දේවමාතා - වී ප්‍රසූතා | දිනමිණ

දේවමාතා - වී ප්‍රසූතා

 

දේවමාතා - වී ප්‍රසූතා ප්‍රියදාතා මරිය ජීතා
තේද යසසින් - රාජ කුලකින්
ආන ජුවකින් - දාන වරමින්

ශුද්ධවු ආනා වහන්සේ වනාහි අපගේ සමිදාණන් ද ගැළවුම්කාරයාණන්ද වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජනිත කළ කන්‍යමරිය වහන්සේගේ මාතාවෝය. මුඛ පරම්පරාවේ කියවෙන සැටියට ශුද්ධවු ආනා වහන්සේගේ මෑණියෝ එමරෙන්සියා තුමිය වූවාය. දෙවියන් වහන්සේගෙන් ඇයට ලැබුණ ඥානාලෝකය අනුව දැඩි තපස් ජීවිතයක් ඕ ගත කළාය. යාච්ඤාවේ නිතර යෙදී සිටියාය.

ධර්මධර පුරුෂයකු සමඟ ඇය විවාහ වීම ඇගේ ඥාති මිත්‍රාදීන්ගේ අභිලාෂය වූයෙන් නාසරෙත් ග්‍රාමයෙහි නිවැසි ධනවත් ධර්මිෂ්ඨ තරුණයකු වන සිකෝළන් නැමැත්තාව ස්වාමිපුරුෂයා ලෙස තෝරා ගත්තාය. මේ පින්වත් දෙදෙනාට ලැබුණු දරුඵලය නම් ශුද්ධවු ආනා වහන්සේය.

ගැලවුම්කාරයාණන් ලොව පහළ කරන්නට දේව අවසරය ලැබූ පවුල වඩ වඩා ශුද්ධවත් විය යුත්තේ යැයි වේද පඩිවරුන්ගේ මතය විය. දේව නියමයේ සැටියට ගැලවුම්කරුවාණෝ නිර්මල කන්‍යාවකගේ ශ්‍රී කුසයෙන් මාංශගත විය යුතුව තිබූ නිසා එම උත්තමාවගේ මවුපියන් උතුම් දැහැමියන් විය යුත්තෝය.

ශුද්ධවු ආනා තුමිය විවාහ ජිවිතයක් වැළඳ ගැනීමට කාලය පැමිණ තිබුණෙන් ධර්මිෂ්ඨ පුරුෂයකු දෙවියන් වහන්සේගෙන් ලබාගනු පිණිස මහත් ඇවටිල්ලෙන් යුතුව යාච්ඤා කළාය. මේ වන විට දොළොස් වයසේ දී ඇගේ ශුද්ධවර මෑණියෝ ස්වර්ගස්ථ වී තිබුණි. ඇගේ මව ජීවත්ව සිටි කාලයේ දී ඇය චරිතවත් හා දැහැමියාව මත ඇගේ ධර්මිෂ්ඨ කීර්තිය හා ඇගේ සුසිල ගුණය පවත්වාගෙන යාමට ඇය උපදෙස් දී තිබුණි. එම ජිවිතය මත ඇගේ යහගුණ එරට පැතිර ගියේය. විවාහයේ දී වස්තුවටත් වංශයටත් වඩා ඈ සෙව්වේ ධර්මිෂ්ඨ ගුණයය.

ඒ කාලයේ දී නාසරෙත් නමැති ග්‍රාමයෙහි දෙවියන් වහන්සේට භය භක්තියෙන් ජිවිතය ගත කළ කුලවත් ධනවත් තරුණයෙක් සීලවන්ත භාර්යාවක් ලබා ගන්නා අදහසින් දෙවි පියාණන්ට ප්‍රාර්ථනා කළේය. ඔහුගේ නම ජුවකීනුය. ආනා තුමිය මෙන් ඔහුද එක්වරු ශීලය රක්ෂා කරමින්ද අසල්වැසියන්ට දයාව පෙන්වමින්ද දිළිදුන්ට දාන ධර්ම දෙමින්ද දැහැමෙන් හා සෙමෙන් කල්ගත කළේය.

