අපි දුප්පත් ද? | දිනමිණ

අපි දුප්පත් ද?

 රටේ ජාතික ආර්ථිකයට දැක්මක් හෙවත් දර්ශනයක් වුවමනා යැයි අමුතුවෙන් කිව යුතු නැත. රටක ආර්ථිකයට ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුය යන්නට ද විවාදයක් නැත. දීර්ඝ කාලයක් තිස්සේ මේවා සංවාද කර ඇත. එහෙත් රටේ පාලනය භාරගත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකම ආර්ථික දර්ශනයකට හෝ එකම ජාතික ප්‍රතිපත්තියකට හෝ එකඟ වී සිටියේ නැත. ආර්ථිකය සම්බන්ධයෙන් අපට තිබුණේ තට්ටු මාරු ක්‍රමයකි. මේ ප්‍රවණතාව නිසා ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලැබීමට අපට හැකි වූයේ නැත. ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවට පිටුපසින් සිටි රටවල් අප පසුකර යෑම පමණි.

ප්‍රධාන පක්ෂ දෙක යම් තරමකින් යා කෙරුණු ආර්ථික සාධකය වූයේ විවෘත ආර්ථික සම්ප්‍රදායය යි. එය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගත්තේ 1994 න් පසුව ය. ජේ.ආර්.ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික සම්ප්‍රදාය හඳුන්වා දුන්නේ අනාගතය ගැන හොඳින් කල්පනා කර බලා යැයි සිතන්නට පුළුවන. ජේ.ආර්.මහතා එදා විවෘත ආර්ථිකය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත නොකළේ නම් අදටත් අප හුදෙකලා රාජ්‍යයක් ලෙස හැඳින්විය හැකි ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාවක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මේ තත්ත්වය වටහාගත් නායිකාවක ලෙස ඇගයීමට ලක්විය යුතුය.

ඊයේ දිනය අපේ රටට වැදගත් ආර්ථික සන්ධිස්ථානයක් ඇති කර තිබේ. එනම්; සම්මුතිවාදී ආණ්ඩුවේ ආර්ථික දර්ශනය කලඑළි දැක්වීම ය. මෙය දුප්පතුන් - පොහොසතුන් කරන ආර්ථික වැඩපිළිවෙළක් ලෙස සරලව අර්ථ දැක්විය හැකි ය. මීට දසක කිහිපයකට පෙර ආර්ථික විශේෂඥ ආචාර්ය ඊ.එෆ්.ෂූමාකාර් පෙන්වා දුන්නේ දුප්පතුන් තවත් වළ පල්ලට යවන හා පොහොසතුන් තවත් තුරු මුදුනට යවන ආර්ථික සම්ප්‍රදායයක් ලෝකය අනුගමනය කරන බව ය. ෂූමාකාර්ගේ අදහස වූයේ එය වෙනස් කළ යුතු බව ය. ඒ සඳහා බෞද්ධ දර්ශනයෙන් පවා ආදර්ශ ලබාගත හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.

අපේ ආර්ථිකය දෙස නැවත හැරී බලමු. ඇ.ඩො. බිලියන විසිපහක ණය කන්දරාවක් අප ගෙවන්නට තිබේ. ඒවා හැඳින්විය හැක්කේ ලෝක ණය හැටියට ය. ඒ හැරෙන්නට රටේ සංවර්ධනය, පොදු පහසුකම්, පුනරාවර්තන වියදම් ආදිය ගැන රජය සලකා බැලිය යුතුය. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, සන්නිවේදන පහසුකම් නව මාවතකට ගෙන යා යුතුය. උද්ධමනය පාලනය කළ යුතුය. නව රැකී රක්ෂා බිහි කළ යුතුය. මේ සියල්ල සිදු කරන්නේ කෙසේද? ගැටලුව ඇත්තේ එතැන ය. දේශපාලන වශයෙන් ගත් කල වමේ ව්‍යාපාර රාජ්‍ය අංශය ගැන ද මැද මාවතක් ගැන ද විශ්වාසය තබයි. ලෝකය සමඟ ආර්ථික ගනුදෙනු කිරීමේ දී ඔවුන් පසුවන්නේ අතිශය පසුගාමී තැනක ය. රජය ඒවා ද කළමනාකරණය කරගත යුතු ය.

