කූඨ ලේඛන සැකසූ සැකකරු අකුරැස්සේදී අත්අඩංගුවට | දිනමිණ

කූඨ ලේඛන සැකසූ සැකකරු අකුරැස්සේදී අත්අඩංගුවට

 අකුරැස්ස , ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් තම සන්තකයේ තබාගෙන සිටි රජයේ ආයතනවලට සම්බන්ධ ව්‍යාජ මුද්‍රා හා එම මුද්‍රා උපයෝගී කරගෙන සකස් කරන ලද කූඨ ලේඛන තොගයක් ඉකුත් දා අකුරැස්ස පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනිණි.

උඩුගම අධිකරණයේ පවතින ගව සොරකමක් පිළිබඳ නඩුවක වරෙන්තුවක් සඳහා මෙම සැකකරු ඉඹුල්ගොඩ ප්‍රදේශයේ රැඳී සිටින බවට අකුරැස්ස පොලිසියේ බුද්ධි අංශයට ලැබී තිබූ රහසිගත තොරතුරක් අනුව , සැකකරුව අත්අඩංගුවට ගැනීමේදී ඔහුගේ අත් බෑගය පරීක්ෂා කරන ලදුව මෙලෙස ව්‍යාජ මුද්‍රා 19 ක් , ව්‍යාජ හැඳුනුම් පතක් , ව්‍යාජව සකස් කරන ලදට සැක සහිත ඔප්පු හා ලියකීයවිලි විශාල ප්‍රමාණයක් හා ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු 39 හැවිරිදි සිවුදරු පියෙක් වන අතර මීට පෙරද කූඨ ලේඛන සැකසීම ,මුදල් වංචා කිරීම් , ගව සොරකම් ආදී නඩු කිහිපයක් මාතර ,උඩුගම , ගම්පහ යන අධිකරණවල විභාග වෙමින් පවතින බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇති බව පොලිසිය කියයි.

අකුරැස්ස සහකාර පොලිස් අධිකාරී එම්. ඩී. ඩී. සේනානායක මහතාගේ උපදෙස් මත අකුරැස්ස පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ඩී. එම්. ජේ. රණතුංග , ජයවර්ධන, සංජීව ,ඉෂාක් , කා.පො.සැ. සුරංගි යන නිලධාරීහූ මෙම වැටලීමට සම්බන්ධ වූහ.

සැකකරුව 04 වැනි දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සැකකරුව මාතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඡායාරූපය - අකුරැස්ස මධ්‍යම විශේෂ 


නව අදහස දක්වන්න

Or log in with...