යොවුන් ක්‍රීඩකයන්ගේ දස්කම් ගැන සතුටුයි | දිනමිණ

යොවුන් ක්‍රීඩකයන්ගේ දස්කම් ගැන සතුටුයි

ෆවුස් මොහොමඩ්

යොවුන් ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා සත් සාමාජික රගර් කණ්ඩායම ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ හොංකොං නුවරදී නිමාවට පත්වූ පළමු අදියරේ පළඟ ශූරයන් වෙමින් පස්වැනි ස්ථානයෙන් තරගාවලිය නිමා කිරිම ගැන සෑහිමකට පත්වන බව ශ්‍රී ලංකා සත් සාමාජික රගර් කණ්ඩායමේ පුහුණුකරු නවසීලන්ත ජාතික පීටර් වුඩ්ස් කියයි.

සත්කාරක හොංකොං පිල හමුවේ ජපානයට ලකුණු 19-12ක ජයකින් කුසලානය හිමිකර දෙමින් හොංකොං හී කොවුලූන් නුවර කිංග්ස් පාක් ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම රගර් පිටියේදී නිමාවූ මේ තරගාවලියේදී ‘බී’ කාණ්ඩයෙන් තරග වැදුණු සුදර්ශන මුතුතන්ත්‍රීගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකාව මූලික වටයේ තරග 3ක් ද ඇතුළුව තරග 6කට ක්‍රීඩා කර ඉන් තරග 3ක් ජයගැනීමට සමත් විය.

‘සමස්ථයක් වශයෙන් ගත්තම (Overall ) මම පුහුණුකරු හැටියට සතුටුවෙනවා අපේ ක්‍රීඩකයන්ගේ දස්කම් ගැන. ඔවුන් මේ තරගාවලියට පැමිණියේ ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් සහ වෙළෙඳ සේවා තරගාවලිය නිමාවෙන් පසුවයි. ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ආබාධ යථා තත්ත්වයට පත් කරගන්න (Recovery period) මාසයක්වත් තිබිය යුතුයි. නමුත් අපිට එපමණ කාලයක් තිබුණේ නෑ. කොහොමවුණත් අපි මේ තරගාවලියේ තරග 6කට ක්‍රීඩා කරලා තරග 3ක් ජයගත්තා. ඒ කියන්නේ ප්‍රතිශතය වශයෙන් සියයට පනහක්. ඒක ලොකු දෙයක්.’ ඩුව්ස් පැවැසීය.

‘නමුත් තව දියුණු විය යුතු අංශ තියෙනවා. ක්‍රීඩකයන් සමග කතාබහ කරලා ඉතුරු අඩුපාඩු හදාගන්න ඕනා. දෙවැනි අදියරේ තරගාවලියට ඒ කියන්නේ කොරියානු සත් සාමාජික තරගාවලියට කළින්. අපේ තරුණ ක්‍රීඩකයන්ට මේක හොඳ අවස්ථාවක් වුණා. එයාලා අත්දැකීම් එකතු කරමින් ඉන්නේ.

හොංකොං තරගාවලියේදී එයාලට ඉතා වටිනා අත්දැකිම් ලැබුණා. ඒවා කොරියානු සෙවන්ස් තරගාවලියට ප්‍රයෝජනවත් වේවි.’ ඔහු සඳහන් කළේය.

‘ධනුෂ්ක රන්ජන්, චානක චන්දිමාල් වැනි ක්‍රීඩකයන් අහිමිවීම පාඩුවක්. චන්දිමාල් විශිෂ්ට ක්‍රීඩකයෙක්. අවාසනාවට ඔහුට අන්තිම මොහොතේ පැපොල රෝගය (Chickenpox) හැදුණා. ධනුෂ්ක ඉතා කැපවීමෙන් පුහුණුවිම්වල යෙදෙනවා. ඔහුටත් අවස්ථාව තියෙනවා. මේ දෙන්නටම දෙවැනි අදියරේ තරගාවලියට ඒ කියන්නේ කොරියානු සත් සාමාජික තරගාවලියට ක්‍රීඩා කරන්න හැකිවේවි.’ වුඩ්ස් කීවේය.

‘අපි මුලින්ම බලන්න ඕනා හොංකොං තරගාවලියේදී ක්‍රීඩකයන්ට ඇතිවුණු ආබාධ කොහොමද කියලා. ඊට පස්සේ තමයි කියන්න පුලුවන් කොරියානු තරගාවලියට මේ අයගෙන් කී දෙනකුට එක්වෙන්න පුලුවන්ද කියලා. සමහරු ඇතුළට ඒවි. සමහරු එලියට යාවි.’ ශ්‍රී ලංකා රගර් පුහුණුකරු කියා සිටියේය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...