ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර සැණකෙළියක් බවට පත්වෙනවා | දිනමිණ

ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර සැණකෙළියක් බවට පත්වෙනවා

නන්දසිරි වැලිගමගේ ගාල්ල දිසා සමූහ සහ ඉමදුව සමූහ

ලබන මස 22 වැනිදා සිට තෙදිනක් පුරා මාතර කොටවිල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල මහා ක්‍රීඩා සැණකෙළියක් බවට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ දකුණු පළාත් සභා ක්‍රීඩා අමාත්‍යාංශය මේ වන විට සියළු කටයුතු යොදා ඇතැයි දකුණු පළාත් ක්‍රීඩා, යෞවන හා සංස්කෘතික ඇමැති වීරසුමන වීරසිංහ මහතා පවසයි.

සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී මේ බව කී ඇමැතිවරයා මෙවර පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙල විශේෂිත එකක්වනු ඇති බවත් එයට හේතුව මධ්‍යම රජයේ ක්‍රීඩා අමාත්‍යාංශය පිහිටුවා මේ අවුරුද්දට වසර 50ක් පිරීම බවත් පෙන්වා දුන්නේය.

මේ සුවිශේෂිත තත්ත්වය නිසා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස් මත දකුණු පළාත් සභා ක්‍රීඩා අමාත්‍යාංශයද එක් වි එම දිනයන්හිදි කොටුවිල ක්‍රීඩා සංකීර්ණය තුළ ඓතිහාසික ක්‍රීඩා ප්‍රදර්ශනයක් පැවැත්විමට සියළුම කටයුතු යොදා ඇතැයි ද අවධාරණය කළේය.

දැනට අපේ රටේ ලියාපදිංචි වී ඇති ජාතික ක්‍රීඩා සංගම් 62ක් හා එයට අමතරව ජන ක්‍රීඩා හා සම්ප්‍රදායික ක්‍රීඩාවන්ගේ අතීත වර්තමාන තොරතුරු ඇතුළත් ක්‍රීඩා කුටි හා පළාත් නමය සඳහා වෙන් වෙන් වු ක්‍රීඩා කුටි නමයක්ද ප්‍රදර්ශනයට එක් කිරීමට පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා පෙන්නා දුන්නේය.

සියලු පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000ක් පමණ සහභාගී වන ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ද, සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්ද පැවැත්වෙන බවද ඇමැතිවරයා පැවැසීය.

මේ වන විට ජාතික ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් තරග ඉසව් දහයකට වැඩි ගණනක් පවත්වා ඇති අතර තවත් ඉසව් 18 ක් පමණ දකුණු පළාතේ ස්ථාන තුනකදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ මාධ්‍ය හමුවට දකුණු පළාත් ක්‍රීඩා අධ්‍යෂක බන්දුල විජේසේකර හා පළාත් පරිවාස කොමසාරිස් මහේස් කරුනාණායක මහත්වරු එක්ව සිටියහ. 

 


නව අදහස දක්වන්න

Or log in with...