පාප්තුමාගේ දැඩි තීරණ කුමක් සඳහාද? | දිනමිණ

පාප්තුමාගේ දැඩි තීරණ කුමක් සඳහාද?

බොහෝ දෙනෙකුට, ප්‍රැන්සිස් පාප් වහන්සේ යනු වර්තමාන කතෝලික සභාව් දයා කරුණාබර මුහුණුවරයි. එතුමා තුළින් ගලා එන්නේ ක්‍රිස්තු ධර්මයේ මූලික හරයාත්මක පණිවිඩය වන දෙවි සමිඳාණන් ගේ මෘදු කරුණා ගුණයයි.

'දුප්පතුන්ට සරණ වන්න' යන්න එතුමා සිය ප්‍රථම අපෝස්තලික ලේඛනයේ කේන්ද්‍රීය පනිවිඩය කරගත්තේය. එයින් නොනැවතී, දුප්පත්කම තුරන් කිරීමට කටයුතු කරන්නැයි තමන් හමුවන්නට වතිකානයට පැමිණෙන සෑම රාජ්‍ය නායකයකුගෙන්ම එතුමා ඉල්ලා සිටියි. එතුමා ඉතාලි වෙරළට සේන්දු වූ අසරණ වූ සරණාගතයන් බේරා ගත්තේය.

ග්‍රීසියේ ලෙස්බොස් දූපතට ගිය එතුමා, එහි සිටි සරණාගතයන්ට පිළිසරණ වන්නැයි සංවර්ධිත කිතුනු රටවලට ආයාචනා කිරීමෙන් නොනැවතී එහි සිටි මුස්ලිම් සරණාගත පවුල් කිහිපයක් තම ගුවන් යානයෙන්ම කතෝලික කේන්ද්‍රස්ථානය වන රෝමයට ගෙනාවේය. මීසම් සේවක පියතුමකු සේ රෝමයෙන් බැහැර දුප්පත් මීසම්වල පවුල් බැහැ දැක ගෙවල් ආශිර්වාද කරන්නට ගියේය. ගෙවල් නැති ජනයාට වතිකානයේ දොරටු විවර කළේය. දෙවියන් වහන්සේ සමාව නොදෙන පාපයක් නැතැයි උන්වහන්සේ ගේ මෘදු කරුණා ගුණයේ අසීමිත බව කතෝලිකයනට පහදා දෙන්නේ ය. එතුමා විසින් කරනු ලැබූ තවත් බොහෝ දේවල් මෙලෙස කියවා ගෙන යා හැකිය.

මේ සියල්ල අතර මෙම ජේසු නිකායික පාප් වහන්සේ ගේ තුළ නිසගයෙන් ම ඇති තවත් ලක්ෂණයක් මෑත කාලයේ දී දැක ගන්නට හැකිවිය. එනම්, අවශ්‍ය වන්නේ නම් 'පාප් වහන්සේ ගේ අධිකාරීත්වය' භාවිත කිරීමට එතුමන් කිසිසේත් පසුබට නොවන බවය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ මුදු මොලොක් බව තුළ දැඩි බවක් ද පවතියි. එහෙත් එතුමා මේ දැඩි බව ප්‍රදර්ශනය කරන්නේ දෙවි සමිඳුනට ඇති භක්ත්‍යාදරයෙන් එදිනෙදා පල්ලි යන පේදුරු මාමලා, ජුවන් අයියලා, එලිස නැන්දලා, වයලට් අක්කලා වැනි සාමාන්‍ය සරල බැතියෙන් යුත් ගිහියන් සම්බන්ධයෙන් නොවේ; සභාවේ දූත මෙහෙවරට හානි කරන්නට, එය පීඩාවට පත්කරන්නට කටයුතු කරන පූජකවරුන්, රදගුරුවරුන් සහ කාදිනල්වරුන් සම්බන්ධයෙනි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මෙම දැඩි බව ප්‍රදර්ශනය කළ අවස්ථා කිහිපයක් මෑත වකවානුව තුළ දක්නට ලැබිණි.

ඉකුත් ජුනි මාසයේ සිය අභිනව රදගුරුතුමන් පිළිගැනීම ප්‍රතික්ෂේප කළ නයිජීරියාවේ අහියාරා රදගුරු පදවියේ පූජක පිරිසට එතුමා දැඩි අවවාදයක් දුන්නේය. 2012 දී එම පදවියේ නව රදගුරුතුමන් පත්කරන ලද්දේ බෙනඩික් පාප් වහන්සේ විසිනි. එහෙත් මේ දක්වාම (2017 ජුනි) එතුමන් පිළිගැනීම එම පදවියේ පූජකවරුන් විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. ඊට හේතුව නව රදගුරු තුමා එම පදවියේ පුජකවරුන්ගේ ගෝත්‍රයට අයත් කෙනෙකු නොවීමයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම "ගෝත්‍රික මානසික" (අ)කතෝලික පියවරුන්ට දැඩි අවවාදයක් දුන්නේය.