ආනා සහ ජුවකීනු යන දෙදෙනාගේ අයැදුම් දෙවියන් වහන්සේ පිළිගෙන සුරදූතයකු මගින් තමන් වහන්සේගේ අභිප්‍රාය මේ දෙදෙනා හට ප්‍රකාශ කළ සේක. එම වන්දනීය නිගමනය අනුව ඔව්හු තම කරදර අමාරුකම්වල දී එකිනෙකාට සරණ වීමටත් දෙවියන් වහන්සේගේ මහිමය සඳහා දරුඵල ඇති කිරීමටත් අදහස් කර ගත්තෝය. යුදෙව්වරුන්ගේ පුරාණ චාරිත්‍ර අනුව මේ පිංවත් යුවළ පූජකයාණන් හමුවෙහි දණ ගසා විවාහබස් දුන්හ. එවිට පූජාප්‍රසාදිතුමා ඔවුන්ට ආශිර්වාද කරමින් මෙසේ වදාළ සේක. ”ආබ‍්‍රහම්ගේ දෙවියෝද, ඊසාක්ගේ දෙවියෝද, ජාකොබ්ගේ දෙවියෝද ඔබ සමඟ වෙත්වා. ඔබ එක් කරත්වා”. විවාහකත්වය වැළඳගත් කළ ආනා තුමිය විසි හැවිරිදි වූ අතර ජුවකීනු තුමා විසිඑක් හැවිරිදි විය. මේ වාසනාවන්ත පවුල දේව අභිප්‍රායට ඒකාන්තයෙන්ම යටහත්ව කල්ගත කළේය.

ජුවකීනු සහ ආනා නමැති මේ සිල්වත් යුවළ විවාහකත්වයට ඇතුළුව අවුරුදු විස්සක් ගතවූ නමුත් දෙවියන් වහන්සේගෙන් දරු සම්පතක් නොලැබ සිටියෝය. දෙව් විමනේ දී මේ හේතුව නිසා මේ දෙදෙනා අපහසුතාවයට ලක්විය.

ජුවකීනු තුමා සිතමින් “ඊශ්‍රායෙල්වරුන්ගේ දොළොස් ගෝත්‍රයෙන් මට පමණක් දරු සම්පතක් නොලැබේදැයි බලමියි කීය” පැරණි ග්‍රන්ථයන් පරීක්ෂා කර බලන කළ පුරාණයේ විසූ සෑම දැහැමියකුටම දරු සම්පතක් ලැබූ බව ඔහුට ප්‍රත්‍යක්ෂ විය. ආදි පිතෘ ආබ‍්‍රහම්තුමාට තම මහලු වයසේ දී පවා පුත්‍රයකු දෙවියන් වහන්සේගෙන් ලැබුණේය. මේ ගැන කල්පනා කිරීමෙන් අධෛර්යට පත්වූ ජුවකීනු තුමා දෙව්විමනේ සිට සිය නිවසට හැරී නොගොස් කාන්තාරය බලා පිවිසියේය.

එහිදි කුඩා පැලක් තනාගෙන සතලිස් දිනක් එක්වරු ශීලයෙන් ගත කරමින් දෙවියන් සමිදාණන් වහන්සේගේ දයාබර නෙත් මා වෙත යොමුවන තුරු ආහාර පානයක් නොගනිමි යාච්ඤාව පමණක් මාගේ ආහාරයත් පානයත් වේවායි අධිෂ්ඨානය කරගත්තේය. තම සැමියා කාන්තාරගතවූ බව ඇසු ආනා වහන්සේගේ ශෝකය දෙගුණ විය. “මට දරුඵල නැතිවීමෙන් ඇතිවූ ශෝකයට වඩා මගේ ස්වාමිපුරුෂයා නැතිවූ ශෝකය අධිකවී තිබේ” යි කියමින් එතුමිය වැළපුණාය.

