V 2025 පොහොසත් රටක් සවිමත් හෙටක් | දිනමිණ

V 2025 පොහොසත් රටක් සවිමත් හෙටක්

ශිරෝමි අබයසිංහ සහ රක්ෂණ ශ්‍රියන්ත

දේශයේ සියලු පුරවැසියන්ට ඉහළ ආදායමක් සහ වඩා හොඳ ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීම සඳහා ඉන්දියානු සාගරයේ සමාජ වෙළඳ පොළ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභිලාෂය පෙරදැරි කර ගනිමින් 2025 වන විට ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත් කරලීමේ තුන් අවුරුදු ආර්ථික වැඩසටහන - V 2025 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (04) එළි දැක්විණි.

රටේ අනාගතය භාර ගැනිමට සිටින තරුණ තරුණියන් පිරිසකට ඔවුනගේ අනාගතය ඉඳි කෙරෙන 2025 වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පිරිනැමීම මෙහි සිදු වූ සුවිශේෂි සිද්ධියක් විය.

V 2025 වැඩ සටහන එළි දැක්වීම සඳහා පැවැත්වුණු අභිමානවත් සහ චාම් උත්සවය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණයේ එකම වාහනයෙනි.

සියලු වැසියන්ගේ ආදායම ඉහළ නැංවිම, රැකියා සුරක්ෂිතභාවය හා සැමට නිවාස සහ ජීවන තත්ත්වය ඉහළ නැංවිම යන ප්‍රමුඛතා හඳුනා ගනිමින් තරඟකාරීත්වය, දිරිගැන්වීම සහ විනිවිදභාවය ඇති කිරිම තුළින් දූෂණය නැති කර ඒ හරහා සමෘද්ධිමත් ආර්ථිකයක් තුළ සියලු ශ්‍රි ලාංකිකයින්ට සමාන අවස්ථා ලබා දීම V- 2025 වැඩසටහනේ මූලික අරමුණ වේ.

මෙම වැඩසටහන තුළින් මීළඟ තෙවසර තුළ සංවර්ධනය සඳහා ඇති ගැටලු විසඳීමට පුළුල් ආර්ථික ක්‍රමෝපායන් ක්‍රියාත්මක කෙරෙන අතර වසරකට ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 5,000 ක මට්ටමක් තෙක් ඉහළ නැංවිම, රැකියා දස ලක්ෂයක් උත්පාදනය, වසරකට විදේශිය ඝෘජු ආයෝජන අමෙරිකානු ඩොලර් බිලියන පහක් දක්වා ඉහළ නැංවිම සහ වසරකට අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 20 ක් දක්වා දෙගුණ කිරිම මෙම වැඩ සටහනේ ඉලක්කය වේ. මෙම අතරමැදි ඉලක්ක මගින් ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් කිරීමේ 2025 දැක්මට අවශ්‍ය පදනම සකස් කිරීමද බලාපොරොත්තුව වේ.

වසර හැටකට අධික කාලයක් පස මිතුරු දේශපාලනයේ යෙදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක් වී දශකයක අඳුරු යුගය අවසන් කරමින් සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමට අත්සන් තබා කැබිනට් මණ්ඩලය දිව්රුම් දී වසර දෙකක් සපිරුණු ඊයේ දිනයේදී ඉදිරි වසර ‍තුන සඳහා ආර්ථික වැඩසටහන එළි දැක්වීම විශේෂත්වයක් විය. ගත වූ දෙවසර තුළ තිරසාර සංවර්ධනයේ නිම් වළලු පුළුල් කරමින් රට තුළ ඇති වු සංහිඳියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය පෙන්නුම් කරමින් නිර්මාණය වු වීඩියෝ දර්ශන පෙළක් ‍මෙහිදි විකාශය කෙරිණි.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, කථානායක කරූ ජයසුරිය, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහත්වරුන් ඇතුළු රජයේ මැති ඇමතිවරුන් විදේශිය තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය විශාල පිරිසක් සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න