"මෙම වරදට සමාව ඉල්ලා පදවියේ සෑම පියතුමෙකුම මා වෙත ලියුමක් එවිය යුතුයි. පාප්වහන්සේට සම්පූර්ණයෙන් කීකරු වන බවටත් එතුමන් පත් කරන ඕනෑම රදගුරු තුමෙකු පිළිගන්නා බවටත් මෙම ලිපියේ සඳහන් කළ යුතුයි. මේ ලියුම දින 30ක් ඇතුළත වතිකානයට ලැබිය යුතුයි." එතුමා කීවේය. එසේ සමාව නොඉල්ලන පියතුමන්ලාගේ පූජක කටයුතු තහනම් කරන බවට ද එතුමා අවවාද කළේය.

ගෝත්‍රික වෙනස්කම් කතෝලික සභාවේ එකමුතුකම හා දූත මෙහෙවරට වඩා ඉහලින් තබා ගැනීම ගැන සුදොතුම් පියතුමා නොසතුටට පත්ව සිටියේය. සභාව දේශපාලන, වාර්ගික හා ගෝත්‍රික භේද සඳහා අපයෝජනය කිරීම එතුමන් දැඩි සේ නොසතුටට පත්කරන්නකි.

ආජන්ටිනාවේ සිද්ධිය

මේ සිද්ධියට පසුව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තවත් දැඩි පියවරක් ගත්තේය. සුදොතුම් පියතුමා අජන්ටිනාවේ ටුකුමාන් පදවියේ අගරදගුරු ඇල්ෆ්‍රෙඩෝ සෙච්චා හිමියන් ගේ 'සෞඛ්‍ය හේතු මත' ඉල්ලා අස්වීම භාරගත් බව වතිකානය නිවේදනය කළේය. එහෙත් එම නිවේදනයේ තවදුරටත් කියවුණේ 68 හැවිරිදි එම අගරදගුරු තුමා 'විශ්‍රාම නොලබන' බවයි. ඒ වෙනුවට එතුමා "නාමධාරී අගරදගුරු තුමකු' (Titular Archbishop) ලෙස පත්වන බව එහි සඳහන් විය. මෙයින් අදහස් කෙරෙන්නේ එතුමා තවදුරටත් සේවය කළ යුතු බවයි.

මෙය කිසියම් ආකාරයක දඬුවමක්දැයි විමර්ශකයෝ සොයා බැලූහ. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව දැඩි හඬක් නැගූ එම පදවියේ පියතුමකු ආරක්ෂා කිරීම අගරදගුරු තුමා විසින් පැහැර හැරීම ගැන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නොසතුටට පත්ව සිටියේය. ජුවාන් විරෝචේ පියතුමා එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දැඩි ලෙස හඬ නැගුවේය. ඉකුත් වසරේ ඔක්තෝබරයේ දිනෙක මීසම් ගෘහයේ එල්ලෙමින් තිබුණු එතුමන්ගේ සිරුර දැකගන්නට හැකිවිය. ජනතා ආදරය දිනූ මෙම පියතුමා වෙනුවෙන් සිහිවටන ඵලකයක් මීසමේ පිහිටුවන්නැයි ජනතාව කළ ඉල්ලීම් සෙච්චා අගරදගුරු තුමා ප්‍රතික්ෂේප කළේය.

ඒ වෙනුවට විරෝචේ පියතුමාගේ මරණය ගැන ආණ්ඩුවේ බලධාරීන් දුන් තීන්දුව එතුමා පිළිගත්තේය. එනම් පියතුමා සිය දිවි හානි කරගෙන ඇති බවයි. එහෙත් මත් ජාවාරම්කරුවන් විසින් එතුමන් ඝාතනය කර ඇත්තේය යන්න බහුතර ජනතාවගේ මතයයි. සියදිවි හානිකරගනීම ඔවුන් විසින් ප්‍රදර්ශනය කරන ලද්දක් බව ඔවුහු විශ්වාස කරති.

සිද්ධි දෙකෙන්ම ප්‍රදර්ශනය වන්නේ කුහකකම කෙරෙහි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් තුළ ඇති දැඩි පිලිකුළයි. "දෙබිඩි ජීවිත" ගතකරන කිතුනුවන්ගේ 'නොකිතුනුකම' ගැන එතුමා කිහිප විටක්ම කතා කර තිබේ. 'කුහක කතෝලිකයකු' වීමට වඩා අදේවවාදියකු වීම යහපත් බව එතුමා කියා සිටියේය.

(National Catholic Reporter පුවත් පතට

ක්‍රිස්ටෝපර් ලෑම් විසින්

ලියන ලද ලිපියක් ඇසුරිනි)

ලබන සතියට

සමන් කපිල විජේසූරිය 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...