එවිට සුරදූතයෙන් එතුමියට මෙම සැණසිලිදායක ආරංචිය දන්වා සිටියේය. එනම් “අහෝ ආනා දෙවි සමිදාණන් වහන්සේ ඔබේ යාච්ඤාව පිළිගත් සේක. ඔබගේ කුසෙහි දරුඵලයක් හට ගනු ඇත. ඒ දරුවා සකළ ලෝකයාගේ ප්‍රසාදයට කාරණාවක් වනු ඇත” යන්නයි. ඊට ආනා තුමිය “මාගේ සමිදාණන් වූ දෙවිමහෝත්තමයාණන් වහන්සේ සදාකල් වැජඹෙන සේක්වා. උන්වහන්සේගෙන් මට ලැබෙන්න යන දරු සම්පත පුත්‍රයකු වුවත් දියණියක් වුවත් ඒ දරු සම්පත තම ජිවිතාන්තය දක්වාම දෙවි සමිදාණන් වහන්සේට ශුද්ධවත් ලෙස සේවය කරනු පිණිස උන්වහන්සේට කැප කරන්නෙමි”යි පිළිවදන් දුන්නාය.

ඒ මොහොතේ දී දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ලත් සුරදූතයෙක් ”ජුවකීනු ජුවකීනු දෙවියන් වහන්සේ ඔබගේ යැදුමට සවන්දුන් සේක. මේ කඳුකරය හැර වහාම ඔබගේ පින්වත් බිරිය වෙත යන්න. නොබෝ කලකින් එතුමිය මවක් වන්නීය” යි කීය.

ජුවකීනු තුමා සමිදාණන් වහන්සේට පිදිය යුතු පඬුරුද රැගෙන දේව මාළිගාව බලා පිටත්විය. එහි දී ලැබූ දේව ප්‍රකාශනයක් නිසා සිතට මහත් සැනසීමක් අත්වූයෙන් නැවත සිය නිවසට ආවේය.

කල්ගත වූ පසු ආනා තුමියට සිරිබර දියණියක් ලැබිණි. ආනාතුමිය තම සුරතල් දරුවා සුරතට ගෙන දෙනෙත් අහස දෙස යොමු කරමින් ”දෙවි ස්වාමිනි මාගේ ආත්මය මේ මොහොතේ පී‍්‍රතිමත් වන්නේය” යැයි කියමින් ගායනා කළාය. උපන් දියණියට “මරියා” යන නාමය තබන ලදී. දිනෙන් දින දියණිය ධර්මයෙන්ම රූ සපුවෙන්ද වර්ධනය වූවාය. අසල්වැසියෝද ආනා වහන්සේ සමඟ එතුමිය ලද භාග්‍ය ගැන පී‍්‍රති සන්තෝෂ වූහ. ජුවකීනු තුමාද මහා මංගල භෝජනයක් පවත්වා ඊට නායක පූජකයන්ද දේව මාලිගාවේ නිලධාරින්ද ඊශ්‍රායෙල් ජනයා අතුරින් මහත් පිරිසක්ද කැඳෙව්වෝය. අග්‍රපූජකවරු දරුවා දෝතට ගෙන දෙවි සමිදාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් “අපේ පියවරුන්ගේ දෙවිසමිදාණන් වහන්සේ මේ ළදරුවාට ආශිර්වාද කරන සේක්වා. එතුමියට සදාකල් පවතින කීර්තිනාමයක් දානය කරන සේකවා” යි කියමින් සාදු නාද නැගූහ.

 

බෝලවත්තේ
එස්. එම්. ඩේවිඩ් පැට්‍රික් ප්‍රනාන්දු 

නව අදහස දක්වන්න