අම්බලන්තොටට මත් කුඩු ‍බෙදූ ජාවාරම්කරු සහ අලෙවි නියෝජිතයා දැලේ | දිනමිණ

අම්බලන්තොටට මත් කුඩු ‍බෙදූ ජාවාරම්කරු සහ අලෙවි නියෝජිතයා දැලේ

 අම්බලන්තොට නගරයේ ප්‍රධාන මත් කුඩු බෙදීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ජාවාරම්කරු සහ තවත් මත් කුඩු අලෙවි නියෝජිතයෙක් මත් කුඩු මිලි ග්රෑම්ස් 1370ක් හා මුදල් රුපියල් 23000ක් සමඟ අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලීසිය කියයි.

අම්බලන්තොට පොදු වෙළෙඳ පොළ අසල නිවෙසක සිවිලිමේ සැඟව සිටියදී ප්‍රධාන ජාවාරම් කරුමත් කුඩු මිලි ග්රෑම්ස් 930 සහ මුදල් රුපියල් 12000ක් සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර මත් කුඩු පිටතට විකිණිම සිදු කරන මතට ඇබ්බැහිවී සිටි පුද්ගලයා අම්බලන්තොට බස් නැවතුම්පොළ අසල පොදු වැසිකිළිය පිටුපස සිටියදී මත් කුඩු මිලි ග්රෑම්ස් 440ක් සමඟ මුදල් රුපියල් 11000 ක් ළඟ තිබියදී අත්අඩංගුවට ගැනීමට පොලිස් උපාය දූතයන් යොදවා හැකි වූ බව අම්බලන්තොට පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එදිරිසිංහ මහතා පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අම්බලන්තොට සහ ගොඩවායේ පදිංචි කරුවෝ වෙති.

අත්අඩංගුවට ගත් ප්‍රධාන ජාවාරම් කරු මීට ඉහත අවස්ථා දෙකක් මත් කුඩු සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප ලබා සිටින අයෙක් වන අතර අම්බලන්තොටට කුඩු බෙදා දැනට බන්ධනාගාර ගතව සිටින කුඩු රැජිනගේ පුතා වන බව පොලිසිය කියයි. අනික් සැකකරු අම්බලන්තොට නගරයේ තිර රෙදි මැසීමේ නිරතවන අයෙක් වන අතර මත් කුඩු වලට ඇබ්බැහි වී විවිධ පුද්ගලයන්ට අල‍ෙවි කිරීම නියෝජිතයෙක් ලෙස ක්‍රියාකරන බව පොලීසිය කියයි.

ලද තොරතුරක් මත පොලිස් උපාය දූතයන් දෙදෙනෙක් ස්ථාන දෙකට යොදවා මත් කුඩු මිලදී ගැනීමේ මුවාවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පැය තුනකට ආසන්න කාලයක මෙහෙයුමක නිරත වීමට සිදු වූ ‍බව පොලීසිය කියයි. ප්‍රධාන ජාවාරම්කරු නිව‍සේ සිවිලිම යට සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලීසිය කියයි.

සැකකරුවන් දෙදෙනාගේ මුදල් පසුම්බි වල රන් භාණ්ඩ උකස් කිරීමේ රිසිට් පත් කිහිපයක් හා විවිධ බැංකු වල කාඩ් රැසක් තිබී සොයාගත් බවත් ජංගම දුරකථන දෙකක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට දිගින් දිගටම ජංගම දුරකථනයට ගැනුම් කරුවන්ගෙන් ඇමැතුම් ලැබෙන බවද පොලීසිය කියයි.

එකම පවුලක් මඟින් ජාලගතව සංවිධානාත්මකව අම්බලන්තොට නගරය ඇතුළු අවට ප්‍රදේශවලට මත් කුඩු සැපයීම සිදුකරන මෙහි නායිකාව වූ කුඩු රැජිණ හා ඇයගේ ඥාති පුතෙක් මීට පෙර අත්අඩංගුවට ගෙන බන්ධනගාර ගතව සිටිය දී ඇප ලබා එළියට පැමිණ සිටි පුතා නැවත ව්‍යාපාරය ආරම්භ කර ඇති බව පොලිසිය කියයි. මොවුන්ට මත් කුඩු ගෙනත් දෙන අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද පොලීසිය කීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධනපාල අබේවික්‍රම මහතාගේ උපදෙස් මත, අම්බලන්තොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එදිරිසිංහ, සැරයන් ගුණරත්න ,පොලිස් කොස්තාපල්වරුන් වන ගුණපාල, සිරිවර්ධන, බුද්ධික, වසන්ත යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගී වූහ.

ඡායාරූපය-ලුණම සමූහ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...