මහවැලි පවුලේ මහා ක්‍රීඩා මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් | දිනමිණ

මහවැලි පවුලේ මහා ක්‍රීඩා මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

ප්‍රින්ස් ගුණසේකර

මහවැලි කලාප 10ක දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ අරමුණින් 29වැනි වරටත් සංවිධානය කෙරෙන මහවැලි ක්‍රීඩා උළෙල මෙවරත් මෙම මස 09 හා 10 යන දිනවලදී පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහවැලි ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජය සංකේත ප්‍රදානය සිදුවන අතර ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ හා මහවැලි සංවර්ධන නියෝජ්‍ය ඇමැති, ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මහවැලි ක්‍රීඩා උළෙල ආරම්භ කෙරේ.

මෙවර මහවැලි ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000ක් පමණ සහභාගීවන අතර මලල ක්‍රීඩා තරගවලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600ක්‌පමණ එක්වේ.

ජනපදික ගොවි දරුවන් අතර ඉතා ජනප්‍රිය ක්‍රීඩා උළෙලක් බවට පත්ව තිබෙන මෙම ක්‍රීඩා උළෙල ජාතික මහා ක්‍රීඩා උළෙලට පමණක් දෙවැනි වන අතර පසුගිය කාලයේ ජාතික හා ජාත්‍යන්තර තලයේ දක්ෂයින් රැසක් බිහි කිරීමට හැකිවූ බව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී හා මහවැලි සංවර්ධන නියෝජ්‍ය ඇමැති, ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර යන මහතා සිහිපත් කළේය.

“ ශ්‍රියාණි කුලවංශ වැනි ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මහවැලි ක්‍රීඩා තුලින් ඉදිරියට පැමිණියා. තවත් බෝහෝ පිරිසක් ඉතිහාසයේ සිටම මේ ක්‍රීඩා උළෙල තුලින් බිහිකර ගැනීමට හැකි වුණා. ක්‍රීඩා අමාත්‍යාංශය හා මහවැලි අමාත්‍යාංශය එක්ව මෙය සංවිධානය කරන බැවින් ඉදිරියේදී හදුනා ගන්නා දක්ෂයින් ජාතික තලයේ ක්‍රීඩා සංචිතවලට යොමු කිරීමේ හැකියව උදා කරනවා“ අමැතිවරයා පැවැසීය.

වසර1986දී මහවැලි ඇමැතිවරයා ලෙස කටයුතු කළ ගාමිණි දිසානායක මහතාගේ සංකල්පය අනුව නිර්මාණය වූ මෙම මහවැලි ක්‍රීඩා උළෙලින් මේ දක්වා යූ. ඩී. ශ්‍රියාලතා, රේණුකා අඹේගුණවර්ධන, වසන්ත කුමාර, විමල් රෝහණ, ඩී. ඒ. ඉනෝකා, උපමාලිකා රත්නකුමාරී වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුලු බොහෝ දක්ෂයින් පිරිසක් බිහිවූහ. පසුගිය රියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙලට සහභාගීවූ සුමේධ රණසිංහ වික්ටෝරියා කලාපයේ ජනපදිකයෙකුවන අතර වසර කිහිපයකදීම මහවැලි ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව උදාකර ගත්තේය.

“ මේ තරගාවලිය හරහා ක්‍රීඩාව නගා සිටුවීම මෙන්ම කලාපයේ විසිරී සිටින ගොවි පවුල් අතර අනෝන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම හා ශාරීරික යෝග්‍යතාව උසස් තත්ත්වයකට ගෙන ඒමත් බලාපොරොත්තුවක්. පසුගිය කාලයේ නියඟය හෙතුවෙන් මහවැලි කලාප කිහිපයකට තර්ජන ආවා. ඒ කුමන තර්ජනයක් හමුවේ වුවත් ධෛර්යයෙන් නැගී සිටින්නට අපේ මහවැලි දරු දැරියන්ට හැකියාව තිබෙනවා. ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමට රජය කළ හැකි සෑම පියවරක්ම ගන්නවා“ අමරවීර මහතා පැවැසීය.

මෙවර තරගාවලියට මහවැලි බී, එච්, එල්, සී, වික්ටෝරියා, වලව, රඹකැන්ඹය, හුරුලුවැව, මැදිරිගිරිය හා මොරගහකන්ද යන කලාප 10ක් නියෝජනය වන අතර වැඩිම දක්ෂතා දක්වන කලාපයට ජනාධිපති ශූරතාව පිරිනැමේ. මෙතෙක්‌ පැවැති තරගාවලි 28කින් අවස්‌ථා 09 කදී ජනාධිපති ශූරතාව හා එක් අවස්ථාවකදී සම ශූරතාව වලව කලාපය දිනා ඇති අතර ‘සී‘ සහ Òඑච්Ó කලාප 7වතාව බැගින් ජනාධිපති සම්මාන දිනා තිබේ. 

මෙවර මහවැලි ක්‍රීඩා උළෙලේ ගිණිසිළුව ‘බී‘ කලාපයෙන් බිහිවූ යගුලිය හා කවපෙත්ත විසිකිරීමේ ශූරී සොනාලී කුමාරී වීරසේකර හා තුම් පිම්ම ශූර ගයාන් සමීර දිසානායක විසින් දල්වන අතර, ක්‍රීඩා ප්‍රතිඥාව මධූෂි විතාරණ ක්‍රීඩාකිව විසින් දෙනු ලබයි. දසතින් පැමිණෙන විනිසුරුවන් වෙනුවෙන් ප්‍රතිඥාව ලබාදීම බස්නාහිර පළාතේ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ජගත් ඥානසිරි සිල්වා මහතාට පැවැරී ඇත.

මෙම ක්‍රීඩා උලෙලේ පිරිමි හා කාන්තා පාපැදි තරග 10වැනිදා උදැසන 6.00 ට පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණය ඉදිරි පිටින් ආරම්භ වන අතර කිලෝමීටර් 160ක් දුරැති පිරිමි පාපැදි තරගය මනංපිටිය පාලම ඔස්සේ, මනංපිටිය නගරය, මහියංගන පාර ඔස්සේ මඩකළපුව හංදියෙන් දකුණට හැරී දලුකාන, දිමුලාගල, කලුකැලේ, සිරිපුර හංදිය ඉදිරියට ගොස් දෙහිඅත්තකන්ඩිය මහවැලි ක්‍රීඩාංගණය ඉදිරියෙන් සඳුන්පුර, මැදලම, දෙබරව, ගිරාදුරුකෝට්ටේ නගරයට හැරෙන හංදිය, බතලයාය හංදියෙන් නැවැත හැරී පැමිණි මාර්ගයේම මඩකළපුව හංදියට ගොස් වමට හැරී පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණය අසලින් නිමාවට පත්වේ.

කිලෝමීටර් 25.6ක් දුරැති කාන්තා පාපැදි තරගය එදිනම උදෑසන 6.30 ට ආරම්භවී පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණය ඉදිරි පිටින් මනංපිටිය පාලම ඔස්සේ, මනංපිටිය නගරය, මහියංගන පාර ඔස්සේ මඩකළපුව හංදියෙන් දකුණට හැරී දලුකාන හංදියෙන් නැවැත හැරී පැමිණි මාර්ගය ඔස්සේම පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණය අසලින් නිමාවට පත්වේ.

මහවැලි කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ගෝඨාභය රාජපක්ෂ, මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ අරුණ ප්‍රසාද් ලේකම්ගේ හා ක්‍රිඩා කමිටු ලේකම් ශ්‍රීයානි මල්ලිකා යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...