මේ තීරුවෙන් හැමදා ම පෙන්වා දෙන ලෙස ලෝකයේ කිසිදු රාජ්‍යයකට හුදෙකලාව ආර්ථික සමෘද්ධියක් ළඟා කරගත නොහැකි ය. ලෝකය තුළ ඇත්තේ අලුත් ආර්ථික ගනුදෙනු යැයි කිව හැකි ය. එය මනාව වටහාගත් චීනය ලොව අංක එකේ ආර්ථිකයට ළඟාවෙමින් සිටින්නේ ලෝක බලවතා වන අමෙරිකා එක්සත් ජනපදය පසු කරමින් ය.

දකුණු කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව මේ තත්ත්වය වටහාගත් රාජ්‍යයන් ලෙස සැලැකිය හැකි ය. ලෝකය එක අතෙකින් කලාපීය වශයෙන් එකමුතුව ගනුදෙනු කරයි. තව අතෙකින් දේශපාලන වශයෙන් ද සම්මුති හා ගිවිසුම් වශයෙන් ද ඒකරාශී වී ගනුදෙනු කරයි. මේ ගනුදෙනුවල ප්‍රතිඵලය වන්නේ ආර්ථික ප්‍රසාරණය යි. ගිවිසුම්, සම්මුති ඉරා දමනු යැයි උද්ඝෝෂණ මතුවන්නේ ලෝක ආර්ථිකය ගැන නොදන්නා දේශපාලන ධාරා වෙතින් ය.

සම්මුතිවාදී ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත ගැන සලකා බැලුවහොත් ගෙවී ගිය වසර දෙක තුළ යම් ජයග්‍රහණ අත්පත් කරගෙන ඇති බව පෙනී යයි. 2016 වසරේ අපගේ ආර්ථික වෘද්ධිය 4.4% කි. 2017 වසරේ මුල් කාර්තුව තුළ 3.6% ක ආර්ථික වෘද්ධියක් සටහන් වී ඇත. පුරෝකථනවලට අනුව මේ වසර අවසන් වන විට එය 4.5% දක්වා ඉහළ යනු ඇත. රටට බලපෑ අයහපත් කාලගුණය, ස්වාභාවික විපත්, අක්‍රමවත් වෙළෙඳ පොළ හා ලෝක ආර්ථිකයේ පසුබෑම ද සැලැකිල්ලට ගන්නා විට මෙය සැලැකිය යුතු ජයග්‍රහණයක් සේ සැලැකිය හැකි ය. උද්ධමනය පවා 5% ක සීමාවේ තබා ගන්නට මේ ආර්ථිකයට හැකියාව ලැබී තිබේ.

රටේ පවත්නා ස්වභාවික සම්පත්, පිහිටීම හා මානව සම්පත් දෙස බලන විට අප ආර්ථික වශයෙන් මීට වඩා ප්‍රගතියක් අත්පත් කරගත යුතුව තිබේ. එහෙත් දේශපාලන විසංවාද, බාධා කිරීම් හා ආචීර්ණ කල්පිත මත නිසා අප සිටිනුයේ පසුගාමී තැනක ය. ලෝකය සමඟ ගනුදෙනු කළ හැකි හා අපට ඔරොත්තු දෙන ආර්ථික පිළිවෙතක අප ගමන් කළ යුතු ය. එහි දී වඩාත් වැදගත් වන්නේ අනාගතය පුරෝකථනය කළ හැකි උපකල්පන සහිත ආර්ථික දැක්මකි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ දකුණු ආසියාවේ ආර්ථික හා මුල්‍ය කේන්ද්‍රය බවට ශ්‍රී ලංකාව පත්කළ හැකි බව ය. ආර්ථික විෂයය ගැන ගැඹුරින් කල්පනා කරන විට එය යථාර්ථයක් කරගත හැකි මාර්ග අප සතු බව පෙනී යයි.

ඊයේ එළිදැක් වූ ආර්ථික දර්ශනය සමාජගත විය යුතු යැයි අපට සිතේ. එය විද්වතුන් හා නිලධාරීන් අතර සාකච්ඡා වන මාතෘකාවක් පමණක් වුවහොත් එහි ප්‍රතිඵල සතුටුදායක වේ යැයි සිතිය නොහැකි ය. බරපතල ආර්ථික න්‍යායන් පිළිබඳ සූත්‍ර හා න්‍යායයන් ජනතාවට නොවැ‍ටහෙනවා වෙන්නට පුළුවන. එහෙත් එහි ප්‍රතිඵල ජනතාව හඳුනයි. ඊට අදාළ ආදර්ශ ජනතාවට හුරුපුරුදු ය. ආර්ථිකය පැවැතිය යුත්තේ පොත්වල නොව වෙළෙඳ පොළෙහි ය. එය ආණ්ඩුවේ බලධාරීන් ද වටහාගන්නේ නම් වැදගත් ය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...