන්සේ ඔබ කැඳවා ඇත්තේ සාමදානයෙන් ජීවත් වීමටය‍. ඔබ කිතුනු භාර්යාවක් නම් ඔබ සිය ස්වාමිපුරුෂයාගේ ගැලවීම සලසනු විය හැකිය. ඔබ කිතුනු ස්වාමි පුරුෂයෙක් නම් ඔබ තම භාර්යාවගේ ගැලවීම සලසනු විය හැකිය.”

වර්තමාන පවුල් සංස්ථාව දෙස බලන විට පෙනී යන කරුණක් වන්නේ බොහෝ විට අනවබෝධය නිසාම එය කැඩී බිඳී යන අවස්ථා ඇති බවය. අතීතයේද එවැනි දේ සිදු වූ බවට මේ ලිපිය එක් අතකින් සාක්ෂි දරයි. අනෙක් පැත්තෙන් එතුමා පවසන්නේ යම් හෙයකින් ඔවුන් වෙන් වීමට තීරණය කළහොත් ඊට ඉඩ දෙන ලෙසය. එකල සමාජ පරිසරය අනුව එතුමා එලෙස ප්‍රකාශ කර තිබුණද වර්තමානයේ ඇතැම් අවස්ථාවලටද එය සරිලන බව අපගේ හැඟීමය. මන්දයත් තමන්ට අනෙකා කෙරෙන් මිදෙන්නට වූ විට අනෙකාගේ මරණය පවා කිරීමට ඇතැම් ස්වාමි පුරුෂයෝ නැතිනම් භාර්යාවෝ උත්සාහ දරති. එකට විසීම ඒ තරමට එපා වී ඇත්නම් ප්‍රාණඝාතයේ යෙදෙනවාට වඩා වෙන්වීම හොඳය.

එහිදී පාවුලු තුමා පවසන පණිවුඩය ඉතා වැදගත්ය. “දෙවියන් වහන්සේ ඔබ කැදවා ඇත්තේ සාමදානයෙන් ජීවත් වීමටය‍” යනුවෙන් පාවුලු තුමා පවසන මේ වදන් සැබැවින්ම සාමය පිළිබඳ වූ අපූරු පණිවුඩයකි. සාමය නැති තැන ඇති වන යහපතක් නැත. එය විවාහයට වුවද එසේමය.

 

සුමේධා නවරත්න

නව අදහස දක්වන්න